අපි ජීවිතය විඳිමින් නිර්මාණ කළ මිනිස්සු | සිළුමිණ

අපි ජීවිතය විඳිමින් නිර්මාණ කළ මිනිස්සු

 

වික්‍රම සෙනෙවිරත්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. වෘත්තියෙන් ගුරුවරයෙක්. ඔහු දැන් ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලබා පූර්ණ කාලීනව රංගන කලාව වෙනුවෙන් කැප වෙලා ඉන්නවා.වික්‍රම සෙනවිරත්න අප හඳුනා ගන්නෙ විශේෂ අත්දැකීමක් දරාගත් රූපණ ශිල්පියෙක් ලෙසයි. ආර්. ආර්. සමරකෝන් අධ්‍යක්ෂණය කළ ‘අහසින් වැටුණු මිනිස්සු‘වේදිකා නාට්‍යයට සහ සෝමලතා සුබසිංහ අධ්‍යක්ෂණය කළ ‘පුංචි අපට දැන් තේරෙයි‘සහ ‘තොප්පි වෙළෙන්දා‘ළමා වේදිකා නාට්‍ය දෙකට ඔහු එකතු වෙන්නෙ එම නාට්‍ය ආරම්භ කළ මීට දශක දෙකකටත් එපිට අතීතයෙ දී. එදා සිට අද දක්වාම ඔහු මේ නිර්මාණ තුනට රංගනයෙන් දායක වෙනවා.

 

යුග දෙකක අන්තරය අත් විඳිමින් තවමත් සජීවීව වේදිකාව වර්ණවත් කරවන මේ රූපණ ශිල්පියාව රසඳුන කලෙකට පස්සේ විශේෂාංගය වෙනුවෙන් හමු වුණා. අතීතාවර්ජණ සමඟින් වික්‍රම කතාව ආරම්භ කළා.

"ගාල්ල නියාගම මගේ උපන් ගම. පාසල් අධ්‍යාපනය හමාර වනවාත් සමඟම මට ගුරු පත්වීමක් ලැබුණා. මුල්ම පත්වීම ලැබෙන්නේ මගේ ගමේම පාසලට. ඒ නියාගම විජිත විද්‍යාලයට. අනතුරුව මහරගම ගුරු විද්‍යාලයට ඇවිත් වසර දෙකක් එහි වැඩිදුර ගුරු පුහුණුව ලැබුවා. මගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක්. ඒ අතරෙන් පස්දෙනෙක්ම ගුරු වෘත්තියෙ යෙදුණු අය.

රංගනයට මුලින්ම එකතු වෙන්නෙ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දි. ඒ වකවානුවෙදි තමයි වේදිකා නාට්‍ය බලන්න ලැබෙන්නේ. මට මතකයි මුලින්ම බලපු නාට්‍යය. ඒ තමයි ගුණසේන ගලප්පත්ති අධ්‍යක්ෂණය කළ ‘මුහුදු පුත්තු‘.ඉන් අනතුරුව හෙන්රි ජයසේන අධ්‍යක්ෂණය කළ ‘හුණු වටයේ කතාව‘.හුණුවටයේ කතාව නැරඹුවේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.“

මේ අත්දැකීම් සමඟ වික්‍රම පාසලේදිම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පෙළඹෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ‘වටුකුරුල්ලෝ‘නාට්‍යය ගාලු පළාතේ පාසල් නාට්‍ය තරගයකදි දෙවැනි ස්ථානය ලබා ගන්නවා. හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද දිනාගන්නේ වික්‍රම සෙනවිරත්න.

“ ඒක අමතක නොවන අත්දැකීමක්. ඊට පස්සෙ මම ගුරුවරයෙක් විදිහට ගමේ පාසලේ වැඩ කරද්දි ‘නොමැරෙන මිනිස්සු‘සහ ‘පොර කුකුල්ලු‘කියන නාට්‍යය දෙක අධ්‍යක්ෂණය කළා.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු පුහුණුව ලබද්දි නාට්‍ය කලාව ඉගෙන ගන්න මට විශාල අවකාශයක් විවර වුණා. ඒ කාලෙදි ධම්ම ජාගොඩ මහතා මෙහෙයවු ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණා.

