කොවිඩ් තෙවැනි රැල්ලට ගොදුරු වූ දියවන්නාවේ ඇත්තෝ | Page 2 | සිළුමිණ

කොවිඩ් තෙවැනි රැල්ලට ගොදුරු වූ දියවන්නාවේ ඇත්තෝ

වමේ සිට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා බිරිඳ ජලනි ප්‍රේමදාස, සමගි බලවේගයේ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා සිය බිරිඳ මධුෂානි ෂෙහාරා, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, ලංකා කම්කරු කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරම් සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන්

කොවිඩ් තෙවැනි රැල්ලේ ගොදුරක් බවට පාර්ලිමේන්තු මැති ඇමැතින් කිහිප දෙනෙකු පත්වීම විශේෂිත කරුණක් විය. මේ නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසකටද ස්වයං නිරෝධායනයට පත්වීමට සිදුවූ අතර මේ වන විට බහුතරයක් සුව වී ගෙවුණු සතියේ පාර්ලිමේන්තු කටයුතු වලට එක්ව තිබීම සුවිශේෂිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා බිරිඳ එකම රෝහලේ වාට්ටු දෙකක

විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා සිය බිරිඳ ජලනි ප්‍රේමදාසට කොවිඩි ආසාදනය වී ඇති බවට තහවුරු වන්නේ මැයි මස 23 වැනිදාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොවිඩ් වැලඳීමට පෙර ඔහුගේ භාර්යාවගේ රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් කොවිඩ් රෝගියකු හමුවී තිබෙන්නේ පසුගිය මස 14 වැනිදා බවත්, ඉන්පසු 15 වැනිදා ඇය විසින් රූපලාවණ්‍ය එක වසා දැමූ බවත් මාධ්‍ය වර්තා කළේය. කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායකවරයා කොළඹ ජාතික රෝහලට ආසන්නව පිහිටි කොළඹ පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගත් අතර සිය බිරිඳ ජලනි ප්‍රේමදාසද එහිම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තේ ඇයට කොවිඩ් රෝග ලක්ෂණ තරමත් ඉස්මතුව පැවැති නිසාය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිතව ඔහුගේ බිරිඳ රෝහල් ගත කර ඇති අතර, තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් නැති බවයි.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගත් රැස්වීම් දින තුනේම සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු රැස්විම් වාර කිහිපයකටද සහභාගී වි තිබූ හෙයින් පාර්ලිමේන්තුවේ සී. සී. ටී. වී දර්ශන හරහා සමීපතම ආශ්‍රිතයන් සොයා ගැනීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කොවිඩ් එන්නත විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂයේ පිරිසක් ලබා ගෙන නැති බව වාර්තා විය.

එන්නත ගත්තේ අසනීප වූ සතියේදීයි 
- පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු හා වත්මන් සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නලින් බණ්ඩාර හා සිය බිරිඳ මධුෂානී ෂෙහාරාටත් සිය පුතණුවන් දෙදෙනාටත් කොවිඩ් වැලඳී ඇති බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා දැනුම් දුන්නේ මැයි මස 25 වැනිදාය. ඒ තමන්ටත් තම බිරිඳටත් කොවිඩ් වැළඳී ඇති හෙයින් තමන්ගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලීමක් කරමිනි. නලින් බණ්ඩාර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවක් විසින් රටේ ජනතාවට ලබා දෙන තෙක් කොවිඩ් එන්නත ලබා ගෙන නැති වුවද, මන්ත්‍රීවරයා සිය ප්‍රදේශය වූ කුරුණෑගලින් සිය කොවිඩ් එන්නත ලබා ගෙන තිබුණේ ඔහුට රෝගය වැල දුණු සතියේදීමය.

