ස්වාභා­වික විපත් සිදු වෙන්නේ අපේම නොසැ­ල­කි­ල්ලෙන් | සිළුමිණ

ස්වාභා­වික විපත් සිදු වෙන්නේ අපේම නොසැ­ල­කි­ල්ලෙන්

 

 

අහසත් පොළොවත් විකල් වූ දින කිහිපයක් ගත වෙමින් ඇත. රට ස්වාභාවික ආපදාවකය. තෙදිනක වැහි දහර ද පොළොවට දරා ගත හැකි නොවුණි. කඳු නාය ගියේය. විසල් ගං වතුරක් ඉපදිණි. මේ ලියන මොහොත වන විට මිනිස් ජීවිත 21ක් බිලිගත් බව වාර්තා විය. දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක පවුල් 67,613කට අයත් පුද්ගලයන් 27,1110ක් විපතට පත් වූ බව කියැවිණි.

 

මේසා මහත් වූ උවදුරු හටගන්නා විට ගැලවුම්කාර විද්වතෙක් ගැන රට හැමදාම කතා වන්නේය. අප දන්නා දා සිට ඒ නම ඇසෙන්නේය. එතුමෝ ස්වාභාවික ආපදා කළමනාකරණය කිරීමෙහි විසල් දැනුමක් ඇත්තාහ. විෂය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහ. මේ ඔහු සමඟ සංවාදයකට සුදුසුම අවස්ථාවකැයි සිතුවෙමු.

මේ පොළොවේ හුස්ම වැටෙන රිද්මයෙහි අනුහස හඳුනාගත් ඒ මහැදුරුතුමා සොයා යන්නේ එබැවිනි. ඔහු පේරාදෙණිය සරසවියේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නයන්ය.

මහැදුරු අතුල සේනාරත්නයන් පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිවරයෙකි. ලෝක සම්භාවිත විද්වතෙකි. පැතිර ගිය මානව ගුණයෙන් යුතු මනුෂ්‍යයෙකි. ඔහු හා කෙරෙන සංවාදය අරඹන්නේ මහත් වූ අභිරුචියකිනි.

ඈත පිටිසර දුෂ්කර සේවයේ යෙදෙමින් ගැමි දරුවන්ගේ ජීවිත එකෙළි කරන්නට කැප වුණු ගුරුවරු වූ මවුපියන් සමඟ පාසල් ගුරු නිවාසවල ගත කළ අතීතය සිහි කරමින් ඔහු සංවාදයට මුල පිරුවේය.

“ දුෂ්කර සේවයේ යෙදෙන ගුරු යුවළකගෙ දරුවෙක් වීම ඇත්තටම හරිම අපූරු අත්දැකීමක්. අපි මවුපියන්ගෙ රැකියාව එක්ක රට වටේම සැරිසරනවා. පාසල තුළ පාසල් ගුරු නිවාසවල එකිනෙකට වෙනස් අත්දැකීම් ලබමින් ගෙවුණ අපූරු ළමා කාලයක් මට තිබුණේ.“

“ මම ඉපදෙන්නෙ 1957 පෙබරවාරි. අම්මා බාලාංශ දරුවන්ට සිප්සතර කියා දුන්නු ගුරුවරියක්. අප්පච්චි ඒ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පති. මම අම්මත් එක්ක ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට මට අවුරුදු 3යි. මම දියතලාපිටියේ ඉස්කෝලෙ තුනේ පන්තියට එනකම් ඉගෙන ගත්තා. අවුරුදු 8ක් වෙනකොට අම්මයි අප්පච්චියි මාරු කළා දඹුල්ල ඇරැවුවල ප්‍රාථමික විද්‍යාලයට. ඒ දවස්වල ගුරු යුවළකට මාරු වීම් දුන්නේ එකම තැනකට.“

“ඉතින් අපි බඩුමුට්ටුත් අරන් ඇරැවුවල ඉස්කෝලෙට ගියා. ඒ 1965 අවුරුද්ද. ඇරැවුවලට යන්න තිබුණෙ ගුරු පාරක්. දඹුල්ලෙ ඉඳන් හැතැප්ම පහක් දුරයි. කරත්තවල බඩු පටවගෙන අපි කරත්තෙ පස්සෙ පයින්ම ඇරැවුවලට ගියා. විදුහල්පතිට තිබුණේ තනි කාමරයක්. මමයි අයියයි නංගියි... අම්මයි තාත්තායි එක්ක අපි පස්දෙනාම ඒකෙ තමයි හිටියෙ. ඒ දවස්වල කරන්ට් නෑ... ගම වටේ කැලෑව. රෑ වෙනකොට සත්තු කෑ ගහනවා.“

