හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

 

බොලිවුඩය යළි වැඩ

ඉන්දියාවේ පසුගිය දිනවල ඉතා බිහිසුණු ආකාරයෙන් පැතිරුණු කොවිඩ් දෙවැනි රැල්ල මුළු ලෝකයේම අවධානයට ලක් වුණා. එහි උපරිම අවස්ථාවේ දී දිනකට ලක්‍ෂ 4 කට වඩා ආසාදිතයන් වාර්තා වන තත්ත්වයක් පවා දැකගන්නට ලැබුණා.

බොලිවුඩ් සිනමාවේ කේන්‍ද්‍රස්ථානය වන මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ද දරුණුම ආකාරයෙන් මෙම කොවිඩ් රැල්ලට බිලි වූ ප්‍රාන්තයක්. මේ නිසා චිත්‍රපට නිෂ්පාදනය පවා මුළුමනින් ම නතර වෙලයි තිබුණේ. කෙසේ හෝ වේවා, දැන් නැවතත් චිත්‍රපට රූපගත කිරීම් සඳහා අවසර දීමට එම ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නමුත් එ් විවිධ සීමාවන්ට යටත්ව යි. නිදසුනක් ලෙස, රූපගත කිරීම් කළ හැක්කේ දවසේ නිශ්චිත කාල සීමාවක් තුළ පමණයි. නළු නිළියන් විශාල පිරිසක් එකවර පෙනී සිටින දර්ශන රූපගත කිරීමටත් අවසර නැහැ. මේ ආකාරයෙන් සිනමා කටයුතු සඳහා නැවත අවසර ලබා දීමෙන් පසු රූපගත කිරීම් ආරම්භ කරන පළමු චිත්‍රපටය ආලියා භාත් ප්‍රධාන චරිතය රඟන ‘ගංගුබායි කතියවාදි’ බවයි වාර්තා වන්නේ. එය සංජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කරන සිනමාපටයක්.

 

ඩැනියෙල් ගේ අවසන්

බොන්ඩ් රංගනය

සුප්‍රකට නළු ඩැනියෙල් ක්‍රෙග් රඟපාන අලූත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන Time to Die මේ වනවිට හොලිවුඩ් සිනමා රසිකයන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටින චිත්‍රපටයක්. කොවිඩ් වසංගතය නිසා කිහිප වරක් මෙහි තිරගත කිරීම කල් දමන්නට සිදු වුණා. කෙසේ වෙතත්, එය ලබන සැප්තැම්බරයේ සිට එක්සත් රාජධානියෙත්, ඔක්තෝබර් මාසයේ සිට ලොව පුරාත් තිරගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

ඩැනියෙල් ක්‍රෙග් මේ වනවිට චිත්‍රපට හතරක ජේම්ස් බොන්ඩ් ලෙස රඟපා ඇති අතර මෙය ඔහු එම චරිතයට පණ දෙන අවසන් චිත්‍රපටය වනු ඇති බව විශ්වාස කෙරෙනවා. බොහෝ ප්‍රේක්‍ෂකයන් චිත්‍රපටය නැරඹීමට පුල පුලා බලා සිටින්නට එක හේතුවක් එයයි. මේ අතර චිත්‍රපටයේ මංගල දර්ශනය මෙතෙක් සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් වෙනුවෙන් පැවැත්වුණු දැවැන්තම මංගල දර්ශනය වනු ඇති බවත් සඳහන්. ලන්ඩන් නුවර පැවැත්වෙන මෙම මංගල දර්ශනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් වැය කිරීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එය ලංකා රුපියල්වලින් කෝටි 20 කට ආසන්න මුදලක්.

 

රූගත කිරීම්

අතර සිදුවූ

අකරතැබ්බ

දක්ෂ රංගන ශිල්පියකු වන සමන්ත කුමාර ගමගේ හදිසි අනතුරකට ලක්වී තිබෙනවා. රනිල් කුලසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ඉදිරියේදී විකාශනය වීමට නියමිත ‘පානාමංකඩ‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් අතරතුරයි ඔහු මේ අකරතැබ්බයට මුහුණදී තිබෙන්නේ. ගසකින් පැනීමට තිබෙන අවස්ථාවකදී ගසේ අත්ත තම අතින් ගිලිහීම නිසා බිමට වැටි තම පාදයේ විලුඹ තුවාල වී ඇති බවත් දැනට ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඔහු රසඳුනට පැවසුවා. මේ නිසා මේ දිනවල රූගත කිරීම් වලට සහභාගි නොවී විවේකීව ගත කරන සමන් දැන් තරමක් සුව අතට හැරෙමින් සිටිනවා.

