සැණින් සුදු වෙන්න ගොස් විහින් ලෙඩ නොවන්න | Page 2 | සිළුමිණ

සැණින් සුදු වෙන්න ගොස් විහින් ලෙඩ නොවන්න

 

ඔබේ සමෙහි ස්වභාවය හඳුනා ගන්නේ කෙසේද යන්න පසුගිය රූ රහස් ලිපිය ඔස්සේ ඔබව දැනුම්වත් කළා. පැහැපත් සමකට කැමැත්තෙන් කෙරෙන සත්කාර සහ විවිධ ආලේපන භාවිතයේ දී සමේ වර්ණය මෙන්ම නිරෝගී බව පිළිබඳ ද අවධානය යොමු කළ යුතු බවයි එහිදී පෙන්වා දුන්නේ. නිරෝගී සමක් කියන්නෙම ප්‍රත්‍යස්ථ බව, තෙතමනය හා කාන්තිමත් බවය යන්න දැන් ඔබ දන්නවා. මේ සියලු සාධක රකිමින් පැහැපත් වෙන්න නිවෙසේදීම වුවත් සාදා ගත හැකි ස්වභාවික ප්‍රතිකර්ම ඕනෑ තරම්. අද ලිපියෙන් අප දැනුම්වත් කරන්නේ ‘සුදු‘වෙනුවට කාන්තිමත් සමක් හිමිකර ගත හැකි ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

 

වියළි සමට

 

කොහොඹ කොළ ස්වල්පයක් ගෙන ඇල් වතුර ස්වල්පයක් ඉස හොඳින් තලා ගත් පසු කොහොඹ ඉස්ම මුහුණේ සහ මුළු ශරීරයේම ආලේප කර සෝදා හරින්න.

කඩල පිටි, මුං ඇට, රතු පරිප්පු ගෙන කුඩු කර එම කුඩු කෝමාරිකා හෝ එළකිරි නැතිනම් යෝගට්වලින් මිශ්‍ර කර ආලේප කර සෝදා හරින්න. මුළු සිරුරේම වුවද ආලේප කළ හැකියි.

 

තෙල් සහිත සමකට

 

කඩල පිටි, මුං ඇට පිටි, රතු පරිප්පු පිටි, දියකරගත් පිටි කිරි සමඟ මිශ්‍ර කර ආලේප කළ හැකිය. කිරිපිටි වෙනුවට මී පැණි සමඟ ද මිශ්‍ර කළ හැකිය. මී පැණිවල ඇති ගුණය නිසා එම සත්කාරය සමට ඉක්මනින්ම අවශෝෂණය වෙයි.

කඩල පිටි සහ නැවුම් කිරි මිශ්‍ර කර එයට කහ ස්වල්පයක් එකතු කර සිරුරේ ආලේප කිරීම ද සම පැහැපත් කිරීමට උපකාරි වෙයි.

 

මිශ්‍ර සමට

 

පිපිඤ්ඤා මී කිරි සමඟ හෝ යෝගට් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කළ හැකියි.

තක්කාලි යුෂ, ලෙමන් යුෂ, එළකිරි යොදය මුහුණේ ආලේප කිරීම ද සමෙහි නීරෝගි බව හා තෙතමනය රැකදෙන ස්වභාවික සත්කාර ක්‍රම කිහිපයකි. පොල් කිරි වතුර නොදා මිරිකා කහ ස්වල්පයක් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් ද සමට පැහැපත් බවක් එක් කරයි.

ආහාර රටාව

 

මොන තරම් මිල අධික ආලේපන වර්ග භාවිත කළත්, බාහිර සත්කාර කළත් නීරෝගී පැහැපත් සමක් ලබා ගන්න ඔබේ ආහාර රටාව සහ ආහාර පාලනය ශරීර සෞඛ්‍යට සේම බාහිර පෙනුමටත් අතිශයින් ප්‍රයෝජනවත්. නීරෝගී පැහැපත් සමක සිහින දකින ඔබ කිරි ආහාර, අධික තෙල් සහිත ආහාර, උෂ්ණාධික ආහාර පාන, කාබනීකෘත බීම, ටින් කළ ආහාර, කෘත්‍රිම ආහාර සීමා කළ යුතුමයි. එවැනි ආහාර පුරුදු ශරීර සෞඛ්‍යට සේම බාහිරව සමෙහි කුරුලෑ ආසාදන වැනි දෑ ඇති වීමට ද බලපානවා. කුරුලෑ ඇති වුවහොත් එහි මතුපිට දෙහි හෝ ලෙමන් ස්වල්පයක් ආලේප කිරීමෙන් හෝ ආයූර්වේදයට අනුව රත් හඳුන්, වැල් මදට, සුවඳ කොට්ටන්, අරළු සහ රතු පරිප්පු එකතු කර පේස්ට් එකක් සාදා ආලේප කර විනාඩි විස්සකින් සෝදා හැරීම පුරුද්දක් ලෙස කිරීමෙන් කුරුලෑ ආසාදනයෙන් සුවපත් වේවි.

හැකි නම් ඔබේ ආහාර වේලට ගිතෙල් එකතු කර ගන්න. මාස හයක් පමණ යන විට ඔබේ සමේ පැහැය කාන්තිමත් වීමේ වෙනස ඔබටම දැක ගත හැකි වේවි. ඉන්දියානුවන්ගේ රූමත් බවේ රහස් අතර ගිතෙල් වලට හිමිවෙන්නෙත් ප්‍රධාන තැනක්.

 

විජලනය නොවූ සමක්

 

විජලනයෙන් තොර වූ සමක් තිබීමත් වැදගත්. නමුත් බාහිර ආලේපනයකට සමෙහි තෙතමනය නිරන්තරයෙන් රඳවා ගන්න හැකියාවක් නැහැ. පාන වර්ග ගැනීම මඟින් විජලන තත්ත්ව නැති කර ගත හැකියි. සම රැලි වැටීම වැළැක්වීමට, කැලැල් නැති කිරීමට සේම සමේ ඇති විෂබීජ ඉවත් කිරීමට දිනපතා වැඩිපුර ජලය පානය කළ යුතුයි. සමෙහි සෛලවලට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ මනාව සංසරණය වීමට එය උපකාරී වෙනවා. රණවරා, නීර මුල්ලිය, ඉරමුසු වැනි ඖෂධීය ගුණ ගණනාවකින් යුතු දෙවල් ද දිනපතා පානයට එකතු කරගන්න. ඉරමුසු ලේ පිරිසිදු කිරීමටත් සම පැහැපත් වීමටත් අතීතයේ සිට ප්‍රචලිතයි. සීනි නොදා කැරට් බ්ලෙන්ඩර් කර පානය කිරීමත් සමේ කාන්තිමත් බව ඇති කිරීමට ප්‍රචලිතයි.

අවසානයේදී ඔබට මේ දේ මතක් කළ යුතුමයි. ස්වභාවික බාහිර සත්කාර, ආහාර පාලනය, නිවැරදි දින චර්යාව වැනි ස්වභාවික ක්‍රම අනුගමනය කිරීමේදී හොඳම ප්‍රතිඵල අත්කර ගැනීමට මඳක් කාලය ගත වෙන්න පුළුවන්. නමුත් ඉක්මන් කෙටි ප්‍රතිකර්ම වලින් සුදු වී පසු කාලීනව ලෙඩ වෙනවා වෙනුවට ඉවසීමෙන් ස්භාවික ප්‍රතිකාරවලට යොමු වී දිගුකාලීන නිරෝගී කාන්තිමත් රූ සම්පත්තියක් හිමි කර ගන්න.

 

 

Comments