වැටි වැටී නැඟිටිමින් ඉගෙන ගත්තු කඳු නඟින පාඩම | සිළුමිණ

වැටි වැටී නැඟිටිමින් ඉගෙන ගත්තු කඳු නඟින පාඩම

 

දවස් 5 ම කාර්යාලයේ වැඩ කරලා සති අන්තය එනකල් බලන් හිටියේ රෝන්දේ යන්න. හැම සති අන්තෙම එහෙම ඇවිදපු මට හිතුණා එක්තරා සතිඅන්තෙක මම ලබපු වෙනස්ම අත්දැකීමක් අද රෝන්දෙ පිටුවෙන් බෙදා ගන්න..

 

සෙනසුරාදා පාන්දර වෙද්දීම කිසිදාක මා හුදෙකලා නොකරන මගේ ගමන් සගයා වුණු ගමන්මල්ලත් රැගෙන බස් එකට නැග්ගේ ප්‍රබෝධමත් හැඟීමකින්. හිතේ මොකක්දෝ අමුතුම ගැම්මක් එක්ක මම එදා ගියේ යක්කල ප්‍රදේශයට.

කඳු තරණය සම්බන්ධයෙන් ගොඩක් රූප රාමු අන්තර්ජාලය ඔස්සේ දැක තිබුණත් ඒ අත්දැකීම විඳින්න අවස්ථාවක් සොයමින් සිටි මොහොතක මුහුණු පොත ඔස්සේ අපූරු අවස්ථාවක් මට උදා වුණා. පොඩි බයක් හිතේ තිබුණත් දැඩි ආසාව නිසාම මම ඒ අවස්ථාව මඟ හැරියේ නැහැ.

මේ හදන්නෙ කඳු නගින්න පුහුණු වෙන්න. එය විද්‍යාත්මක පුහුණුවක්. උදේම හොඳට කාලා ශක්තිමත් වුණේ එදා දවසේම කරන්න තිබුණු ඒ ත්‍රාසජනක වැඩේ නිසා.

කඳු තරණයට පහසු ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු මම පුහුණුවීම් කරන විශාල ගල් පර්වතය අසලට ගියේ හිතේ පොඩි ගැස්මක් එක්ක. මේ දැනුම අපට ලබා දෙන්න එකතු වුණේ එවරස්ට් කඳු තරණය කරපු ජයන්ති කුරු උතුම්පාල සමඟ එක් වුණු කඳු තරණය සම්බන්ධයෙන් ප්‍රවීණයන් වූ නදීශ දිලුම් දිසානායක, තිනුවන් ගයන්ත, දයාන් සමීර, සචිත් සමුදිත , ක්‍රිස්ටල් ප්‍රනාන්දු , ක්‍රිෂානි සමරවීර යන කණ්ඩායම.

එදා මම වගේම ලංකාවේ සතර කොනින්ම ජාති, වයස් භේදයකින් තොරව එක් වෙලා ඉන්න කාන්තා පාර්ශ්වයේ සහභාගීත්වය නිසාම හිතට පොඩි ආඩම්බරකාර සැහැල්ලුවක් දැනුණා. මං වගේම තවත් කාන්තාවන් මහා පිරිසක් කඳු තරණ සිහිනයේ ඉන්නවා දැකීමත් සතුටක් නොවෙයි ද?

මුලින්ම අපේ පුහුණුව Boulderingගැන. Bouldering කියන්නේ සාමාන්‍යයෙන් අඩි 20කට නොඅඩු සාමාන්‍ය ප්‍රමාණයේ කන්දක් කිසිදු ආධාරයකින් තොරව නැඟීම. හැබැයි එය මෙය වචනවලින් කියන තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. අත පය ලිස්සීම වැනි දෑ අවම කර ගැනීමට කඳු තරණයටම විශේෂිතවූ පාවහන් සහ හුනු කුඩු භාවිත කරනවා. වැටීම් වලින්වන තුවාල අවම කරගැනීම bouldering matsද භාවිත කරන්න පුළුවන්.