 

ලෝක බලවතුන්ට ඉල්ලීමක්

කොවිඩ් එන්නත්කරණය මේ වනවිට ලෝකයේ සෑම රටකම විශාල අවධානයක් දිනාගෙන තිබෙන කාරණයක්. නමුත් මෙහි දී ලොව ධනවත් රටවල් සහ දිළිඳු රටවල් අතර ලොකු විෂමතාවක් දක්නට ලැබෙනවා. ධනවත් රටවල ජනතාව දෙතුන් වරක් වුව නැවත නැවත එන්නත් කිරීමට සෑහෙන තරම් මාත්‍රා තොග ඔවුන් සතුව තිබුණත් දිළිඳු රටවල් විශාල එන්නත් හිඟයකින් පීඩා විඳිනවා. මෙම පසුබිම තුළ ධනවත් රටවල් සතුව ඇති අමතර එන්නත් තොග ඉක්මනින් දිළිඳු රටවල් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපියකට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද අත්සන් තබා ඇති බව සඳහන්. ඇය මෙන්ම තවත් ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනකුම මෙයට අත්සන් තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්, ගායක ගායිකාවන් වන සෙලීනා ගෝමස්, ලියම් පේන්, කේටි පෙරී වැනි අය ද මෙම ලිපියට අත්සන් තබා ඇති අතර ඔවුන් මේ ආකාරයෙන් සහය දක්වා ඇත්තේ එන්නත් විෂමතාව අවම කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය ගෙන යන ව්‍යාපාරයකට යි.

 

 

මේ විෂම කාලේ තනිව

සතුටු වෙන්න බැහැ

ලෝකයේ විශිෂ්ටතම සිනමා උලෙළක් වන කාන්ස් සිනමා උලෙළේ තරගකාරී වටයේ දෙවන වටය සඳහා මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු ‘සහෝ‘ චිත්‍රපටය තේරී ඇත. සරසවි ප්‍රේමයේ විචිත්‍රත්වය හා විශ්මය මුල්කොට ගෙතුණු ‘සහෝ ‘ චිත්‍රපටය නිර්මාණය වී ඇත අතර මෙම චිත්‍රපටයේ දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ, සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙයි. සංගීතය තරුපති මුණසිංහ ගෙන් හැඩවුණු අතර සහාය අධ්‍යක්ෂණය සරත් සේනාරත්න විසිනි, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය චන්දන ජයසිංහ, කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංක, වේශ නිරුපණය ලක්ෂිත ජයකොඩි, සංස්කරණය හා වර්ණ සංයෝජනය ඩිලාන් ගුණවර්ධන ශිල්පීන් විසින් මෙහෙය වූ අතර ඇඳුම් නිර්මාණය මනෝරි චන්ද්‍රදාස සහ චමෝදරී ලක්‍ෂාණී විසින් සකසා තිබුණි, නිශ්චල ඡායාරූප දම්මික පතිරණ ද පසුබිම් ගායනය ඉන්ද්‍රචාප ලියනගේ හා උපේකා නිර්මාණී විසින් ගායනා කළ අතර. නිෂ්පාදනය ආචාර්ය බන්ධුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි හා රවින්ද්‍ර ගුරුගේ විසින් සිදු කරනු ලැබිණි.

මේ පිළිබඳ මහැදුරු ආරියරත්න ඇතුගලයන් පැවසුවේ මෙම සම්මානය ලැබුණත් තමා ඒ පිළිබඳ කිසිදු ආඩම්බරයක් නැති බවත් රටේ සිනමාව ඛේදවාචකයකට වැටෙන විට තමාට පමණක් මෙම ජයග්‍රහණය සැමරීමට නොහැකි බවත් ය. සිනමා ශාලා වැසී ගෙන යන මේ අවස්ථාවෙහි මෙවැනි ජයග්‍රහණයක් අපි ලබා ගත්තත් ලංකාවේ සිනමාව තාක්ෂණික මට්ටමින් ඉතා පහළ තැනක තිබෙන බවත් ජයග්‍රහණ පමණක් නොව සිනමාවද අපි නඟා සිටුවිය යුතු බවත් එතුමා සඳහන් කරයි.

 

 

 

තරු පුතකුගේ

කුලුඳුල් රංගනය

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ වැඩිමල් පුත් ජුනයිද් ඛාන් ද මේ වනවිට සිය පියාගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එක් වී සිටිනවා. ජුනයිද් මේ ආකාරයෙන් රංගනයට මුලපුරා තිබෙන්නේ ‘මහරාජා’ නමැති සිනමාපටයෙනු යි. ඔහු එහි රඟපාන්නේ මාධ්‍යවේදියකු ගේ චරිතයක් බවත් සඳහන්. සිද්ධාර්ත් මල්හෝත්‍රා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන මෙම සිනමාපටයේ රූපගත කිරීම් මේ වනවිටත් සිදු කෙරෙමින් ඇති බවයි වාර්තා වන්නේ. ජුනයිද්, ආමීර් ගේ පළමු විවාහයේ දරුවෙක්. ඔහු ගේ මව රීනා දත්තා යි. ආමීර් සහ රීනා 1986 වසරේ විවාහ වූ අතර 2002 වසරේ දික්කසාද වුණා. එයින් පසු 2005 වසරේ අමීර් ඔහුගේ වත්මන් බිරිය වන කිරන් රා ඕ සමඟ විවාහ වුණා. ජුනයිද් ට අයිරා නමින් බාල සො‍ෙහායුරියක් ද සිටිනවා. ඔවුන් දෙදෙනා ම ජීවත් වන්නේ ඔවුන් ගේ මව වන රීනා සමඟ යි.

 

 

 

Comments