තාත්තා ඉස්කෝලෙ දියුණු කරන්න ගත්තා. ප්‍රාථමික විද්‍යාලය තිබුණෙ 5 පන්තියට විතරයි. ඉස්කොලෙ පන්ති ඕලෙවල් දක්වා වැඩි කළා. ඒ කටයුතුවල තාත්තා නියැළිලා හිටියා. අම්ම තාත්තගෙ වැඩවලට උදවු කළා.

ඔය අතරෙ මට අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය පසුබිම තිබුණෙ නෑ. තාත්තා මාව ඇරැවුවල ඉස්කෝලෙන් මඩවලඋල්පතට ඉස්කෝලෙට යැවුවා. එතැනින් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එන්න මට හැකි වුණා. ධර්මරාජයෙන් තරග විභාගයක් තියලා මම ආවා මාතලේ විද්‍යා විද්‍යාලයට. නවයෙ පන්තියෙ ඉඳන් උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ විද්‍යා විද්‍යාලයෙ.

විද්‍යා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වකවානුව තුළ මහැදුරු අතුල සේනාරත්නයන්ගේ ජීවිතයේ බරපතළම බිඳ වැටීම සිදුවන්නේ පියාගේ වියෝවත් සමඟය. ඒ මතකය තවමත් ඔහුව කම්පනයට පත් කරනු සේය.

“ ඒ 1971 අවුරුද්ද. අප්‍රේල් කැරැල්ලත් එක්ක රට මහා අවුලක තිබුණේ. තාත්තා 1971 දෙසැම්බර් මාසෙදි විශ්‍රාම ගියා. පාසලේ දරුවන්ගෙන් වෙන් වෙලා ජීවත්වීම ඔහුට දරාගන්න බැරි වුණා. විශ්‍රාම ගිහින් දවස් 10යි. තාත්තා පපුවෙ අමාරුවක් හැදිලා නැති වුණා.“

“ඒ වියෝව පවුලම දැඩි කම්පනයකට ලක් කළා. ඒත් අම්මා පුදුමාකාර දිරිය කාන්තාවක්. ඇය අපි තුන්දෙනාට අම්මයි තාත්තායි දෙන්නම වුණා. අපිට ඉගැන්නුවා. මගෙ අයියා ඉංජිනේරුවරයෙක්. නංගි නර්ස් කෙනෙක් වෙලා ඉඳලා සේවයෙන් ඉවත් වුණා දරුවෝ නිසා. අපිව සාර්ථක මිනිස්සු කරන්න තාත්ත නැති වුණු වෙලාවෙ ඉඳන් අම්ම අසීමිත කැප කිරීමක් කළා.“

මහාචාර්ය සේනාරත්නයන්ගේ ජීවිතය පෙරැළිකාර ලෙස වෙනස් වන්නේ ඔහු පේරාදෙණිය සරසවියට පැමිණි පසුය. විද්‍යා විෂයයන් හදාරා සරසවියට පැමිණෙන ඔහු සරසවියේ දී ස්වකීය විශේෂඥ විෂය පථයට තෝරා ගන්නේ භූ ගර්භ විද්‍යාවය. ඔහුට ඒ විෂය තෝරා ගන්නට හේතු වන්නේ ඔහුගේ සොයුරාය.

“ අයියා ඉංජිනේරුවරයෙක් විදිහට පුහුණුව ලැබුවේ බෝවතැන්න ජලාශ ව්‍යාපෘතියේ. උමං කැණීම් විෂය ගැන ඔහු හදාරමින් හිටියා. ඒ වකවානුවෙදි ඔහු එක් එක් පාෂාණ වර්ග අරන් ඇවිත් නම් කරමින් ඒවා එකතු කරනවා. ඒ වෙනකොට මම උසස්පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටියේ.

