සිය ජීවන අත්දැකීම් සර්වකාලීන කරන ලේඛකයා | සිළුමිණ

සිය ජීවන අත්දැකීම් සර්වකාලීන කරන ලේඛකයා

 

අපට අපේ ජීවිතයේ බො‍හෝ දේ මග හැරී ගොස් තිබෙනව‍ා යැයි මා කීවොත් ඔබ එකඟ වේවි. ඔබට මට අප සියල්ලන්ට ම නොදැනුවත් ව බොහෝ සියුම් දේ මගහැරී තිබේ. සියුම් දේ මග හැරීම නිසා ම අපේ ජීවිත වලින්ද සියුම් බව පලා ගොස් ඇත. මඳක් සිතන්න... ඔබේ පයට පෑගෙන තණ පතක වන මුදු මොළොක් බව, එහි ඇති පිනි බිඳු වල තෙතමනය, තණ පතක පිපෙන සුන්දර කුඩා මල්වල සුන්දරත්වය මෙන්ම නෙක පැහැ වර්ණ රටාව ඈ මේ සියල්ල ම නොදැක, නොදැනී අප බොහෝ දුර ගොස් නේද? එහෙත් මේ කිසිවක් අමතක නොවන පුද්ගලයකු වෙයි. හේ හඳුන්වන්නේ නිර්මාණකරුවා යන පොදු නාමයෙනි.

එක් එක් නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණාවේශයට පිළිපන් වන්නේ විවිධ ආකාරයෙනි. බුද්ධි ගලප්පත්ති ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා ද ස්වකීය නිර්මාණකරණයට බොහෝ විට පිළිපන්නේ ස්වකීය හා අන්‍ය අත්දැකීම් පරිකල්පනයේ දවටා ය. හේ නිර්මාණකරණයේ බහුවිධ ඉසව් ස්පර්ශ කරන්නේ මෙකී ප්‍රතිභාවේ පිහිටා ය. ඔහු මේ ස්පර්ශ කරන්නේ ස්වකීය ජීවිතයෙන් ලද ඉසියුම් බවේ මනෝභාවය.

‘නිශ්චලයි රාත්‍රිය‘ කවි එකතුවේ ආරම්භක කවිය ලෙස ඉදිරිපත් වෙන නිහඬතාව කවි පන්තිය නිහඬ බවේ හුදෙකලාව මෙන්ම එහි ගැඹුර ද කවියා අපූරුවට ගැළපූ බව සහෘදයනට දැනේ.

නොනිදා රැය පහන් වන මේ දිගු දවස

පිනිබිඳු පතිත වන හඬ වුව ඇසෙයි මට

මේ සා නිහඬතාවක් රජයන්න අද

සිදු වූ අරුම කිමදැයි නොවැටහේ මට

ගෙපැලක ඈත බිලිඳෙකු හඬනා කිරට

නළවන ගීතයක පදවැල් ඇසෙයි මට

රැය මේ ලෙසින් නිහඬ ව ගෙවෙනා දිනෙක

ඇසෙනා මෙ ගී පද වැල් දුකකිය හදට......

(89 නොවැම්බර් )

මේ මුළු කවියම සහ තවත් කවි ඔබට ‘නිශ්චලයි රාත්‍රිය‘ කාව්‍ය කෘතියෙන් දැක ගත හැකිය.

‘ සියලු දේ නිහඬ කළ, ජීවිතය නැවතුන සිත් දුකින් අඳුරින් වසාගත්, පසුව දා පහන් වන්නේ කුමන මොහොතේදැයි බියෙන් සිටි රාත්‍රියකයි මේ කවිය ලියැවුණේ. පළමුවෙන් ම මේ නිර්මාණය ඉරිදා දිවයින සංග්‍රහයෙ කර්තෘ දයාසේන ගුණසිංහ කවියා විසින් කව්මුතු තීරයේ පළ කරනු ලබනවා. 1992 දී පළ වූ මගේ පස්වන කාව්‍ය සංග්‍රහය වන ‘නිශ්චලයි රාත්‍රිය‘ කවි එකතුවේ ආරම්භක කවිය ලෙස මේ නිර්මාණය පාඨකයන් අතට පත් වෙනවා. මේ කවිය පුරාම තියෙන්නෙ කවියෙ කථකයාගේ කැලඹුණු සිත පිළිබිඹු කෙරෙන සංකල්ප රූපාවලියක්.