ගාමිණී හත්තෙට්ටුවේගම, සුනන්ද මහේන්ද්‍ර වැනි ගුරුවරු එතැනදි මට මුණගැහෙනවා. මාස හයක පාඨමාලාවක් එහිදී සම්පූර්ණ කළා. පාඨමාලාව අවසානයේ මා නිෂ්පාදන කළ නාට්‍යයටත් විශිෂ්ටතම ඇගයීමක් ලැබුණා."

වීදි නාට්‍ය කලාව ලංකාව තුළ ප්‍රචලිත කිරීමට කැප වෙන විශේෂම පුද්ගලයා තමයි ආචාර්ය ගාමිණී හත්තොටුවේගම. වික්‍රම සෙනවිතරත්න ඔහු සමඟ වීදි නාට්‍ය කලාවට එක් වෙනවා. වීදි නාට්‍යය අර්ථවත් කළ ‘රූකඩයෝ‘නාට්‍යයෙ පිටපත ලියැවෙන්නේ වික්‍රම සෙනවිරත්න අතින්. ‘රූකඩයෝ‘පිටපත අදත් විදී නාට්‍ය කරන තරුණ තරුණියන් අතින් සජීවීවන ආකාරය අපට දකින්න පුළුවන්. වික්‍රම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ කොහොම ද? මේ අතර අප විමසුවා.

" මා රංග ශිල්ප ශාලිකාවෙන් පස්සේ වේදිකාවට එන්නේ සුනන්ද පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ස්පාටකස්‘නාට්‍යයෙන්. ඉන් පසු සෝමරත්න දිසානායකගේ ‘වෙඩික්කාරයෝ‘,සෝමලතා සුබසිංහගෙ ‘පුංචි අපට දැන් තේරෙයි‘,‘තොප්පි වෙළෙන්දා‘ළමා නාට්‍යයෙ රඟපෑවා.“

රූපවාහිනී ආරම්භවීමත් සමඟ වික්‍රම සෙනවිරත්න ළමා නිර්මාණ සඳහා එකතු වනවා. ඒ වගේම ටෙලි නිර්මාණවල ප්‍රධාන නළුවාගේ භූමිකාව රඟපෑමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

වික්‍රම සෙනවිරත්න රසික හදවත් තුළ හැමදාම මතක සිටින සේ තැන්පත් වෙන්නෙ කුමාරතුංග මුණිදාසයන්ගේ ‘හත්පණ‘ළමා කෘතිය ඇසුරින් කළ ‘හත්පණ‘ටෙලි නාට්‍යයේ කිරිහාමිගේ චරිතය රූපණයෙන්. ඒ වකවානුවෙ රටම ඔහුව හැඳින්නුවේ ‘කිරිහාමි සර්‘කියලා.

"‘හත්පණ‘රූපවාහිනී ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට පණිවුඩය දෙන්නේ හීනටිගල ප්‍රේමදාස. ශ්‍රීමති ලියනගේ තමයි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. සමිත රත්ගමගේ එය රූපවාහිනියට රචනා කළා.

‘හත් පණ‘ළමා කතාව එකල අතිශය ජනප්‍රිය වුණා. කිරි හාමිගේ චරිතය හාස්‍යය මතු කරන චරිතයක් නිසාම ලොකු පොඩි හැම දෙනෙක්ම මේ චරිතය ආදරයෙන් වැලඳ ගත්තා.“

වීදි නාට්‍යයෙන් සහ සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ ළමුන් වෙනුවෙන් රඟපෑම පිළිබඳ ලබාගත් අවබෝධය මේ චරිතය නිරූපණය කරන්න මට විශාල පිටුබලයක් වුණා.“

