මෘදු ගැහැනියක් තුළ යම් දැඩි බවකුත් තිබෙනවා | සිළුමිණ

මෘදු ගැහැනියක් තුළ යම් දැඩි බවකුත් තිබෙනවා

 

 

මෙයට දශක තුනකට පෙර වේදිකාවෙන් කලාවට පිවිසි ඇය විටෙක මටසිලිටු වූද විටෙක රළු පරලු වූ ද මාවත් පසුකර තම රංගන හැකියාවෙන් කලාවේ ඇගේම අනන්‍යතාවක් සනිටුහන් කර ගත් රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ හැකි චරිත හඳුනා ගැනීමට ඇය සතු සහජ කුසලතාව නිසාම අදට ද ඇය රංගනයෙන් දායක වෙන බොහෝ නිර්මාණ එලෙසින්ම ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් වැලඳ ගන්නවා. මීනා කුමාරි නම් වූ ඒ ප්‍රවීණ රංගන ශිල්පිනිය මෙවර පිළිසඳරට එකතු කරගන්නේද මේ දිනවල රූපවාහිනී නාළිකා තුනකම ජනප්‍රියත්වයේ ඉහළින්ම ඇති ටෙලිනාට්‍ය ත්‍රිත්වයක ඇගේ චරිත නිරූපණය නිසා.

 

මේ දිනවල පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ නිර්මාණ තුනකම ඔබ දකින්න ලැබෙනවා ?

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ‘තාදී‘හි මවකගේ චරිතය නිරූපණය කරනවා. ඇය ධනවත් ව්‍යාපාරික පවුලක කාන්තාවක්. දරුවා වෙනුවෙන් කැපකිරීම් කරන ආදරණීය මවක්. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘නාඩගම්කාරයෝ‘හි සංගීත ගුරුතුමා ගේ බිරිය කුසුමලතාගේ චරිතයටත් රංගනයෙන් දායක වනවා. ඇයත් දියණියන් දෙදෙනකු සිටින වගකීම් සහගත මවක්.

සිරස නාලිකාවේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්‘ටෙලි නාට්‍යයෙ චරිතය ටිකක් වෙනස්. ඇය ඉතාම සැහැල්ලුවෙන් ඉන්න, සෑම මොහොතක්ම විහිළුවෙන් තහළුවෙන් ගත කරන්නට කැමති සැමියකුගේ බිරියක්.

කාලෙකට පස්සේ සිරස රූපවාහිනියෙන් විකාශනය වන දීර්ඝ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්. ‘වසූදා‘ටෙලි නාට්‍ය වටා එක්රොක් වූ ප්‍රේක්ෂක පිරිස මේ නාට්‍ය වටා එකතු වී තිබෙන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් දැනෙනවා.

 

පොදුවේ හැමෝටම ලැබුණු විවේකය ඔබ ගෙවන්නේ කොහොමද?

ලැබුණු විවේකය ඵලදායි ලෙස ගතකරන්න මම උත්සාහ කළා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හැකි වුණා. ඒ, මගේ අම්මගෙන් ගෙතුම් කලාව ඉගෙන ගන්න මේ කාලය යොදවා ගන්න හැකි වුණා.

අම්මා ඉතා අපූරුවට ගෙතුම් කටයුතු කරනවා. අපේ පවුලේ ගැහැනු දරුවන් තුන්දෙනෙක්ම හිටියත් කාටවත් අම්මාගෙන් ගෙතුම් කලාව ඉගෙන ගන්න හැකි වුණේ නෑ. මගේ හිතේ ආසාවක් තිබුණත් ඒ සඳහා අවශ්‍ය විවේකයක් තිබුණේ නෑ. ඒ නිසාම මේ ලැබුණු විවේකය මම ගෙතුම් හදාරන්නට යොදා ගත්තා.

 

ඒ කියන්නේ ලැබුණු විවේකයේදීත් ඔබ කාර්යබහුලයි ?

බලන්න කියවන්න වෙලාවක් නැතිව හොඳ චිත්‍රපට සහ පොත්පත් ගොඩක් මට මගහැරී තිබූණා. ඉතින් මේ විවේකයෙන් කොටසක් ඒ පොක්පත් පරිශීලනය කරන්න වගේම චිත්‍රපට නරඹන්නත් මං වෙන් කර ගත්තා.

මගේ අම්මා තාත්තා ඉන්නෙත් මගේ ළඟ. වයසත් එක්ක ඔවුන්ට තිබෙන යම් යම් අසනීප නිසා ඒ දෙන්නාගේ වැඩකටයුතුත් පවුලේ අනිත් අයගේ වැඩ කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. එහෙම බලද්දී මේ ලැබුණු විවේකයත් අපේ නිවෙසේ බොහොම කාර්යබහුල ලෙස තමයි ගෙවෙන්නේ.

ඔබ දීර්ඝ නාට්‍යවලට කොටු වෙලා යැයි හිතෙන්නේ නැද්ද ?

වර්තමානයේ නිර්මාණය වන දිගු නාට්‍ය අතර ගුණාත්මක බවින් යුතු හොඳ පිටපත් තිබෙන දීර්ඝ නාට්‍යත් නිර්මාණය වෙනවා. ඒ නිසා මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් එයින් ප්‍රේක්ෂකයාට හොඳ රසවින්ඳනයක් ලබා දෙන්න පුළුවන් නම් රංගන ශිල්පිනියක් ලෙස ඒ වගකීම තමයි මට ඉටු කරන්න තිබෙන්නේ. නිර්මාණයකට දායක වීමේදී මම මූලිකවම බලන්නේ පිටපත සහ මට ලැබෙන චරිතයේ ස්වභාවය ගැනයි.

