ගාලු පුරේ නම කැත කළ එන්නත් මගඩිය | සිළුමිණ

ගාලු පුරේ නම කැත කළ එන්නත් මගඩිය

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ලෝකයම එන්නත් භාවිත කරද්දී එන්නත් ලබාදීමේ දී එහි ප්‍රමුඛත්වය ලබාදිය යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ ද ලැබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවිය යුතු ආකාරය පිළිබඳ නිර්ණායක සකස් කෙරිණි. නමුත් මේ කිසිිවක් නොතකා එන්නත්කරණය දේශපාලනීකරණය වී ඇති බවත්, හිතූ හිතූ ආකාරයෙන් තම ඥාතීන්ට, හිතවතුන්ට හා දේශපාලන බල අධිකාරියේ ලේඛන අනුව එන්නත් ලබාදෙන බවටත් විවිධ ස්ථාන වලින් චෝදනා එල්ල විය. ඇතැම් අවස්ථාවල දී කොරෝනා මර්දන එන්නත් මුදලට විකිණූ බවට ද වාර්තා විය.

මේ අතර දැඩි සංචරණ සීමා යොදා රටම වසා දමා තිබිය දී කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහනවලින් ගාල්ල උණවටුන ප්‍රදේශයට පැමිණි දහසකට වැඩි පිරිසක් දින තුනක් පුරා කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමේ සිද්ධියක් වාර්තා විය.

ඔවුන් ලබාගත්තේ කොරෝනා මර්ධනය සඳහා මෙරට මුලින්ම ලබාදුන් ඕක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්න‍තයි. මෙම එන්නත් තොග අවසන් බව අවස්ථා කිහිපයක් ම රජය විසින් නිවේදනය කර තිබිණි. තවදුරටත් එම එන්නත් මෙරට සෞඛ්‍ය අංශ සතුව නොමැති බව පැවසුණු අතර සෞඛ්‍ය අංශයේ ම ඇතැම් පිරිස් සඳහා පවා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලැබුණේ නැත.

එවැනි තත්ත්වයක් පවතිද්දී පසුගිය සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා දින තුනේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට සුපිරි වාහනවලින් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී කොරෝනා මර්දනය සඳහා වූ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත්හ. මෙලෙස එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය වෙනුර සිංගාරච්චි විසිනි. 

බස්නාහිර පළාතේ සිට පැමිණි මේ පිරිස විවිධ වයස් කාණ්ඩවල පසුවූ අය වූහ. තරුණ තරුණියන් මෙන්ම වයස්ගත පුද්ගලයෝ ද ඒ අතර සිටියහ. ඔවුන්ගේ කතාබහෙන් ගම්‍ය වූයේ වැඩි දෙනකු ව්‍යාපාරිකයන් බවයි. ඇතැම් අය පැමිණි වාහනවල වෛද්‍යවරුන්ගේ රෝහල් අවසර පත්‍ර අලවා තිබූ අතර තවත් පිරිසක් එන්නත ලබාගෙන කිසියම් දේශපාලකයකුට ස්තූති කරමින් දුරකථන ඇමතුම් දෙන ආකාරය ද නිරීක්ෂණය කරන්නට අපට හැකිවිය. මේ සියලු දෙනාම කියා සිටියේ තමන් කොළඹින් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් බවයි. එහි දෙවැනි මාත්‍රාව කොළඹින් නොලැබුණු බැවින් එය ගැනීමට ගාල්ලට පැමිණි බව ද ඔවුහු කීහ.

වෛද්‍ය වෙනුර සිංගාරච්චි දැඩි පරිශ්‍රමයකින් තමන් විසින්ම සියලු කාර්යයන් සිදුකරමින් පැමිණෙන අය සඳහා එන්නත් කිරීම සිදු කළ නමුත් ඔවුන්ගේ දත්ත සටහන් කරන බවක් දක්නට ලැබුණේ නැත. මේ ස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ද රැඳී සිටිනු දක්නට ලැබිණි. පසුව ඔහුගෙන් දුරකථනයෙන් මේ පිළිබඳ විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“මේ එන්නත් දීම වසංගත රෝග අශයේ වෛද්‍ය වෙනුර සිංගාරච්චි විසින් කරන වැඩක්. ඔහු මා යටතේ සිටින තවත් වෛද්‍ය නිලධාරියෙක් පමණයි. ඒ වැඩවලට මා ගාවාගන්න එපා. නමුත් මට එක දෙයක් කියන්න තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනාට එහිි දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හිමිකමක් තියෙනවා. අපි සතුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ඉතිරිව තිබුණා. ඒ නිසා තමයි මේ විදියට එන්නත් දෙන්න පටන් අරගෙන තියෙන්නේ සෙනසුරාදා විතරක් 1000කට වැඩි ප්‍රමාණයක් ‍එන්නත දුන්නා. කොළඹින් නොවෙයි ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් එන කෙනෙකුට අපි එන්නත දෙනවා. යාපනයෙන් ආවත් අපිට ගැටලුවක් නැහැ. මේක වරදක් නොවෙයි. අපි ඔවුන්ට එන්නත් දෙන්න බැඳී සිටිනවා. මේක නීත්‍යානුකූල ක්‍රියාවක්.”

