සංචරණ සීමා ජූනි 21 දක්වා | සිළුමිණ

සංචරණ සීමා ජූනි 21 දක්වා

සතිපොළ හා ඉදිකිරීම් කටයුතුවලටත් අවසර

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන ජූනි 21 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම් ඇතුළු සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 රෝග ව්‍යාප්තියේ අවදානම පිළිබඳව රජයට කරුණු පෙන්වා දීමත් පසුගිය බ්‍රහස්පතින්දා දිනයට අදාළව කොවිඩ් 19 රෝගයෙන් 101 දෙනකු මිය යාමත් සැලකිල්ලට ගෙන රෝග ව්‍යාප්තිය අඩු කිරීම පිණිස රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම් 12.5%ත් 14%ත් අතර ප්‍රතිශතයකින් වැඩි වී ඇතැයිද කොවිඩ් රෝගී මරණ 28%කින් වැඩි වී ඇතැයිද පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයට පෙන්වා දී තිබුණි.

මෙවර සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී කාබනික පොහොර නිෂ්පාදනයට අවසර ලබා දීමටද රජය තීරණය කර තිබේ.

එමෙන්ම පෙර පරිදි සියලු කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට සංචරණ සීමා බාධාවක් නොමැති බවද රජය අවධාරණය කර සිටී.

එසේම සෞඛ්‍යාරක්ෂිතව සතිපොළ පැවැත්වීමට හා ඉදිකිරීම් කටයුතු සිදුකිරීමටද මෙවර අවසර ලබා දී තිබ්.

එමෙන්ම පෙර පරිදිම, පෙර දැනුම් දෙන දිනවලදී සියලු ආර්ථික මධ්‍යස්ථාන, මත්ස්‍ය වෙළෙඳ පොළ විවෘත කිරීමටත් අත්‍යවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා, ආයෝජන කර්මාන්ත ශාලා, අපනයනයට සම්බන්ධ කර්මාන්තශාලා පවත්වාගෙන යාමට මේ සීමාවන් බල නොපානු ඇත. මේ සියලු ආයතන විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර නිරෝධායන නීතිවලට අනුගත විය යුතු බව රජය විසින් දැනුම් දී තිබේ.

Comments