හොඳට ඉගෙන ගෙන දක්ෂ නිළි­යක් වෙනවා | සිළුමිණ

හොඳට ඉගෙන ගෙන දක්ෂ නිළි­යක් වෙනවා

 

 

මේ පුංචි කෙල්ලව දැන් නොදන්නා කෙනකු නැති තරම්. ඒ පැටික්කි වටා දැන් විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ දියණිය සහේලි සදිත්මා සතරසිංහයි. මේ දිනවල ‘සකූගේ ලෝකය‘ ටෙලිනාට්‍ය හරහා පුංචි සහේලි ඔබේ ආලින්දයට එනවා.

 

සහේලි ඉතා කෙටි කලෙකින් සම්මානිත වූ ළමා නිළියක්. ඇය රූපණයෙන් එක්වුණු දෙවනි ටෙලිනාට්‍යය හා දෙවැනි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සම්මානයට ලක් වෙනවා. ‘තාරා‘ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2017 සුමති ටෙලි සම්මාන උලෙළේ ළමා තාරකාව සහ රයිගම් ටෙලි සම්මාන උලෙළේ කුසලතා සම්මානයකින් පිදුම් ලබනවා. එසේම ‘බන්ධනය‘ චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මාන උලෙළේ කුසලතා සම්මානයක් සහ සිග්නීස් සම්මාන උලෙළේ කුසලතා සම්මානයකුත් පුංචි කාලෙදිම හිමි කරගන්නට සහේලි ට හැකි වෙනවා. ඉතින් මේ පුංචි කෙල්ල එක්ක කතා බහ නොකර කොහොම ද?

 

සහේලි දුව කොහොමද

රඟපාන්න සම්බන්ධ වෙන්නෙ?

මම මුලින්ම රඟපෑවේ වෙළඳ දැන්වීම්වල. මගේ පුංචි තමයි ධනංජි තාරුකා. ඇයවත් ගොඩක් අය දන්නවා. පුංචි තමයි මගෙ අම්මට කියන්නෙ මෙහෙම ඔඩිෂන් එකක් තියනවා මාවත් අරගෙන යන්න කියලා. මම චූටිම චූටියි. අම්මා කියනවා අවුරුදු දෙක හමාරයිලු. ඒ තමයි ලංකා බෙල් ඇඩ්එ ක. එකේ තමයි මුලින්ම හිටියේ.

 

ඉතින් පුංචි මොනවද කියන්නෙ. එයා දුවට තවමත් උදවු කරනව ද?

ගොඩාක් උදවු කරනවා. අඩුපාඩු තියනවා, අපි ඒවා හදාගනිමු කියනවා. මගෙ ටෙලිනාට්‍ය චිත්‍රපට ඔක්කොම පුංචි බලලා මට කතා කරනවා.

 

‘සකූගෙ කතාවෙන් ‘සකූගෙ ලෝකය‘ට ආරධානා ලැබෙද්දී ඒකාකාරී වේවී කියලා දුවට හිතුණේ නැද්ද ?

‘සකූගේ කතාවෙ‘ ප්‍රධාන චරිතය කළේ මම. ‘සකූගේ ලෝකය‘ කතාවෙත් එහෙමයි. ප්‍රියන්ත මාමා මට කතා කළා. ඉතින් මම ආසයි එහෙම රඟපාන්න. මට නම් ඉතින් වෙනසක් දැනුණේ නෑ.

 

‘සකූගෙ ලෝකය‘ බලපු අය මොනවද දුවට කියන්නෙ ?

ගොඩක් හොඳ කියනවා. අම්මගේ ෆෝන් එකට කෝල් ගොඩාක් එනවා. ආච්චිගෙ ෆෝන් එකටත් එහෙමයි. ගොඩක් කතා කරන්නෙ මගෙ වයස අය. නංගිලා මල්ලිලා. ලොකු නැන්දලා මාමලා එහෙමත් කතා කරනවා. කතා කරලා මම හොඳට රඟපානවා කියලා කියනවා. ඒ වෙලාවට මට ගොඩාක් සතුටු හිතෙනවා.

 

වැඩිපුර කතා කරන්නෙ ‘සකූගෙ ලෝකය‘ බලපු අයද? ‘සකූගෙ කතාව‘ බලපු අය ද?

අනේ මන්දා... දෙකම බලන අය කතා කරනවා. ඒ අය මට හොඳයි කියනවා..

 

සහේලි දුවට දැන් තනියම පිටපතක් කියවලා නිර්මාණයක් තෝර ගන්න පුළුවන් ද?