ඒ වගේම ‘හත්පණ‘නාට්‍යය රංගනයේ දි ඒ නිර්මාණය පෝෂණය කිරීමට අපේ අත්දැකීම් යොදා ගන්න අධ්‍යක්ෂකවරිය ඉඩදුන්නා. මට මතකයි මුලින්ම රූගත කළේ කිරිහාමී ගවයා බැඳපු කඹයෙන් ළිඳෙන් වතුර ඇදලා නාන දර්ශනය. එතැනදි පළමුවෙන්ම අදින වතුර බාල්දිය සීතල නිසා ඉවතට දාලා දෙවෙනි වතුර එක නාන සිදුවීම මගේ අදහසක්. “

රූපවාහිනී ළමා අංශය සමඟ වික්‍රම සෙනෙවිරත්න විශාල වැඩ කොටසක් කළා. ‘ගොළු දැරිය‘,‘දෙයියෝ සාක්කි‘,‘ගුත්තිලය‘,‘මාමලගෙ ගෙදර‘,‘ලොක්කේ මමා‘වැනි ළමා නාට්‍ය ගණනාවක රංගන ශිල්පියෙක් විදියට ඔහු කටයුතු කළා.

"ගුරු පුහුණුවෙන් පසු ගණිත ගුරුවරයෙක් ලෙස මට පත්වීම ලැබෙන්නෙ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයට. ඔය අතරතුර මා වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑවා. නාමල් ප්‍රියදේවගේ ‘නිධානය‘නාට්‍යය ඒ අතරෙ විශේෂ මතකයක්. රේණුකා බාලසූරිය පළමු වරට වේදිකාවට සම්බන්ධ වෙන්නේ ඒ නාට්‍යයෙන්. එහි රංගනය වෙනුවෙන් ඒ වසරේ යෞවන සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය මා දිනා ගත්තා.

වේදිකා රංගනයෙ දි සෝමලතා සුබසිංහගේ ‘විකෘති‘ ඊ. එම්. ඩි. උපාලි ගෙ ‘මෙතනින් මාරු වෙනු‘නාට්‍යයවල රඟපාන්න ලැබීම විශාල අත්දැකීමක් වුණා. ‘ආර්. ආර් සමරකෝන් අධ්‍යක්ෂණය කළ "අහසින් වැටුණු මිනිස්සු“ වේදිකා නාට්‍යයේ මට රඟපාන්න ලැබෙන්නෙත් මේ අතරෙ. ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඒ නාට්‍යය ඇමරිකාව, ප්‍රංශය , ඔස්ට්‍රේලියාව, කොරියාව වැනි රටවල් ගණනාවක ප්‍රදර්ශනය කරන්න හැකිවුණා. අදත් මේ නාට්‍යය කිසිදු පෙර පුහුණුවක් නැතිව අප සියලු දෙනාම රඟපානවා. එක සුවිශේෂයි.“

වික්‍රම සෙනවිතරත්න ටෙලි නාට්‍ය කලාව තුළ විශේෂ භූමිකාවක් රඟදක්වන්නේ මේ අත්දැකීම් එක්ක. ඔහු ටෙලි නාට්‍යය රංගනයට එළැඹෙන කාලය වනවිට ටෙලි නාට්‍යයක විකාශය විය හැකි උපරිම කොටස් ප්‍රමාණය 13යි. ඒ වකවානුවේ ඔහු රංගනයෙන් දායක වුණු රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කළ ‘තෙමංසල‘,බී සිරිතුංග පෙරේරාගේ ‘සාමනදී‘ විජය ධර්ම ශ්‍රී ගේ ‘සමන් තැන්න‘ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් තදින්ම වැලඳ ගත්තා.

“මේ කාලයෙදි ගෑනූ ළමයින්ගෙන් මට ලිපි ලැබෙනවා. ඒ විදිහට ලිපි ලියපු පෑනේ මිතුරියක් තමයි පසුව මගෙ බිරිය වෙන්නේ...“ වික්‍රම සෙනවිරත්න මුව පුරා පැතිරුණු සුපුරුදු සිනාවත් සමඟම කිව්වා.