කඳු නැඟීම කෙතරම් ත්‍රාසජනක ක්‍රියාකාරකමක් වුණත් විටෙක එය භාවනාවක් වගේ යැයි මට හිතුණේ මෙයත් නිසි අවධානයෙන් හා මානසික ඒකාග්‍රතාවකින් කළයුතු දෙයක් නිසාවෙන්. වැටි වැටී තමයි නැඟිටින්න ඕනේ කියනවානේ. මාත් කිහිප වතාවක් ඇදගෙන වැටුණට පස්සේ පර්වතය මුඳුනටම ළඟා වුණා. නිවැරදි ක්‍රමෝපායන් භාවිත කළ නිසා කිසිදු අනතුරක් සිදු වුණේ නැහැ. දැඩි පරිශ්‍රමයකින් යුතුව නිල් අහස සිප ගන්නා කඳු මුඳුනක් තරණය කිරීමෙන් ලැබෙන්නේ අසිමිත සතුටක්.

පුංචි විවේකයක් අරන් අනතුරුව අපි යොමු වුණේ වර්තමානයේ තවත් ජනප්‍රිය ඉසව්වක්වන Abseiling එකකට. එහිදී සිදුවන්නේ කඹයක් දිගේ බිලේ උපකරණ (Belay Device)ආධාරයෙන් ඝර්ෂණය යොදා ගනිමින් පහළට පැමිණි වේගය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කර ආරක්ෂාකාරී ලෙස ආනතිය වැඩි මුහුණතකින් පහළට පැමිණීමයි. Rappellingලෙසින්ද හඳුන්වන මෙය සිදුකිරීම සඳහා නිවැරැදිව සැලසුම්කර පිහිටවූ Anchors, සුදුසු කඹ , Belay Device,Climbing Helmet,Climbing Harness උපයෝගීකර ගත යුතුයි.

දැන්නම් හිතේ ගැස්ම ටිකක් වැඩිවෙලා. උපකරණ ටික නිවැරදිව පැලඳගෙන දැන් මා සැරසෙන්නෙ පර්වතය දිගේ කඹයක ආධාරයෙන් හෙමින් හෙමින් පහළට බහින්න.

අතිශයින්ම වැඩි තිගැස්මකින් යුතුව මා ප්‍රපාතයෙන් බහින්න පටන් ගත්තා. බය හිතුණාට එය ඉතාමත් ආරක්ෂාකාරී පහසු ක්‍රියාකාරකමක් බව වැටහුණේ බිමට බැස්සට පස්සේ. මේ අත්දැකීම විඳගන්න සැරසී සිටි හැමෝම තමන්ගෙ අවස්ථාව එන තුරු සිටින්නේ හිතේ චකිතයකින් වග පෙනුණා.

කණ්ඩායමක් විදිහට සංචාරය කරන අතරවාරයේ කඳු මුඳුන් කරා අපේ ගමනාන්තය ඇදෙන විට බොහෝ විට අපේ ආරක්ෂාව ගැන මනා අවබෝධයෙන් යුතුව ගමන් කළ යුතුයි.

මෑත කාලයේ සංචාරය කරන අතරතුර බොහෝ තරුණ පිරිස් විවිධාකාර අනතුරුවලට මුහුණ පෑම් සහ ජීවීත අහිමි වීම් ගැන ඔබට අසන්නට දකින්නට ලැබෙන්න ඇති. අනතුරු අවම කරගනිමින් සංචාරය කරන්න නම් නිවැරදි දැනුම සේම ප්‍රායෝගික පුහුණුවත් ඉතා වැදගත්වන්නේ අන්න ඒ නිසා.

ඒ විතරක්ම නෙවෙයි නොපසුබට උත්සාහය, මානසික ඒකාග්‍රතාව, ශරීර සෞඛ්‍යය දියුණු කරගන්න මේ ක්‍රියාකාරකම් මනා රුකුලක්.

ඉතාමත් තෘප්තිමත්, ත්‍රාසජනක අත්දැකීම් සහිත දවසක අවසානය... හිරු අවරට යමින් තිබුණා. උදේ එද්දී හැමෝගෙම මුහුණුවල තිබුණු බිය මුසු ගතිය පහවෙලා බලාපොරොත්තු සාක්ෂාත් වුණු සතුටෙන් පිරී තිබුණා. ඒත් මහන්සියයි බඩගින්නයි ඊට වඩා දරුණු වෙලා. රසවත් දේශීය ආහාර වේලකින් අනතුරුව නිවෙස බලා පිටත් වුණේ තවත් මෙවැනිම ත්‍රාසජනක ක්‍රියාකාරකමක් හා අත්දැකීම් නැවත අත්විඳිමේ අභිලාෂයෙන්...

 

Comments