තවම එහෙම බැහැ. තවම මට වයස 13යි. ඉස්සර ඉඳන්ම අම්මයි තාත්තයි තමයි පිටපතක් ලැබුණු ගමන් කියවලා බලන්නෙ මම රඟපාන චරිතය, මගේ පාසලට ගැළපෙනවද නැද්ද, වයසට සුදුසුද වගේ හැම දෙයක්ම. එයාලා කියන දෙයක් තමයි ඉතින් මම කරන්නෙ.

 

දුව දැනට ටෙලි නාට්‍යය, චිත්‍රපට කීයක රඟපාලා තිබෙනව ද ?

මුලින්ම රවීන්ද්‍ර විජේරත්න මාමාගේ ‘සුජාතා‘ ටෙලිනාට්‍යට එක් වුණා. ඊට පස්සේ ආනන්ද අබේනායක සර්ගේ ‘තාරා‘ ටෙලිනාට්‍යට සම්බන්ධ වුණා. පසුව උදයකාන්ත වර්ණසූරිය මාමාගේ ‘බන්ධනය‘ චිත්‍රපටයට සහ ප්‍රියන්ත කොළඹගේ මාමාගේ ‘දේදුනු ආකාසේ‘ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ප්‍රියන්ත කොළඹගේ මාමාගේ ‘සකූගේ කතාව‘ ටෙලිනාට්‍යට වගේම දැන් ප්‍රියන්ත මාමාගෙම ‘සකූගේ ලෝකය‘ ටෙලිනාට්‍යයේ රඟපානවා.

 

සහේලි දුව ඉස්කෝලෙ දී විෂයක් විදිහට රංගනය ඉගෙන ගන්නව ද?

මම දැනට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියෙ තමයි ඉගෙන ගන්නෙ... විෂයක් විදිහට නාට්‍ය සහ රංග කලාව ඉගෙන ගන්නවා.

 

ඉස්කෝලෙ වැඩ අතපසු කරගන්නෙ නැතිව දුව කොහොමද රඟපාන්න එකතු වෙන්නෙ?.

පාඩම් වැඩ අතපසු වෙන්නෙ නෑ. අම්මයි තාත්තයි පරෙස්සමින් තමයි මට රඟපාන්න අවස්ථා තෝරලා දෙන්නෙ. හැමවෙලාවෙම ඒ දෙන්න මගෙ ඉගෙනීම්වලට මුල් තැන දීලයි මාව රංගනයට යොමු කරන්නෙ. එතකොට අතපසුවීම් අඩුයි. මගේ පාසලේ විදුහල්පතිනිය චින්තා මැඩම්ව මේ වෙලාවෙදි ගොඩාක් මතක් වෙනවා. මැඩම් මට ලොකු මඟපෙන්වීමක් කරනවා. ගුරුවරු වගේම මගෙ යාළුවොත් මට උදවු කරනවා. ඒ නිසා මට ඉගනීම් කටයුතු මඟහැරෙන්නෙ නෑ...

සහේලි දුවට නැවත චිත්‍රපටවල රඟපාන්න

ආරාධනා ලැබුණෙ නැද්ද?

ප්‍රියන්ත කොළඹගේ මාමාගේ ‘මන්දාරා‘ කියලා චිත්‍රපටයට දායක වුණා. කොරෝනා පටන් ගන්නකොට වගේ තමයි ෂූටින් ඉවර වුණේ. ඒ චිත්‍රපටය තව ටික කාලෙකින් තිරගත වේවි.

 

දුව ළමා හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් කටයුතු

කරනවා නේද?

දැන් අවුරුදු පහක විතර කාලයක් ඉඳන් හඬකැවීම් වලට එකතු වෙනවා.. නෙත් එෆ්. එම් එකේ ‘සත්‍යා‘ කියන නාට්‍යයේ සත්‍යාගේ චරිතයට හඬකවන්නේ මම. හඬකැවීම්වලින් දැනට එයට විතරයි සම්බන්ධ වෙලා ඉන්නෙ.

 

සහෙලිගෙ නංගියි මල්ලියි ගැන කියන්න පුළුවන් ද?

මල්ලියට තවම අවුරුද්දයි. නංගියා වෙළෙඳ දැන්වීමකත් රඟපෑවට නංගි නම් එච්චර කැමැත්තක් නැහැ රඟපාන්න.

 

සහේලි දුව අනාගතේ රංගන ශිල්පිනියක් වෙන්නමද කල්පනාව ?

එහෙම තමයි ආසාවෙන් ඉන්නෙ. ඒත් ඉතින් ඉගෙන ගන්න ඕන හොඳටම. මේ දෙකම හරියට කරගන්න පුළුවන්නම් ෂෝක්. ඒකට තමයි මහන්සි වෙන්නේ...

Comments