“ මට උණක් තිබුණා. ඒවන විට විපක්ෂ නායකට කොවිඩ් වැලඳී ඇති බව දැනගෙන තිබුණා. මේ නිසා උණ ගත් ගමන් මමත්, බිරිඳත් පුතාලා දෙන්නත් පී. සී. ආර්. පරීක්ෂණය කළා. අපි හතර දෙනාටම පොසිටිව් කියලා දැනගත්තා. නමුත් ලොකු අමාරුවක් තිබුණේ නැහැ. මේ නිසා අපි හතර දෙනාම කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිතව ක්‍රියාත්මක වන හෝටලයක සිට ප්‍රතිකාර ගත්තා. දින දෙකකින් උණ බැස ගියත් , දින 10 ක් යනතුරු එහි සිටියා. නිවෙසට ඇවිත් වෛද්‍ය උපදෙස් මත තවත් දින හතරත් නිරෝධායනය වුණා. මම එන්නත විඳ ගත්තේ අසනීප වුණු සතියේදියි. නමුත් මගේ බිරිඳ එන්නත තවමත් විඳ නැහැ...“

පෞද්ගලික රෝහල් ගාස්තු දරන්න අමාරුයි 
- පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් මුල්වරට කොවිඩ් වැලඳුනේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ටය. ඒ පිළිබඳ දැනුම් දුන්නේ මැයි මස 20 වැනිදාය. 1968 අප්‍රේල් 17 වැනිදා උපන් ඔහු පාසල් ගියේ කොළඹ සහිරා විදුහලටය. කොවිඩ් වැලඳීමෙන් පසු ඔහු තම සමීපතමයින්ටත් ස්වයං නිරෝධායනය වන ලෙස පවසා ප්‍රතිකාර සඳහා ඇතුළු වූයේ කොළඹ ජාතික රෝහල ආසන්නයේ වූ පෞද්ගලික රෝහලකටය.

“ පසුගිය 17 වැනිදා මට කැස්සක් ඇතිවුණා. ළඟ වෛද්‍යවරයකුට පෙන්වූ පසු කිව්වා වයිරස් රෝගයක් බව. දින දෙකට පසු උණ ගත්තා. කොත්තමල්ලි බීලා හුමාලය ඇල්ලුවත් කැස්ස නොකඩවාම පැවතුණා. මේ නිසා රෝහලකට ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කළා. එය නෙගටිව් වුණා. ඉන්පසු විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කිව්වා රෝහලට ඇවිත් නතර වී පී. සී. ආර් පරීක්ෂාව කර ගන්න කියා. ඒ අනුව නතර වී කළ පී. සී. ආර් පරීක්ෂණයෙන් පසු මට වැලඳී ඇත්තේ කොවිඩ් බව තහවුරු වුණා. මේ අතර නිවසේ අයත් නිරෝධායනය වුණා. මට වේදනා නාශක දෙන විට රෝග ලක්ෂණ අඩුව ගියා. පසුව සුවවී නිවසට ගිය මම නිවසේද නිරෝධායනය වුණා. බොහෝ විට මට මේ රෝගය බෝ වෙන්න ඇතැයි සිතන්නේ මගේ මැද කොළඹ කාර්යාලයෙන්. මෙතැනදී තවත් දෙයක් පැවැසිය යුතුයි. පෞද්ගලික රෝහල්වලින් මේ රෝගීන් සඳහා කිසිදු සහනයක් නැහැ. ඒ අය අති විශාල ගාස්තු අය කරනවා. මේ අවසථාවේදී පෞද්ගලික අංශයේ රෝහල්වලින් කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ...“

අයි.ඩී.එච් රෝහලේ හිටියේ දෙවිවරු 
- පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාලට කොවිඩ් රෝගය වැලඳී ඇති බව තහවුරු වූයේ මැයි මස 29 වැනිදාය. කොවිඩ් තුන්වැනි රැල්ලේ කොවිඩ් රෝගයට ගොදුරු වූ 5 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාලය.