මම කල්පනා කළා අපි හැම ගලටම කළු ගල් කිව්වට මේක හරි අපූරු විෂයයක් නේද කියලා. මේ විෂය හදාරන්න අවශ්‍ය පහසුකම පේරාදෙණිය සරසවියෙ තියන වග අයියා කිවුවා. සරසවියට ප්‍රවේශ වුණාට පස්සේ මම කල්පනා කළා මේ අලුත් විෂය හදාරන්න. ඉතින් මම කැමැත්තෙන් ඉගෙන ගත්තා. බැජ් ටොප් වුණා. පන්ති සාමාර්ථයක් එක්ක අවසන් විභාගයෙන් සමත් වුණා.

අතුල සේනාරත්නයන් පශ්චාත් උපාධිය කරන්නේ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයෙනි. ඒ පරිසර තාක්ෂණය ගැනය. පරිසර තාක්ෂණය ගැන ලංකාවේ මුල්ම පශ්චාත් උපාධිධාරියා ද සේනාරත්නයන්ය.

“පශ්චාත් උපාධිය ඉවරවෙලා ඇවිත් සරසවි ආචාර්යවරයෙක් ලෙස උගන්වන ගමන්ම මා ආචාර්ය උපාධියට සූදානම් වුණා. ඒ අතරෙ 1984 දි මට ආචාර්ය උපාධිය කරන්න ජර්මන් රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. 1987 වනකොට මම ආචාර්ය උපාධිය නිම කළා. මගෙ පර්යේෂණ වුණේ මුතුරාජවෙල සහ නැඟෙනහිර වෙරළබඩ භූ රසායනික පරිණාමය ගැන. මගෙ පර්යේෂණයට අවශ්‍ය දත්ත සාම්පල මා අරන් ගියේ ලංකාවෙන්. ඒ පර්යේෂණයට මට පන්තියක් එක්ක උපාධියක් ලැබුණා.

අතුල සේනාරත්නයන් විවාහ දිවියට එළැඹෙන්නේ ඔහුගේ පශ්චාත් උපාධියට එංගලන්තයට යෑමට කලිනි. ඔහුගේ ප්‍රිය බිරිය සන්ධ්‍යා කුරුකුලසූරිය ය. ඔවුන් විවාහ ප්‍රාප්තවන විට සේනාරත්නයන්ගේ වයස 23කි. සන්ධ්‍යා යාන්තම් 18 ලැබූ ගමන්ය. ඒ ප්‍රිය අඹුසැමි යුවළ අදත් සිය ජීවත නැවුම් කරගනිමින් ප්‍රේමණීයව කල් ගත කරති.

“ මට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. පුතා විදුර සේනාරත්න. එයා දෘඪාංග ඉංජිනේරුවෙක්. දුව ඉපදුණේ ජර්මනියෙ. ඇය හොඳින් ඉගෙන ගෙන ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබුවා. බැංගලෝර් සරසවියෙන් උපාධිය ගත්තා පරිගණක විද්‍යාව ගැන. ඇය එම්. එස්. සී උපාධියට ජර්මනියේ නියුස්ටර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය කළා. දැන් ඇය ආචාර්ය උපාධිය කරලා ජර්මන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ පරීක්ෂකයෙක් විදිහට වැඩ කරනවා. ඇගේ සැමියා ජර්මන් ජාතික විද්‍යාඥයෙක්. ඇය දැන් ලෝකයේ බෙහෙවින්ම පිළිගත් පර්යේෂිකාවක්...“

මහාචාර්ය අතුල සේන­ාරත්නයන් යහපත් පරිපාලකයෙකි. ඔහු වර්ෂ 2012 – 2015 කාලය තුළ පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය. ඒ වකවානුවේ සරසවිය ලංකාවේ අංක එක සරසවිය ලෙස පැවතුණේය. අපකීර්තිමත් නවක වදයෙන් සිසුන් සැලකිය යුතු සේ ඉවත් කිරීමට මහැදුරු සේනාරත්නයන්ට හැකි විය. සරසවියේ භෞතික සම්පත් දියුණු කිරීම පමණක් නොව සරසවියේ පර්යේෂණ වෙනුවෙන් වෙන් කර තිබූ මුදලට වඩා දස ගුණයක ප්‍රතිපාදන රජයෙන් වෙන් කරගැනීමට සමත් විය. ඒ පිළිබඳ ඔහු කතා කරන්නේ තෘප්තියෙනි.

