ඔහු මගෙත් මා ඔහුගෙත් වසන්තය වග සැකයක් නැහැ | සිළුමිණ

ඔහු මගෙත් මා ඔහුගෙත් වසන්තය වග සැකයක් නැහැ

 

 

සිත සනසන සිත නළවන ප්‍රේමය අරුමැසි හැඟීමකි. ප්‍රේමයක ඇරඹුම සිහිනයක් තරමටම සුන්දර වන අතර ප්‍රේමයෙහි මුලකුරු කියන සෑම මොහොතක්ම මතකයෙහි තදින් තැන්පත් වන දිව්‍යමය නිමේෂ වන බව පෙම් කරන සෑම දෙනාම පිළිගන්නා සත්‍යයකි. ප්‍රේමයේ වින්දනීය නිමේෂ අතර රැඳුණු මතක සමඟින් අද හද බැඳ ගීය සමඟ එක් වන්නේ රංගන ශිල්පිනී ගයනා සුදර්ශනී ය.

 

“වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පසුව දස වසරක ආදරණීය විවාහක බැම්මකින් බැඳී තවමත් ආදරය කරමින්, ආදරය විඳිමින් ගෙවන මේ ජීවිතයේ සෑම මොහොතක්ම සුන්දරයි. විවිධ හැලහැප්පීම් මැදින් ගලා ගෙන ආ ජීවිතයේ එකට අත්වැල් බැඳ ගන්නට බැඳුණු ඒ ආදරණීය බැඳීම ඇරැඹුණු දිනවල සිදු වූ බොහෝ දේවල් අද ඊයේ ලෙසින්ම අප සිත්වල රැඳී තිබෙනවා.

දෙදෙනාම එකම ක්ෂේත්‍රයක නිසා අප අතර තරමක් දුරට දැන හැඳුනුම්කමක් තිබුණා. නමුත් එය එතරම් කිට්ටු මිතුරුකමක් නොවෙයි. එක් අවස්ථාවක ටෙලි නාට්‍යයක චරිතයකට මාව එකතු කරගන්න ඔහු මාව මුණ ගැසෙන්න ආවා. අප අතර හොඳ මිතුදමක් ඇති වුණේ ඒ ඔස්සේ. ඉන්පසු නිතරම අප එකිනෙකා සමඟ කතාබහ කරන්න පටන් ගත්තා. අපේ ජීවිතවලට සම්බන්ධ දේවල් බෙදා ගන්නා අතර ඒ කතාබහ ටිකෙන් ටික ආදරයකට පෙරැළෙමින් තිබුණා. කොහොම හරි අර කියපු ටෙලි නාට්‍යයේ වැඩ අරඹන්නත් පෙර අපේ ආදර කතාව ඇරඹුණා.

ආදරය කියන්නේ නිල වශයෙන් ප්‍රකාශ කළේ නැතත් හදවත්වලට දැනෙන හැඟීමක්. ආදරය ප්‍රකාශ කළාට පසුව මුල්ම වතාවට ඔහු මාව මුණ ගැසෙන්න ඒ දිනවල මම රංගනයෙන් දායක වෙමින් සිටි ‘දෙපත් නයි‘නාට්‍යය රූගත කෙරෙන ස්ථානයට ආවා. එදා සැඳෑවේ ටෙලිනාට්‍ය කණඩායම සමඟ කුඩා සාදයක් පැවැත්වුණා. ඔහුගේ ගායන හැකියාව ඒ වනවිට මම දැනගෙන හිටියෙ නෑ. ඒ පුංචි සාදයේදී ඔහු ගීතයක් ගායනා කළා.

දයාන් විතාරණ ගායනා කරන ‘ඔබෙ සුසුම් පවන් සලයි‘ගීතය ඊට පෙර බොහෝ අහන්න ලැබී තිබුණත් එදා මුල්වතාවට ඒ ගීතය මගේ හදවතටම දැනුණේ ඔහු ඒ තරම් හැඟීම්බරව ඒ ගීතය ගායනා කළ නිසයි. ඔහු එදා ඒ ගීතය ගායනා කළේ මං වෙනුවෙන් වග මට දැනුණා. ඔහුගේ නෙත් ගීතය අවසාන වනතුරුම රැඳී තිබුණේ මා අසල. ඒ මොහොතේ මම විඳිමින් සිටියේ සිහිනයක ජීවත්වන තරම් සුන්දර හැඟීමක. ආදරය ඉපදී; ආදරය බෙදා ගෙන දින කීපයක් ගෙවුණු තැන ආදරය ආදරයෙන්ම ගැයෙන ඒ අපූරු ගීතය අපේ ආදරය තව තවත් තදින් වෙලා ගැටගැසූ බව මට දැනුණා.

ඒ ගීතය අපට ඉතාමත් සමීප බව අපේ සමීපතයින් බොහෝ දෙනෙක් දන්නවා. අප එකිනෙකාට තවත් සමීප කළ අපේ ආදරයේ ඒ සුවිශේෂී මතකය ගැන අප වරක් ගීතයේ සැබෑ හිමිකරුවා දයාන් විතාරණටත් පැවසුවා මතකයි.

ඒ ගීතය ඇත්තටම හරි අපූරුයි. ආදරයේ සෑම අංශු මාත්‍රයක්ම ඒ ගීතයේ අපූරුවට කැටි වී තිබෙනවා. සහන් එදත් අදත් විවේකයක් ලැබෙන හැම වෙලාවකම ගීත ගයනවා. ඒත් ඒ හැම ගීතයකටම, හැම මොහොතකටම වඩා මම අදටත් ඔහු එදා මගේ ඇස් දිහාම බලාගෙන ගැයූ ඒ මොහොතට ආදරෙයි. ඒ ගීතය කොතැනක ඇසුණත් මම තවමත් ඒ මොහොතට ගමන් කරනවා. යම්කිසි අවස්ථාවක සහන් ඒ ගීතය ගැයුවොත්, මම එතන ඉන්නවා නම් ඔහු අදටත් මගෙන් දෑස මුදවා ගන්නේ නැහැ. ඔහුටත් ඒ මොහොත ඒ විදිහටම සිහි වෙනවා ඇති කියලයි මට හැඟෙන්නේ.

ආදරය තරම් විවාහය පහසු නෑ කියා බොහෝ දෙනා කිව්වත් ආදරේ කරන කාලේ තරම් ආදරයක් විවාහ ඇතුළේ වසර දහයකට පස්සේ අදත් අපි එකිනෙකා ගෙන් විඳිනවා.

ඔබ වසන්තයක් වගෙයි

හෙට ගිමන් කලද සැකයි

ඔහු මටත් මම ඔහුටත් වසන්තයක් වග නම් කිසිම සැකයක් නැහැ. අපේ ජීවිතවලට වගේම මේ මුළු ලෝකයටම දැන් උදාවී ඇත්තේ කටුක ගිම්හානයක්. ඒත් මේ ගිම්හානය මැදත් අපේ ආදරය වසන්තයට අපේ ජීවිතවලින් ඈතට පලායන්නට ඉඩදෙන්නේ නැහැ.

 

 

Comments