වත්මන් සමාජයේ වෙනස් වන රිද්මය ‘පාර දිගේ’ අපි පෙන්වනවා | සිළුමිණ

වත්මන් සමාජයේ වෙනස් වන රිද්මය ‘පාර දිගේ’ අපි පෙන්වනවා

 

 

‘නෝනාවරුනි මහත්වරුනි‘, ‘කතුර‘, ‘හාර කෝටිය‘,‘අඟුරු සිත්තම්‘, ‘කළු අරලිය‘, සහ ‘අග්නි පියාපත්‘වැනි ටෙලි නාට්‍ය ගණනාවක් ඔහු අතින් නිර්මාණය වෙනවා.‘කිං හන්තර්‘, ‘කෝ මාක් නෝ මාක්‘, ‘5 සමත්‘, චිත්‍රපට සහ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන ‘පාර දිගේ‘ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයාත් ඔහුයි. පුවත්පත් කලාවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් විදිහට මාධ්‍ය ජීවිතය අරඹා සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු ක්ෂේත්‍රයේ විශාල පරාසයක් ආවරණය කළ අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන්. කතාකරන්න බොහෝ අතීත පුවත් තිබුණත් මේ ප්‍රවේශය මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ඔහුගේ අලුත්ම නිර්මාණය වූ ‘පාර දිගේ‘ටෙලි නිර්මාණය ගැනයි.

 

“ටෙලි නාට්‍යයේ පිටපත සද්ධාමංගල සූරියබණ්ඩාරගෙන්“.සිවගුරුනාදන් කතා බහ ඇරඹුවේ පිටපත ගැන කියමින්.

“සද්ධා මගේ මිත්‍රයා. ඔහු රචනා කළ ‘අග්නි පියාපත්‘ටෙලි නාට්‍යය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පහුගිය දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වුණා. ඒ නිසාම ස්වර්ණවාහිනිය කළ ඉල්ලීමක් අනුවයි අපි ‘පාර දිගේ‘ටෙලි නාට්‍යය කරන්නෙ.“

නිර්මාණයකට නළු නිළියන් තෝරා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ කාලයක් පුරාවට මතුවන විවිධ කතා බහ නිසාම මේ නිර්මාණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගැනුනෙත් අධ්‍යක්ෂවරයාගේ අභිමතයටද යන්න අප ඔහුව විමසුවා.

"නිර්මාණයට නළු නිළියන් තෝරා ගැනුණේ නිෂ්පාදකවරයා, තිර රචකයා සහ ස්වර්ණවාහිනී ආයතනය සමඟ කළ සංවාදයකින් පසුවයි සිදුවුණේ. මම හිතනවා බොහෝ දුරට නිර්මාණයට ගැළපෙන රංගන ශිල්පීන් අපට එකතු කරගන්න ලැබුණා කියලා. ඒ අතර අපට මගහැරුණු තැනුත් නැතිවම නොවෙයි. අවසානයේ ප්‍රේක්ෂකයන් තමයි නිර්මාණය පිළිබඳ නිවැරදිම ප්‍රතිචාර දක්වන්නේ."

සිවගුරුනාදන් නිර්මාණය කළ ටෙලිනාට්‍ය බොහෝමයක් මෑත කාලයේ දී ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා.. ඔහුට අනුව නම් ඒ නිර්මාණ කාර්යයේ සැලකිය යුතු වගකීමක් තිබෙන්නෙ තිර රචකයාටයි.

“මං ඉතාමත් සීමිත රචකයන් පිරිසක් සමඟ වැඩ කරන කෙනෙක්. තිර රචකයා විසින් නිර්මාණය තුළ ගොඩනඟන ජවය තමයි අධ්‍යක්ෂවරයෙක් සිය නිර්මාණයට එකතු කරන්නේ.

‘පාර දිගේ‘ටෙලි නාට්‍යය වර්තමාන කතාවක්. අපේ සමාජයේ මිනිසුන් ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස්වෙන සමාජයක. ඒ රිද්මය නිර්මාණය තුළ තිබිය යුතුයි. නාට්‍ය තුළ සිදුවීම් ගලාගෙන යන්නේ ඉතාමත් වේගයෙන්. කොටස් ගණනාවක් ලියන්න පුළුවන් කතාවක් ඔහු අඩු කොටස් ප්‍රමාණයකට රචනා කරනවා. තිර රචකයා ලෙස සද්ධා නිර්මාණයට හොඳ සාධාරණයක් ඉටු කළා. ඒ නිසාම අධ්‍යක්ෂකවරයා විදිහට මට අලුත්ම සිදුවීම් ගොඩනඟන්න පුළුවන් වුණා. “

සිවගුරුනාදන් සහ සද්ධාමංගල සුසංයෝගයෙන් බිහිවුණු අනෙකුත් නිර්මාණ ගැන කතා කරන්නත් අප අමතක කළේ නෑ.

" රසික සුරවීරආරච්චි, චාලක රණසූරිය, චින්තක පීරිස් වගේ සීමිත තිර රචකයන් සමඟයි මම ටෙලි නාට්‍ය නිර්මාණය කළේ. ඒ අතර වඩාත්ම ජනප්‍රිය වුණේ සද්ධා තිර රචනය කළ ටෙලිනාට්‍ය කිව්වොත් නිවැරදියි. ඔහු සමඟ වැඩ කිරීම මට විශේෂයි.

