ෂාරුක් - සුහානා ගැන ඉන්දියාවේ කසුකුසුවක්... | සිළුමිණ

ෂාරුක් - සුහානා ගැන ඉන්දියාවේ කසුකුසුවක්...

 

 

සුවහසක් සිනමා රසිකයන් ගේ ආදරය දිනා සිටින ෂාරුක් ඛාන් ගැන මේ දිනවල තවත් අලුත් ආරංචියක් මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා. එනම් ඔහු තමන්ගේ මීළඟ චිත්‍රපටයේ ද්විත්ව චරිත, එනම් එකම චිත්‍රපටයක චරිත දෙකක් රඟපාන්න ට යන බව යි. ෂාරුක් මේ ආකාරයෙන් ද්විත්ව චරිත රඟපානු ඇතැයි පැවසෙන්නේ ඉතා සාර්ථක දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්‍ෂවරයකුවන ඇට්ලී කුමාර් අධ්‍යක්‍ෂණය කිරීමට බලාපොරොත්තුවන සිනමාපටයක යි.

 

ඇට්ලි අධ්‍යක්‍ෂණය කළ සහ සුපිරි නළු විජේ රඟ පෑ චිත්‍රපට කිහිපයක් ම පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වුණා. ‘තෙරි‘,‘මාෂල්‘සහ ‘බිජිල්‘වැනි චිත්‍රපට ඊට නිදසුන් ලෙස දැක්විය හැකියි. විජේ යොදා ගනිමින් ඇට්ලි කළ නිර්මාණ ජනප්‍රිය වූ ආකාරයෙන් ම ෂාරුක් යොදා ගෙන කරන්නට යන සිනමාපටයත් ජනප්‍රිය වේවි ද යන්න සම්බන්ධයෙන් සිනමා රසිකයන් මහත් උනන්දුවෙන් බලා සිටින බවයි ඉන්දියාවේ සිනමා පුවත්පත් සඳහන් කරන්නේ.

ෂාරුක් ගේ මෙම අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් ලබන අගෝස්තු මාසයේ ආරම්භ වනු ඇති බවයි කලින් සඳහන් වුණේ. නමුත් ඒ පිළිබඳ පළවන අලුත් ආරංචිවලින් පැවසෙන්නේ එහි වැඩකටයුතු ආරම්භවන විට දෙසැම්බර් මාසය පමණ වනු ඇති බව යි. මේ වනවිට ෂාරුක් තවත් චිත්‍රපටයක රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිනවා. ඒ සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘පතාන්‘සිනමාපටයේ යි. ෂාරුක් ‘පතාන්‘හි රඟපාන්නේ දීර්ඝ කාලයක නිහැඬියාවකට පසුව බවත් රහසක් නොවෙයි. ඔහු රඟ පෑ සිනමාපටයක් අවසන් වරට තිරගත වූයේ 2018 වසරේ යි. ඒ ‘සීරෝ‘චිත්‍රපටය යි. එහි ඔහු සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ විරාත් කෝලි ගේ බිරිය වන අනුෂ්කා ෂර්මා යි. ජෝන් ඒබ්‍රහම් ද එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

‘පතාන්‘චිත්‍රපටයේ රූපගත කිරීම් ඉන්දියාවේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ද සිදු කෙරුණා. ලෝකයේ උසම ගොඩනැගිල්ලවන ඩුබායි හි බර්ජ් ඛලිෆා ගොඩනැගිල්ලේ පවා එහි රූපගත කිරීම් සිදු වූ බවක් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණා. තවමත් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් නැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉදිරි මාසවල එහි රූපගත කිරීම් අවසන් වනු ඇති බව සඳහන් වන අතර ඉන්පසු ෂාරුක් ඇට්ලි ගේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වනු ඇති බවට ආරංචි පැතිරෙනවා.

මේ අතර ෂාරුක් ගේ දියණිය වන සුහානා ද පසුගිය දිනවල පුවත් මවන්නියක බවට පත්ව තිබුණා. ඒ ඇය පසුගිය 22 වැනි දින සිය 21 වැනි උපන් දිනය සැමරීම නිස යි. එදින ඇය ගේ මව ගෞරි ඛාන් සිය දියණිය වෙනුවෙන් ඇයගේ ට්විටර් පිටුවේ ආදරණීය සටහනක් යොදා තිබුණා. එහි සඳහන් වූයේ “සුබ උපන් දිනයක්. අද මෙන්ම හෙටත්, හැමදාමත් අපි ඔබට ආදරෙයි“ යනුවෙනු යි. මෙයට බොහෝ රසික රසිකාවන් උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා තිබූ අතර එක් රසිකයකු ගේ කමෙන්ටුවක් මාධ්‍ය තුළ ද විශේෂ අවධානයක් දිනාගෙන තිබුණා. එම කමෙන්ටුව මඟින් ඔහු සුහානා ට මංගල යෝජනාවක් ඉදිරිපත් කරමින් ඇය තමාට විවාහ කර දෙන ලෙස ගෞරිගෙන් ඉල්ලා තිබූ නිසයි ඒ. මෙය බොහෝ දෙනාගේ මුවග ට සිනාවක් නැංවීමට සමත් ව තිබෙනු දැකිය හැකි වුණා. මෙම අපූරු ‘මනාල මහතා‘ තවදුරටත් ගෞරි ට පවසා තිබුණේ තමා මසකට ඉන්දියානු රුපියල් ලක්‍ෂයකට (ලංකා රුපියල් ලක්‍ෂ දෙකහමාරකට) වැඩි ආදායමක් ඇති කෙනකු බවයි. මෙම කමෙන්ටුව කියැවූ බොහෝ දෙනකු හාස්‍යජනක පිළිතුරු ලබා දී තිබූ අතර එක් අයකු පවසා තිබුණේ සුහානා ගේ ආරක්‍ෂකයන් ඔහු සොයා එන්නට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන ලෙස යි.

සුහානා පසුගිය දිනෙක කෙටි චිත්‍රපටයක කළ රඟපෑමක් ගැනත් මාධ්‍ය තුළ කතාබහක් ඇති වුණා. එය ඇගේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් බව සඳහන්. මෙම කෙටි චිත්‍රපටය නම් කර තිබුණේ The Grey Part of Blue යනුවෙන්. මේ වනවිට සුහානා අධ්‍යාපනය ලබමින් සිටින්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ යි. ඇයත් ඉදිරියේ දී ඇගේ පියා මෙන්ම බොලිවුඩ් සිනමාවට එක් වනු ඇති බවටයි බොහෝ දෙනා අනාවැකි පළ කරන්නේ.

Comments