“ පසුගිය දිනවල මම කොවිඩ් සම්බන්ධව වැඩ ගොඩාක් කළා. ඒ සියල්ල ආරක්ෂිතව සිදු කළත් නොසිතූ අයුරකින් කොවිඩ් ආසාදිතයකු වුණා. මාදිවෙල පිහිටි මගේ මන්ත්‍රි නිල නිවසට පැමිණි කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රියදුරුට හා තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට කොවිඩ් වැලඳී ඇති බව දැනගත්තා. මම එවෙලෙයි කොවිඩ් සඳහා වූ එන්නත ලබා ගත්තේ. එදාම ආසාදිතයකු මුණ ගැසුණු නිසා එන්නතින් ආරක්ෂාව නොලැබෙන්න ඇති. රෝග ලක්ෂණ නැතත් පි. සී. ආර් පරීක්ෂණයක් සිදු කළා. එයින් මම ආසාදිතයක් බවට තහවුරු වුණා. මම මුල සිටම හුමාලය අල්ලමින් පරිස්සම් වූ නිසා රෝග ලක්ෂණ මතුවුණේ නැහැ. ඒත් වෛද්‍යවරු කිව්වා ඉදිරියේදි අමාරු විය හැකි නිසා අයි. ඩී. එච් රෝහලට ඇතුළත් වන්න කියා. මේ නිසා මම රෝහල්ගත වුණා. එහි පිරිස් මිහිපිට දෙවිවරු වගේ. ඒ වගේම සමාජ මාධ්‍යවලින් වැරදි තොරතුරු ප්‍රචාරය වුණා. මේ අවස්ථාවේ කොවිඩ් රෝගීන්ගේ හිත ශක්තිමත් කිරීමේ වගකීම සමාජ මාධ්‍ය සතුයි..“

දික්ඔය මූලික රෝහලින් රෝගියකු බව තහවුරු වුණා 
- පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේෂ්වරම්

කොවිඩ් තුන්වැනි රැලලේ කොවිඩ් රෝගයට ගොදුරු වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේ නුවරඑළිය දිස්ත්‍රික් ලංකා කම්කරු කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරම්ය. ඔහු ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික වෙයි. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ දික්ඔය මූලික රෝහලේදි සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මඟිනි. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළු වන්නේ නුවරඑළිය රෝහලටය. එහු වර්තමානයේ පොදු ජන පෙරමුණු නුවරඑළිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකි.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී කාදර් මස්තාන්ටද මැයි 10දා වන විට කොවිඩ් ආසාදනය වි තිබිණි.

කොවිඩ් ආසාදනය වීමෙන් හිටපු මන්ත්‍රී මරුට

කොවිඩ් තෙවැනි රැල්ලේදි කොවිඩ් වැළඳී මියගිය පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරයකු වන්නේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම්ය. කොවිඩ් වැලඳීමෙන් පසු මැයි මස 17 දින ඔහු මිය යන්නේ ඒ සඳහා කන්තලේ රෝහලේදී කොවිඩ් සඳහා වූ ප්‍රතිකර ලබමින් පසු වෙද්දීය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 80කි.

2001 වසරේ මුල්වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදුණද ඉන් ජය අත්පත් කර නොගන්නා ඔහු 2002 වසරේදී එම්. සිවසිතම්පරම්ගේ අභාවයෙන් පසු හිස් වූ අසුන වෙනුවෙන් පත් වන්නේය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය අත්පත් කර ගන්නා අතර නැවතත් 2010 වසරේ පෞද්ගලික හේතු මත තරඟ නොකළේය.

කෙසේ වෙතත් ඔහු අවසානයට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ 2015 වන අතර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ලැයිස්තුවෙනි. මීට අමතරව කොවිඩ් පළමු හා දෙවැනි රැලි නිසා අසාදිත වූ මන්ත්‍රීවරු සිටියහ. එනම් දයාසිරි ජයසේකර, අරුණ්දික ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, පියල් නිශාන්ත ඒ අතර වෙති.

Comments