මහාචාර්ය අතුල සේනාරත්නයන් ආපදා කළමනාකරණය හා සම්බන්ධ වන්නේත් එවැනිම තෘප්තිමත් හැඟීමකිනි. සමාජය වෙත පෙරළා යමක් දීමට කැමති අසීමිත මනුෂ්‍යත්වයක් ඔහු තුළ තිබේ.

“මම පරිසර තාක්ෂණය හා ඛනිජ සම්පත් ගැනයි හදාරලා තිබෙන්නෙ. ආපදා කළමනාකරණයට මම උදව් කරනවා. ගං වතුරක්, නාය යෑමක් ආවම මම ඊට සම්බන්ධ වෙලා උදව් කරනවා. “

අප ලංකාව ගැන ඉගෙනගෙන ඇත්තේ ලෝකයේ ස්වභාවික උවදුරු අඩුම රටක් ලෙසය. එහෙත් දැන් අප තිගැස්සෙන කතා ඇසෙන්නේය. මධ්‍යම කඳුකරයේ භූ කම්පන ඇතිවෙන්නේය. වික්ටෝරියා ජලාශය අවට සිදුවන භූ කම්පනයන් මහා විශාල අනතුරක් ඉඟිකරනු ඇත්දැයි සමාජයක්ම බියපත්ව සිටින්නේය.

“ ඒ ගැනත් අපි අධ්‍යයනය කළා. අපි නිරන්තර සංවාදයක ඉන්නවා මේ සිදුවීම් ගැන. ඔබ අහයි ඇයි මෙහෙම වෙන්නෙ කියලා. ලංකාව භූ කම්පන කලාපවලින් ඈත තිබ්බට පොළොව ඇතුළේ ඇකිලීමක් තිබෙනවා. ඒ කියන්නෙ මධ්‍යම කඳුකරය සෑම අවුරුද්දකට සැරයක්ම මිලිමීටර දෙකක් විතර ඉස්සෙනවා. මේ ඉස්සීම ගැන කලින්ම කිව්වේ මගෙ ගුරුතුමා මහාචාර්ය විතානගේ. එතුමා ඒක කිවුවාම කිසිම කෙනෙක් ඇහුවේ නෑ. ඒ කාලෙ ඩෑම් හදන්න එපා කියපු තැන්වල ඩෑම් හැදුවා. ඒවයෙ භායනක ප්‍රතිඵල ගැන අපි බයෙන් ඉන්නෙ.“

උදාහරණ කොත්මලේ ජලාශය. ඒ කාලේ අපි ගොඩක් දේවල් කතා කළා. අවසානයෙදි කොත්මලේ ජලාශය හැදුවා. ඒ රික්ටර් මාපකයේ 3.5ක ප්‍රබලතාවක් සහිත භූ කම්පනයක ඔරොත්තු දෙන්නෙ. ඉතා විශේෂිත විරල තත්ත්වයක් ඇති නොවුණොත් අපට අනවශ්‍ය විදිහට බය වෙන්න දෙයක් නෑ. එහෙත් දැන් අපට තියෙන්නෙ භූ කම්පන මාන 04යි. භූ කම්පන මාන ජාලයක් ඇති කර අපේ නිරීක්ෂණ තව වැඩි කළයුතුයි. “

මේ ඇතිවී තිබෙන පාරිසරික ව්‍යසන ගැන මහැදුරු සෙනාරත්නයන් විමසිය යුතුම යැයි සිතුවෙමි. ඔහු විද්‍යාත්මක කරුණු මත පදනම්ව කියන්නේ අපේ රටේ වර්ෂාපතනයේ අඩුවක් වී නැති බවය. සිදු වී ඇත්තේ ලෝක දේශගුණ තත්ත්ව යටතේ වර්ෂා පතන රටාවේ වෙනසක් සිදු වී පැතිරී ගිය වර්ෂාව වෙනුවට කෙටි කලක් තුළ දරාගත නොහැකි තරම් වර්ෂාවක් ඇදහැලීම බවය.

“විශාල ලෙස වැටුණු වැසි ජලය පුරාණ රජවරු කළමනාකරණය කරගත්තා. මධ්‍යම කඳුකරයට වැටෙන වැස්ස තැනිතලා ප්‍රදේශවල වැවුවලට එකතු කරගත්තා. උතුරු මැද පළාතටත් විශාල වර්ෂාවක් ලැබෙනවා. රජවරු ඒ ජලය කළමනාකරණය කරගන්න සමෝච්ච රේඛා ඔස්සේ වැව් එකකට එක්ක සම්බන්ධ කරගනිමින් යෝධ ඇළවල් හැදුවා. යොධ ඇළක් කියන්නෙත් වැවක්.