 

මඟහැරුණු නිර්මාණ පිළිබඳ දුකක් නැද්ද?

ජීවිතේ සමහර වකවානුවලි දී අපට පවුල් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කාලය දෙන්න වෙනවා. දරුවාගේ ජීවිතය ගොඩනඟන්න මවකගේ කැපවීම තිබිය යුතුයි. එවැනි කාලවලදී මඟහැරුණු නිර්මාණ තිබුණත් ජීවිතේ අපෙන් විය යුතු වගකීම් පැහැර අරින්න බැහැ. ඒ කැපකිරීම් අවංකව කළොත් එහි යහපත් ප්‍රතිපලත් අත්විඳින්න පුළුවන්.

 

ඔබ කලාවට අවතීර්ණ වීමට පෙර ආරක්ෂක අංශයේ සේවය කළා. කලාව වැනි සුන්දර දෙයක් සමඟ එවැනි රළු පරලු දෙයක් එකම චරිතයක් තුළට ගොණු වුණේ කොහොමද?

මගේ පියා ඇතුළු අපේ පවුලට සම්බන්ධ බොහෝ දෙනෙක් හමුදා සේවයට සම්බන්ධ වී සිටියා. විශේෂයෙන්ම මවු පාර්ශ්වයේ ඥාතීන් බොහෝ පිරිසක් යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවෙහිම සේවය කළා. මම හැදුණේ වැඩුණේ ආරක්ෂක අංශවලට සමීප සබඳතා තිබුණු එවැනි පරිසරයක. ක්‍රීඩාවටත් විශේෂ දක්ෂතා මා තුළ තිබුණා. ඒ නිසාම හමුදා සේවයට මම එක් වෙන්නෙත් නිරායාසයෙන්. කාලෙකට පස්සේ මගේ කලා හැකියා ඔස්සේ පෙරට එමින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න මට අවස්ථාව ලැබුණා.

මේ අංශ දෙක දෙපසට විහිදී යන බව ඇත්ත. නමුත් සෑම මෘදු ගැහැනියක් තුළම යම් කිසි දැඩි බවකුත් තිබෙනවා. ඒ දැඩි බව භාවිත විය යුත්තේ වැරදුණු දෙයක් නිවැරදි කිරීමට සහ අසාධාරණයක් සිදුවන විට එය සාධාරණ පැත්තට හැරවීමට. ඒ නිසාම ගැහැනියක් ලෙස ඒ රළු පරලු බවත්, මේ මට සිලුටු බවත් මම එකසේ ජීවිතයට බාරගත්තා. හමුදා සේවයෙන් ඉවත් වෙන්න හේතු වුණේ එහි ඉලක්ක සපුරා ගන්නට මට නොහැකිවෙයි යන හැඟීම නිසා. ඒ තීරණය ගැන අද කිසිසේත්ම තැවීමක් නැහැ.

 

ඒ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුණත් කලාවේ ඉලක්ක සපුරා ගන්න ඔබට හැකි වුණාද?

කලා ජීවිතය තුළ දී නම් ඒ පිළිබඳ මට තිබෙන්නේ ඉහළ තෘප්තියක්. මේ වන විට මං වටා එක් රොක් වුණු විශාල ආදරණීය රසික පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම ‘වසුදා‘ ටෙලි නාට්‍යය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ හරහා ලැබුණු ප්‍රතිචාර ඉතාම විශාලයි. ‘වසුදා‘ විකාශය වී කාලයක් ගත වුණත් අදටත් ඒ ප්‍රේක්ෂක ආදරය ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඉන්දියානු talent factory ආයතනය සහ සිරස ආයතනය එකතුවී නිර්මාණය කළ ‘වසූදා‘ලංකාවේ මුල්කාලීනම මෙගා ටෙලිනාට්‍යයක්. ‘වසූදා‘ලැබූ ජනප්‍රිය බව තවමත් අඩුවක් නෑ.

 

ඔබේ දියණිය කලා ක්ෂේත්‍රයට එනවට ඔබ කැමැතිද ?

නිවැරදි අවබෝධයකින්, ස්ථාවර පසුබිමක් ඇතිව කලාවේ ඇගේ ගමන ඇරඹෙනවා නම් මම මගේ උපරිම සහාය ඇයට ලබා දෙවා.

 

කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ ගෙවෙන්නේ හෙට දවස ගැනවත් බලාපොරොත්තු තබා ගන්න නොහැකි කාලයක් වුණත් මේ වන විට බාරගෙන තිබෙන නිර්මාණවලට හැකි තරම් සාධාරණයක් ඉටු කරන්නයි මම උත්සාහ කරන්නේ. සෑම මොහොතකම කලා ජීවිතය පිළිබඳ තිබෙන තෘප්තිය මොහොතකටවත් අඩු නොකර ඉදිරියට යන්න මට අවශ්‍යයයි. ඉදිරියටත් හිතට දැනෙන චරිත ඔස්සේ නිර්මාණවලට දායක වන්නත් බලාපොරොත්තු වෙනවා.

කලාව සහ සොබාදහම එකට බැඳී ඇති තිබෙන නිසා සෑම සිතක්ම යහපත් සිතුම් පැතුම්වලින් පිරී මේ උවදුරුවලින් ඉතා ඉක්මනින් මිදෙන්න අප සියලු දෙනාටම හැකි වේවා යන්නයි හෙට දවස වෙනුවෙන් මගෙන් කෙරෙන හෘදයාංගම ප්‍රාර්ථනය.

 

ඡායාරූපය - ඩයන් ප්‍රදීප්

Comments