ගොරකාවල රැඳි දිව ඔසු මහිමය | සිළුමිණ

ගොරකාවල රැඳි දිව ඔසු මහිමය

 

 

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙට නම් නැතිවම බැරි කුළුබඩුවක්. ආහාර පිසීමේදී රස කාරකයක් මෙන්ම ආහාර කල්තබා ගැනීමේ සහායකයක් ලෙසද ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. රත් ගොරකා, මල ගොරකා , එළ ගොරකා, රට ගොරකා ලෙස ගොරකා ප්‍රභේද කිහිපයකින් යුතු වුවද වත්මනේ බොහෝ දෙනකු ඒ පිළිබඳ දැනුම්වත් නැත. එයින් ආහාර පිළියෙල කිරීමේදී යොදා ගන්නේ එළ ගොරකා සහ රත් ගොරකා පමණි. මල ගොරකා ආහාරට යොදා නොගන්නා අතර රට ගොරකා පලතුරක් ලෙස භාවිත වේ. මාළු ඇඹුල් තියල් සාදන විට අඹරා ගත් ගොරකා තලපය මාළු ව්‍යාංජනයට මිශ්‍ර කිරීමෙන් බලයා, කෙලවල්ලා, වැනි උෂ්ණාධික මාළුවල ඇති හිස්ටමින් නම් රසායනිකය සියයට අසූවක් පමණ උදාසීන කරයි. එයින් එවැනි මාළු ආහාරයට ගැනීමෙන් ඇති විය හැකි ආසාත්මිකතා වළක්වනු ලබයි. ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකොස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙයි. මේ නිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගීන් ප්‍රතිකාරගන්නා විට ගොරකා මිශ්‍ර ආහාර වැඩිපුර ගැනීමෙන් වැළකිය යුතුය.

 

Clusiaceae ශාක පවුලට අයත් ගොරකා ශාඛය විටමින් C බහුලය. ඊට අමතරව ජලය, මටාරික් අම්ලය, පොටෑසියම් සහ විවිධ විටමින් වර්ග රැසක් අන්තර්ගත වේ. අපනයන භාණ්ඩයක් මෙන්ම රටට විදේශ විනිමය ගෙනෙ දෙන ඉහළ ආර්ථික වටිනාකමකින් යුතු ගොරකා කිසිදු වියදමක් නොදරා පල නෙළා ගතහැකි බෝගයකි.

 

 

ගොරකා පානය

 

අවශ්‍ය ද්‍රව්‍ය-

 

හොඳින් අඹරා තලපයක් සේ සාදා ගත් ගොරකා තේ හැඳි 3ක් පමණ

සීනී තේ හැඳි 2ක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

අයිස් කැට (ප්‍රමාණය අනුව)

 

 

තලපයක් සේ සාදා ගත් ගොරකා වතුර පිරවු වීදුරුවකට දමා එයට, දෙහි, ලුණු, සීනී, ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කවලම් කර සකසා ගන්න. පසුව එයට අයිස් කැට කිහිපයක්ද එක් කර පානයට ගන්න.

 

 

 

ඖෂධීය ගුණ

 

ගොරකා ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර ශරීරයේ බර අඩු කරගත හැකියි.

මානසික ආතතිය සහ විශාදයට ගුණය

හෘදයට හිතකරය

පිළිකා සෛල නසයි

මොළයට සෙරෝටීන් මුදා හැර නියුරෝනවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරයි

 

අත් බෙහෙත්

 

ගොරකා හොඳින් අඹරා කඩල ඇට දෙකක ප්‍රමාණයක් දිනපතා ආහාර වේලකට යොදා ගැනීම මඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරගැනීමට පුළුවන.

උගුරේ වේදානව සුව වීම සඳහා ගොරකා, ගම්මිරිස්, ලූණු සමඟ අඹරා පොට්ටනියක් බැඳ හකු ප්‍රදේශයේ තබා ගෙන කෙළ ගිලීම.

ගොරකා පළු තැම්බූ වතුරට ලූණු දමා පාද සේදීමෙන් ඇඟිලි කරු හා පාද කැසීම වළකාගත හැකිය.

තැළුමට වියළි ගොරකා පළු අමුකහ ලූණු වතුරෙන් තම්බා කොටා හෝ අඹරා ඒ මත ආලේප කළ හැකිය. වියළි ගොරකා බික් ලුණු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීම ද ගුණ දේ.

තුවාල හා කුඩා ගෙඩිවලට ගොරකා කබලේ බැද ලුණු වතුරෙන් හෝ මී පැණියෙන් අත ගෑමෙන් ගෙඩිය විසිරී යයි.

ගොරකා තම්බා ගත් ජලයෙන් මුඛය සේදීමෙන් මුඛයේ තුවාල හා විදුරු මස් දියවීම සුව කර ගත හැක.

 

 

උපදෙස්

වී.ජී. ස්වර්ණලතා

උමංදාව දේශීය ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

 

ඡායාරූප -

තිලක් පෙරේරා

 

Comments