“මේ තාක්ෂණය නිසා ගංවතුර ආවේ නෑ. දැන් ඒ පද්ධති සියල්ල වෙනස් වෙලා. යෝධ ඇළවල්වල ජනපද හැදිලා තිබෙනවා. මේ ගංවතුරෙන් කියන්නෙ අපි ජල කළමනාකරණය අත්හැර ඇති බවයි.“

“විද්වතුන් විදිහට අප සිදුවිය යුතු දේ ගැන හැම රජයකටම අධ්‍යයන වාර්තාවලින් යුතුව යෝජනා ඉදිරිපත් කළා. මේ ප්‍රශ්නය නිවැරදිව කළමනාකරණය කරනකම් හැමදාම අප ගංවතුරෙන් යටවේවි.“

නාය යෑම් සම්බන්ධව සේනාරත්නයන් විමසුවෙමි. ඔහු පවසන්නේ නාය යෑමේ අවදානමක් සහිත ලංකාවේ දිස්ත්‍රික් 9ක් ඉලක්ක කරගෙන සියලුම දත්ත සිතියම් ගත කර ඇති බවය. වර්ෂාව ඇති වකවානුවල අනතුරු ඇඟවීම් සිදුවන්නේ ඒ විද්‍යාත්මක දත්ත මත පදනම්ව බවය.

“ අනතුරු ඇඟෙවුවත් ඔවුන් යන්නෙ නෑ. ඒ තත්ත්වය වෙනස්. බොහෝ අනතුරුවලට ලක් වෙන්නෙ ඒ උපදෙස් පිළිපදින්නෙ නැති පිරිසක්. “

සංවාදය ගලා යන්නෙ විසුරුණු කරුණු ජාලයක් වටාය. ඒ සංකීර්ණත්වය බොහෝ දේ සිතන්නට ඉතිරි කර තිබේ. අප මේ කථිකාව නිමා කළ යුතුව ඇත. අවසාන වශයෙන් අපට මේ ලෝ පතළ විද්වතාගෙන් විමසිය යුතු දෙයක් තිබිණ.

අවසාන වශයෙන් ඔබට මේ රටට කියන්නට ඇත්තේ මොනව ද? ඔහු මඳක් නිහඬ විය. අවසානයේ සියල්ල සංක්ෂිප්ත කළේය.

“මේ රටට කියන්න තියෙන්නෙ එක දෙයයි.

රටේ සංවර්ධනය සැලසුම් විය යුත්තේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහාමයි. එක කතාවක් කියලා නවතින්නම්.

“ මම 2001 පේරාදෙණිය පර්යේෂණ කණ්ඩායමක් එකක් ගිහින් සොයා ගත්තා යකඩ නිධියක්. නමුත් 2021 අද වෙනතුරු ඒ යකඩ නිධියෙ එක් ගල් කෑල්ලක්වත් ප්‍රයෝජනයට අරන් නෑ. අපි සොයා ගත් දේවල් සොයාගත්තු විදිහටම වැලි ඇටයක වෙනසක් වෙන්නෙ නැතිව එහෙමම තිබෙනවා.“

“ලංකාවේ පොළොවෙන් ගන්න ආදායම සියයට දශම 04යි. අලුත් කර්මාන්ත ඇති කළ හැකි ඛනිජ සම්පත් ගැන මම අවුරුදු 47ක් පර්යේෂණ කරලා තිබෙනවා. ළමයින්ට උගන්වලා තිබෙනවා. ලබන අවුරුද්දෙ මම පැන්ෂන් යනවා. අපේ කාලය ඉවරයි. අපෙන් පස්සෙ එන විද්වත් පරම්පරාව එක්කවත් පුළුල් කථිකාවක් ඇති කරගත්තොත් අපට මේ රට ගොඩ නන්වන්න පුළුවන්. එය අපහසු නෑ... “

ඒ කතාව මේ මොහොතෙත් මා සවන් තුළ දෝංකාරය දෙන්නාසේය.

Comments