එදවස මේ අත්දැකීම විඳි සහෝදර කලාකරුවකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න අපූරු විග්‍රහයක් කර තියෙනවා මේ ලෙසින්.

" බුද්ධදාස ගලප්පත්ති කවියා ලියූ මේ කවි පන්තිය මගේ පෞද්ගලික අත්දැකීමක් හා අත්‍යන්තයෙන් බැඳී පවතී. 1989 වසර දකුණේ ජීවත් වූ සිංහල ජනතාවගේ විශේෂයෙන් සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත අවදානමකට ලක් වූ යුගයක් බව බොහෝ දෙනාට මතක ඇත.ඔවුහු මරණයට කැප කළ හරක් පට්ටියක් බඳු වූහ. ආණ්ඩුවේ කොටස්වලින් හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් හෝ 'ප්‍රා' 'කළු බළල්ලු' 'උකුස්සා' 'මකරා' 'ගෝනුස්සා' 'ලේ මාපිල්ලු ' වැනි නොනිල මැර කල්ලියකින් හෝ ඔවුන් ඕනෑම දවසක ඕනෑම රාත්‍රියක මරණය කරා දක්කා ගෙන යා හැකි විය.ගෙවී යන හැම රාත්‍රියක් ම ගැඹුරු හා කුරිරු මෙන් ම මහා නිශ්ශබ්දතාවක ගිලී ගිය රාත්‍රියක් වූයේ ය.

බුද්ධිත් මමත් අදට වඩා විසි වසරකින් තරුණ වී සිටියෙමු. තාරුණ්‍ය නිසා ම නො ව සමාජගත සත්ත්වයන් ව සිටි බැවින් මේ රාත්‍රි නිහඬතාව අපේ සිරුරුවලට ද මනසට ද හොඳින් දැනී තිබිණ. මට රට හැර යන්ට සිදු විය. මා බුද්ධි ගේ මේ කවි පන්තිය කියවූයේ එසේ රට හැර ගොස් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරක් ගසමින් සිටිය දී ය.

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා එන බොහෝ සිංහල ජනයා ගුවන් යානයෙන් සැපයෙන දිනපතා හා සතිපතා ප්‍රවෘත්ති පත්‍ර මහාබෝධි මධ්‍යස්ථානයට ගෙන ආහ. එසේ ගෙන ආ පුවත්පතක 'නිහඬතාව' පළ වී තිබිණ. එය මගේ සිරුර කිලිපොළා යන කවි පන්තියක් විය.එවක දකුණේ ජීවත් වූ තරුණ තරුණියන් ගේ ජීවිත අවදානම , අවිනිශ්චිතතාව,දුක්ඛ දෝමනස්සය ඒ කවි, පන්තියේ පේළියක් පේළියක් වචනයක් වචනයක් අකුරක් අකුරක් පාසා ගැබ් ව තිබිණ.කථකයා නො නිඳා රැය පහන් කරයි. පිනි බිඳු පතිත වන හඬ ද ඈතින් ඇසෙන නැළවිලි ගී හඬ ද ඔහුට ඇසෙන්නේ එබැවිනි.

ඒ රාත්‍රියෙහි අහර සොයා යන 'නිශාචර කුරුල්ලෝ' ද වෙත්. ඒ කවරහු ද? ඉන් ගම්‍යමාන ව්‍යංගය කුමක් ද? එහෙත් ලෝකය දිගු නින්දක ය. ඔවුන්ට කිසිවක් නෑසේ. නො හැඟේ. කථකයා තනි ව මේ නිහඬතාව දරා ගත යුතු ය. 'නිහඬතාව' බුද්ධිගේ ප්‍රශස්තතර කවි පන්තියකි. ජී. බී. සේනානායක ආලය පිළිබඳ ව රචනා කළ 'නිශ්ශබ්දතාවත්' බුද්ධි භීෂණය පිළිබඳ ව රචනා කළ නිහඬතාවත් සසඳා බලනු වටී.