ඇතැම් වෙලාවට නිර්මාණය සම්බන්ධව අපි අතර රළු කතා බහ පවා ඇති වෙනවා. ඔහු තිර රචනය තුළ මහන්සි වෙන තරමටම මටත් නිර්මාණයට කැප වෙන්න වෙනවා. ප්‍රේක්ෂකයන් අත් විඳින්නේ එහි ප්‍රතිඵල තමයි. ඒ වගේම ටෙලි නිර්මාණයකට එකතුවන පිරිස ගැනත් යමක් කිව යුතුයි.

ටෙලි නාට්‍ය නිර්මාණයේදී කාලය එක්ක අපිට කටයුතු කරන්නේ වෙන්නේ මුදල් සමඟ. ඒ නිසාම නිර්මාණයට එකතු වන රංගන ශිල්පීන් සහ අනෙකුත් ශිල්පීන්ගෙන් උපරිමය ලබා ගන්න අපි එතැනදි කටයුතු කරනවා.

වත්මන් තත්ත්වය තුළ දිනෙක රූගත කිරීම් ප්‍රමාණාත්මකව ගත්තත් කොටස් එක හමාරක් වත් අපට සම්පූර්ණ කර ගන්න වෙනවා. එවැනි වටපිටාවක අනෙක් සියලුම ශිල්පීන් නිර්මාණය වෙනුවෙන් ලබාදෙන කැපවීම නම් සියයට සියයක් බව නොකියාම බැහැ."

‘පාර දිගේ‘කියන නම ටෙලි නාට්‍යයට යොදා ගැනීම පිළිබඳ අධ්‍යක්ෂවරයාට තිබුණේ මෙහෙම අදහසක්.

“එය තිර රචකයා විසින් යෝජනා කළ නම් අතර තිබුණු එක් නමක්. ඒ නම භාවිත කරනවට මම නම් පෞද්ගලිකව කැමති වුණේ නැහැ.

ධර්මසේන පතිරාජයන්ගේ ‘පාර දිගේ‘චිත්‍රපටය වගේම ජාතික පුවත්පතක අතිරේකයක් මේ නමින් දැනටත් මුද්‍රණය වෙනවා. මේ නමට ස්වර්ණවාහිනී නාලිකාව කැමති වීම නිසාම ටෙලි නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම සමඟ සද්ධා හා මාත් අවසානයේ එකඟ වුණා."

වර්තමානයේ තරගකාරී බවක් ගොඩනැඟි තිබෙන ටෙලි නාට්‍ය රැල්ල පිළිබඳ සිවගුරුනාදන්ගෙන් විමසන්නට අවශ්‍ය වූයේ ඔහුට නිර්මාණ පිළිබඳ තිබෙන පළපුරුද්ද නිසාමයි..

“වර්තමානයේ එක් නාට්‍යයක් ජනප්‍රිය වුණොත් ඒ ආරයේ නාට්‍ය ගණනාවක් ඒ විදිහටම නිර්මාණ වෙනවා. නමුත් එසේ විය යුතු නැහැ.

මගේ නාට්‍යයක් ජනප්‍රිය වුණා නම් ඒ ආකෘතියෙන්ම නිර්මාණ කිරීම මම දකින්නේ අසාර්ථක ප්‍රයත්නයක් විදිහටයි. රැල්ලට යන නාට්‍යවලින් මිදී වෙනස් මඟක කථා රසය තිබෙන නිර්මාණයක් ගොඬනගන්න මං කැමතියි.

මේ දිනවල ‘පාර දිගේ‘ටෙලිනාට්‍ය විකාශනය වන්නේ රූගත කිරීම් අතරතුරමයි, ඒ අභියෝගය ජය ගැනීම පහසු කටයුත්තක් නොවන බව ද ඔහු අප සමඟ පැවසුවා.

" අර්බුද රාශියක් මැද්දේ කටයුතු කරන්නයි අපට වෙලා තියෙන්නේ. Covid උවදුරෙන් නළු නිළියන්ව ආරක්ෂා කරගන්න ඕන. දර්ශන තල ලබා දෙන ඒ ස්ථානවල ජීවත්වන හැම දෙනාවම ආරක්ෂා කරගන්න වගකීමත් අපට තිබෙනවා. සියලු සෞඛ්‍ය නීතිරීති නිසි අයුරින් පිළිපදිමින් ගෙවල්වල කොටුවෙලා ඉන්න අපේම ජනතාවට රසාස්වාදයක් ලැබෙන නිර්මාණයක් ගොඩනගන්නයි අපේ උත්සාහය.

මේ වසංගත තත්ත්ව මැද අඛණ්ඩව‘පාරදිගේ‘ ඉදිරියටම යාවි කියන සහතිකය ඔබට දෙන්න පුළුවන් ද? සංවාදය අවසාන් කරමින් අප ඔහුව විමසුවා.

‘පාර දිගේ‘ටෙලි නාට්‍යය බලාපොරොත්තු වූ විදිහටම කිසිදු වෙනසක් නොකර ඉදිරියට ගලාගෙන යන බව මම ප්‍රේක්ෂකයන්ට කියන්න කැමතියි. කොතරම් බාධක ආවත් මේ මොහොතෙත් රූගත කිරීම් සිදු වෙනවා. ඉතින් ගෙදර ඉන්න ඔබත් මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන්න. පරෙස්සම් වෙන්න.“ඔහු සිනාමුසුව අපට සමු දුන්නා.

 

Comments