පැනේ මිතුරියක් වී පසුව වික්‍රමගේ ජීවන සහකාරිය වන්නේ ජමීලා සෙනෙවිරත්න. ඇය ඔහුට මුණ ගැසෙන වකවානුව වනවිට ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක්.

“මා පාසලේ ගුරු වෘත්තිය අකුරටම කරපු කෙනෙක්. කලාව වෙනුවෙන් බොහෝ විට මම යොදාගත්තේ මට අනුමත නිවාඩු දවස්. ඒ වගේම මම දරුවන්ට නාට්‍ය වැඩමුළු පවත්වමින් මේ දැනුම බෙදා දෙමින් ගෝල පරපුරක් හැදුවා.

ආපහු හැරිලා බලනකොට හරිම සතුටුයි. මගෙන් ඉගෙන ගත්තු දරුවෝ දේශපාලන, ක්‍රීඩා, පරිපාලන සහ කලා ක්ෂේත්‍රවල ඉදිරියෙන්ම ඉන්නවා. ඒ දරුවන් තවමත් මට හරිම ආදරෙයි. පන්තියේ උගන්වන දෙයින් මම සතුටක් ලැබුවා. මට අවශ්‍ය වුණේ නෑ අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළට යන්න. මට අවශ්‍ය වුණේ පන්තියේ ළමයින්ට උගන්වන්න. ළමුන්ගෙ සිතුම් පැතුම් ඔවුන්ගේ ආකල්ප දියුණු කරන්න. ඒ නිසා මම අදත් සතුටින් ජීවත්වන කෙනෙක්.

මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. දුවයි, පුතයි. දුව ලක්මී උත්පලවන්නා. පුතා ජනිත් අකලංක. පුතා දැනට ජපානයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. ඒ යහපත් දරුවො සමාජයට වැඩදායී විදිහට ගොඩනැගිලා තිබෙනවා.“

මේ තෘප්තිමත් ගුරුවර රූපණ ශිල්පියා මෑතක දි ‘සත්සර රංගන‘, ‘අරුණෝද කලාපය‘, ‘රළ බිඳෙන තැන‘, ‘කහ ඉර පාමුල‘, ‘වසූදා‘, ‘පතිනි‘ , ‘පුංචි වීරයෝ‘, පුංචිරාල, හඳයා, වගේ ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. ඔහු මෑත කාලයේ අවසන් වරට වේදිකාවට එන්නේ රවීන්ද්‍ර ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘මිට නැති කුඩ‘ වේදිකා නාට්‍යය සමඟ.

‘ගුරුගෙදර‘, ‘සල්ලි තිබුණට මදි‘, ‘තුන්වැනි ඇහැ‘,‘හිමගිර‘,‘ආදරණීය වස්සානය‘, චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු වික්‍රම සෙ‍ෙනවිරත්න රඟපෑ ප්‍රියන්ත සමරකෝන්ගේ ‘දිරිය දෝණි‘ චිත්‍රපටය ඉදිරියේ දී ප්‍රදර්ශනය වීමට නියමිතයි.

ඉදිරි නිර්මාණ ජීවිතය... එය සැලසුම් වෙන්නෙ කොහොම ද? සමුගන්න කලින් මා ඔහුගෙන් විමසද්දී වික්‍රමගෙ සුපුරුදු ප්‍රසන්න සිනාව යළි මුව පුරා ඇඳී ගියා.

“අපි ජීවිතය විඳිමින් නිර්මාණ කරපු මිනිස්සු. ලොකු සැලසුම් තිබුණෙ නෑ. එකම අභිලාෂය වුණේ යහපත් නිර්මාණ කිරීම. ඉදිරියටත් එහෙමයි. හැකිතාක් කල් හොඳ නිර්මාණ එක්ක ජීවත් වෙනවා.“

 

ඡායාරූප - තිලක් පෙරේරා

Comments