මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම වටිනා සන්නා­මය ලෙස සියැට් තේරී පත්වෙයි | සිළුමිණ

මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත්ම වටිනා සන්නා­මය ලෙස සියැට් තේරී පත්වෙයි

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ලංකාවේ ‘Motor’ අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේදී සියැට් සන්නාමය සමස්තයක් ලෙස ස්ථාන 05 ක් ඉදිරියට පැමිණ ඇත.

මේ අනුව, ලෝකයේ ප්‍රමුඛතම සන්නාම ඇගයීමේ උපදේශන ආයතනයක් 2021 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,024 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2020 වසරට සාපේක්ෂව 46% ක කැපී පෙනෙන වර්ධනයකි. මේ අතර, විශාලතම බැංකු, විදුලි සංදේශ සේවා සම්පාදකයින් සහ සිල්ලර අංශයේ දැවැන්තයින් ඇතුළු ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 ක් අතුරින් සමස්තයක් ලෙස සන්නාම වටිනාකම් දර්ශකයේ 48 වන ස්ථානයට පැමිණීමට සියැට් සන්නාමය සමත්වීම මෙහිදී කැපී පෙනේ.

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් මෙහිදී ‘AAA-’ සන්නාම වර්ගීකරණය ලබාදී ඇත. මේ වසරේදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික සන්නාම සඳහා ලබාදුන් දෙවන හොඳම වර්ගීකරණය මෙය වේ. මෙම ජයග්‍රහණය පිළිබඳව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඩ්ලානි මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඩ්-19 වසංගත තත්ත්ය හමුවේ ඇතිවූ නව වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුගත වෙමින් විවිධ ටයර් ප්‍රමාණයන්ට පැනවූ ආනයන සීමාවන්ට අනුව ඇතිවූ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයන්ට ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඉතාමත් ඉහළ කැප කිරීමක් කළ සමාගමේ විවිධ මට්ටම්වල සියලු දෙනාටම අපි මෙම සම්මානය පුද කරනවා. මේ අවස්ථාවේදී සියැට් ඉහළටම පැමිණි අතර සියැට් ව්‍යාපාරික කටයුතු මෙන්ම සන්නාමයේ වටිනාකම මේ හේතුවෙන් වර්ධනය වුණා. මේ නිසා, මේ වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ ‘Movers and Shakers’ යටතට ආඩම්බරයෙන් අපි පත්වුණා.’

Comments