ඕනෑ ම නිර්මාණකරුවකුට පාදක වන්නේ අත්දැකීම් ය. ඒවා ස්වකීය හෝ වෙනත් අයකුගේ අත්දැකීම් විය හැකිය. කිසියම්ම හෝ නිර්මාණකරුවකු අන්‍ය අත්දැකීමක් ලියන්නේ හෝ නිර්මාණය කරන‍්නේ හෝ වුව ද ඊට තම අත්දැකීම් හා අනුභූතිය එක් වෙයි. බොහෝ නිර්මාණකරුවන් කියන්නේ මේවායේ එන දේවල් මගේ කියා විවේචනය කරන්නට හෝ මා කියවා ගන්න‍ට හෝ උත්සාහ කිරීමට යොදා නොගන්නා මෙන් ය; එය සත්‍යයකි. අත්දැකීම් කවරාකාර වුව ද ඒ අත්දැකීම් සියල්ල ම නිර්මාණකරුවාගේ යැයි කියා ඔහු වෙත පැටවීම හෝ ඔහු කියවා ගැනීමට භාවිත කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. ඒ අත්දැකීම් නිර්මාණකරුවාගේ හෝ අන් අයගේ හෝ වෙනවා මෙන් ම ඔබේ ද මගේ ද වන්නේ ය.

බුද්ධි ගලප්පත්ති නිර්මාණකරුවකු වශයෙන් තමා ජීවත්වෙන සමාජයේ සිදුවන සිදුවීම්වලින් සසල වී එ් සිදුවීම් තවත් කෙනකුගේ ජීවිත පරිඥානය වෙනුවෙන් තිළිණ කරන්නේය. කොරෝනා මුළු මහත් සමාජය ම බියෙන් සලිත කර තිබියදී පවා නිරිමාණකරුවකුගේ මානව සංවේදීත්වය තිබිය යුත්තේ කොතැනකද යන්න බුද්ධි සිය පෑන් තුඩට හසු කරන්නේ අපරිමිත දයාවෙනි. ‘ජීවන සුසුම‘ කෙටිකතා සංග්‍රහයේ එන ‘ආසාදිතයා‘ අපට නැවත අප දෙස හැරී බලන්නට කරන ආරාධනය සිත සලිත කරවන සුලු ය.

‘ජීවන සුසුමෙ කතාවක් නැත්නම් දෙකක් සඳහා සෘජුවම වස්තු විෂය වුණේ පහුගිය වසර එකහමාරක තරම් කාලෙක ඉඳලා අපෙ ජීවිත වසාගත් කොවිඩ් 19 කොරෝනා වසංගතයෙ අමිහිරි අඳුරු සිදුවීම්. ආසාදිතයා කතාව වගේම මල් නෙළන්නාගේ මරණය කියන කතා දෙකේම අත්දැකීම් කොරෝනා සමයේ සිදුවීම් පාදක කරගත් ඒවා. ආසාදිතයා කතාව උත්තම පුරුෂ දෘෂ්ටියෙන් ඉදිරිපත් වන්නේ. එහි කථකයා මමමයි.ප්‍රධාන චරිතය ගුණරුවන් නම් විශ්‍රාමික පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ ජීවතුන් අතර නෑ, දරුවන් තිදෙනා විප්‍රවාසයේ. හුදකලා ජීවිතයක් ගතකරන ගුණරුවන් ගේ තනියට ඔහුගෙ සේවකයා විබට් ඉන්නවා, හුරතලේට ඇති කරන බල්ලො දෙන්නෙකුත් ගුණරුවන්ගෙ ගෙදරජීවිතේට සම්බන්ධයි. විප්‍රවාසයෙ ඉන්න දරුවන් නිතර ඔහු ගැන හොයල බලනව; තොරතුරු විමසනවා. ඒත් ඔවුන්ට ලංකාවට එන්න බෑ කොරෝනා නීති රීති නිසා. ඔහු පුවත්පත්වලින් රූපවාහිනියෙන් දකිනව කොරෝනා නිසා බිඳ වැටෙන මාපිය දූ දරු ඥාති හා හිත මිතුරු සම්බන්ධතා. සමීප ඥාතියකුගෙ අවමඟුලකටවත් සහභාගී වන්න බැරි සීමා. ගුණරුවන් ගේ හිතේ නිතරම බියක් ඇතිවෙනවා. හදිස්සියේ හෝ ඔහුට අසනීපයක් වූවොත් මුහුණ දෙන්න සිදුවෙන තත්ත්වය. ඔහු ට හදිසියේ උණ ගැනෙනවා. එතකොට තමයි ගුණරුවන්ගේ බිය දෙගුණ තෙගුණ වෙන්නෙ. ඔහුට දරුවන් මතක් වෙනවා, මොකක් හෝ කරදරයක් වුණොත් ඔහුගෙ ඉරණම කුමක් වෙයිද කියන අවිනිශ්චිත හැඟීමෙන් ඔහු පෙළෙනවා. රෝහලට යන්නට පෙර ඔහුට සැක හිතෙනවා වයිරසයෙන් ඔහු ආසාදිතයෙක් වී ඇත්ද කියලා. එහෙම වුණොත් යන ප්‍රශ්නය මැද ඔහු අසරණ වෙනවා. " වෛද්‍යවරයාගේ උපදෙස කුමක් විය හැකිද? කුමක් වුවත් ඊට මුහුණ දිය යුතුය. එහෙත්? එහෙත්? ඊට මුහුණ දෙන්නේ කෙසේද"