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධයක්ෂවරයා එසේ කීව ද ගාල්ලේ සහ උණවටුණේ පදිංචිකරුවෝ ද හබරාදුව නගරයේ පදිංචිකරුවෝ ද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා එහි ගිය ද ඔවුන් ආපසු හරවා යැවිණි. ඔවුන්ට එන්නත ලැබුණේ නැත. කොළඹින් පැමිණෙන පිරිස්වලට පමණක් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කළ වෛද්‍ය වෙනුර සිංගාරච්චි ගාල්ලේ පදිංචි පූර්ව දැනුම්දීමකින් තොරව එහි ගිය අයට පවසා තිබුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ තොග අවසන් බවයි. ගාල්ලේ අයට නොලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව කොළඹින් සුපිරි වාහනවලින් එන පිරිස්වලට ඉතිරිව තිබිණි.

මේ සම්බන්ධයෙන් ගාල්ලේ පදිංචිකරුවෝ එම ස්ථානයේ දී දැඩි විරෝධයක් ද දැක්වූහ. නමුත් එන්නත දීමේ හෝ නොදීමේ එකම බලධාරීන් වූ‍යේ වෛද්‍යවරුන් බැවින් ඒ විරෝධතා ඵල රහිත විය.

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදී, කොළඹ සිට සිය ගණන් වාහන ගාල්ලට පැමිණෙද්දී ඒවායේ අවසර පත්‍ර තිබුණේ නැත. අප කිහිපදෙනකුගෙන් අධිවේගී මාර්ගයේ පැමි‍ණියේ කෙසේ දැයි විමසූ විට ඔවුන් කීවේ ගැටලුවක් ඇති වුණේ නැති බවයි. මේ පිළිබඳ විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සම්බන්ධකරගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය. එබැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඇමතූ විට එහි සිටි නිලධාරියකු කීවේ හබරාදුව පොලිසියට මේ පිළිබඳ දැනුම් දී සොයා බලන බවයි. ඉන් පසු ගනු ලැබූ ක්‍රියාමාර්ග ගැන විමසූ අවස්ථාවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හබරාදුව පොලිසිය ද සම්බන්ධ කරගනිමින් අප හා කියා සිටියේ මෙම වාහනවල පැමිණි සියලු දෙනාට ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන්න යැයි කැඳවීමක් ලැබී තිබී ඇති බවයි. ඔවුන් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පෝරමය පෙන්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට පැමිණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් දැනුම් දුන්නේය.

නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පෝරමය පෙන්වා අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට අවසර ඇති බවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කිසිම අවස්ථාවක කියා නැත.

මෙම එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය පිටුපස කිසියම් වංචාවක් ඇති බව සෞඛ්‍ය අංශ මෙන්ම සිවිල් සංවිධාන ද හඬ නැගී‍මේ ප්‍රතිඵලය වූයේ ඖෂධ නිෂ්පාදන හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමයි.

ඒ අනුව පසුගිය අඟහරුවාදා (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණියහ. සිද්ධියට අදාල යැයි ප්‍රකාශ වූ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නගෙන් සහ වෛද්‍ය වෙනුර සිංගාරච්චිගෙන් ප්‍රශ්න කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඖෂධ ගබඩාවේ ඖෂධ නිකුත් කිරීම් පිළිබඳ දත්ත සටහන් ද පරීක්ෂා කර තිබිණි.

එම නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනයෙන් නිර්දේශ කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය වෙනුර සිංගාරච්චි යන දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදිය යුතු බවයි. ඒ අනුව බදාදා (09) සවස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, වෛද්‍ය වෙනුර සිංගාරච්චි කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යවා තිබිණි.

සිද්ධියට සෘජුව සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ වෛද්‍යවරු දෙ‍පළට එවැනි හදිසි ස්ථානමාරුවීම් ලැබුණ ද පරීක්ෂණ මෙතෙක් අවසන් නැත. එම පරීක්ෂණය දිගටම සිදුවෙමින් පවතී. ඔවුන් වරදකරුවන් වී නැත. විමර්ශනයේ පාර්ශ­්වකරුවන් පමණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබුණේ එම වෛද්‍යවරුන් දෙපළට විනය පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.

මේ සිදුවීම පිටුපස තවත් දේශපාලන අදිසි හස්තයක් ඇති බවට බොහෝ දෙනා චෝදනා කරති. ශ්‍රී ලංකාවේ නැතැයි කියූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් හදිසියේම ගාල්ලෙන් මතුවූයේ කෙසේ ද ? ඒවා කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණි එක්තරා පැලැන්තියකට පමණක් හිමි වූයේ කවරකුගේ බලපෑමෙන් ද ? නැති නම් ප්‍රියන්ත ජීවරත්න හා වෙනුර සිංගාරච්චි යන වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථාන මාරුවෙන් පමණක් මේ පරීක්ෂණ අවසන්වී එය ජනතාවට අමතක වී යනු ඇත්ද? සියල්ල ඉදිරියේ දී තීරණය වනු ඇත. තීරණය කවරක් වුව ද ගාල්ලේ ජනතාවට නැති ඇස්ට්‍රාසෙනිකා එන්නත් කොළඹ සුපිරි පැලැන්තියකට හිමි විය.

Comments