ගුනරුවන් ගේ සංකීර්ණ මානසික අර්බුදය ඔහුට පමණක් සීමා වූවක් නොවේ. මේ දිනවල මෙවැනි හුදකලා වූ ඕනෑම පුද්ගලයකුගේ මානසික ස්වභාවය ඒයයි. ඔහු සිතෙහි උපන් මරණය පිළිබඳ බිය, අවිනිශ්චිත බව ආසාදිත ඕනෑම පුද්ගලයකුට පොදුයි.

ගුණරුවන් නිවසින් තම සේවකයා සමඟ පිට වී යන මොහොතේ ඔහු දෙස බලා ඉන්නා බලු සුරතලුන් දෙදෙදෙනා ගැන කම්පා වෙනවා, දුක් වෙනවා. එමඟින් ඔහුගේ මානව දයාව මතු කරන්න මම උත්සාහ කළා. ඇත්තටම කොවිඩ් ආසාදිතයෙකුට මුහුණ දෙන්න වෙන ජීවන ගැටලුව මෙය නොවෙද? මගේ පුද්ගලික අත්දැකීමෙහි පොදු මිනිස් ප්‍රශ්නයක් මම මතු කරන්නෙ. ඥාතීන්, දරුවන්ට සහභාගීවන්නට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් ? මගේ කතාවල ආකෘතිය, රීතිය, සරලයි, ඒත් යටින් දිවෙන ජීවිත විවරණයක් සහිතයි.එය යථාර්ථවාදීයි. අධි යථාර්ථවාදී හෝ ඉන්ද්‍රජාලක , මායාමය යථාර්ථයක් එහි නෑ. අපිට කතාවක් කියවල අවසානයේ දැනෙන හද ගැස්ම, සසලවීම මම විශ්වාස කරනවා‘

ස්වකීය අත්දැකීම කෙතරම් කටුක හෝ ප්‍රසන්න වුවත් එකී අත්දැකීමෙන් පැනෙන වේදනාව හෝ සංතෘෂ්ටිය තවකකුගේ ජීවන පරිඥානය සටහන් කරන්නේ ය.

අදහස් හෝ වෙන යම් ඕනෑ ම දෙයක් ප්‍රකාශ කිරීමට ඔබට, මට ආවේණික ක්‍රමවේදයක් තිබෙන්නා හා සේම නිර්මාණකරුවාට ද ඒවා පාඨකයනට, රසිකයනට ඉදිරිපත් කිරීමේ තමන්ට ම ආවේණික ක්‍රමවේදයක් තිබේ. තමාට වැඩියෙන් ම පාඨක හදවත් සනසන්නට, හඬවන්නට, පිරිමදින්නට හැකි ක්‍රමවේදය කුමක්දැයි තේරුම් ගැනීම නිර්මාණකරුවකු සාර්ථක විය හැකි අවශ්‍ය ම සාධකයයි. බුද්ධි ස්වකීය සිත හඬවා අනතුරුව නැළ වූ අත්දැකීම ස්වකීය ගීයට පදනම් කරගන්නේ මේ අයුරෙනි.

ගීතයේ නිමිත්ත බොහෝ දෙනකුගේ අත්දැකීමට සමපාත වුවත් එකී අත්දැකීමේ ස්මරණය සාක්ෂාත් කරන මේ ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ ඒ නිසා ය.

කඳුළු කතාවේ නිමක් දුටුව දා

සිහින ලතාවේ මලක් පිපුණු දා

සතුටු ගඟක් ගැලුවා

හදට හදක් බැඳුණා.....

ඒ සුමිහිරි ගීතයේ සම්පූර්ණ පද වැල් ඔබට මතක ඇතිවාට සැක නැත. මේ සුමිහිරි ගීය ගායනා කරන්නේ පණ්ඩිත් විශාරද අමරදේවයන් ය; තනුව හා සංගීතය විශාරද මාහචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ ය.

‘මේ ගීතය ලියවුණේ හරියටම 77 මැයි මාසෙ මැද දි. ඒ මගේ විවාහයෙන් දින කීපයකට පසුව. ගීතාත් මගෙත් ප්‍රේම සම්බන්ධයට නොයෙක් විදියෙ බාධා ඇතිවුණා. අපි දෙන්නගෙම සමීප මිතුරියො, චන්ද්‍රිකා, ලක්ෂ්මී, රෝහිණී, විනීතා තමයි අපට උදව් කළේ. අපේ ආදර කතාවට ඇතිවුණු ප්‍රශ්නවලට පවා වැඩිහිටියෙක් වගේ සනත් අය්යා මැදිහත් වුණු හැටි මට මතකයි. මේ ගැන ගීතගෙ අම්මත් එක්ක කතා කළෙත් ඔහු. අවසානයේ දි අපේ ප්‍රේම කතාව නිමා වුණේ සතුටුදායක අවසානයකින්. අපි දෙන්නා හැමෝගෙම කැමැත්ත ඇතුව එකතු වෙලා. දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ අපේම ලොව අප තනි වූයේ කියල ලියවුණේ ඒ නිසා.

ගීතය ලියවුණු පසුබිම් කතාවෙ දෙවන කොටස තමයි රසවත්. අපේ විවාහය සිදුවෙන කොට මට සනත් අයියගේ ආරාධනය ලැබිල තිබුණෙ. හැබැයි මට කිව්වෙ නෑ මොන විදියෙ ගීතයක් ද ඕන කරන්නෙ කියල. මම දැනගෙන හිටියා ගීතය ගායනා කරන්නෙ අපේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව කියල. මට තරමක බයකුත් තිබුණා.

ගීතාත් මමත් අපේ විවාහයෙන් දවසකට පස්සෙ මගේ සරසවි මිතුරෙක් වන බන්දුසිරි එගොඩගේ ගෙ නාවලපිටියෙ ගෙදර ගියා දවසක් ගත කරල එන්න ඔහුගෙ ආරාධනාවකට. නාවලපිටියෙ හිටපු දවස් දෙකෙත් ආපහු කොළඹ එනකොටත් මගේ ඔළුවෙ තිබුණෙ ලියන්න තිබුණු ගීතය ගැන. අපි දෙන්නා ආපහු කොළඹ එන අතරතුරේ කාර් එකේ දි තමයි මේ පද වැල් ටික මගේ කල්පනාවට ආවෙ මගේ හිතේ කුරුටු ගෑ වුණේ. අපි දෙන්නට මුණගැහෙන්න පවා තිබුණු ප්‍රශ්න තමයි සුසුමක පා කොට හසුන් යවා - දෙතැනක තනි වී හඬා දොඩා වගේ කාව්‍යොක්තියකින් මතු කරන්න උත්සාහ ගත්තෙ.

වැහි වලාකුළක් අතේ පණිවුඩ යවපු දූත කාව්‍ය කතාවත් මට සිහි වුණා. ඒ සියල්ල ජයගත්ත මොහොතෙ සතුට සංකේතවත් කළේ කඳුළු කතාවක නිමාවෙ, පෙම්වතුන් දෙදෙනෙකුගෙ සිහින ලතාවක මලක් පිපුණු මොහොතක් ලෙස දකිමින්. අමරදේව සර් මේ ගීතයෙ පදවලට ආසා කළා. දවසක් ජ'පුර කැම්පස් එකේ නල මුදු සුවඳ ප්‍රසංගයක් අවසාන වෙලා මම ඔහුව නාවින්නෙ ගෙදරට බස්සන්න ගියා. ඒ යන අතරතුරේ කීප වතාවක්ම අමරදේව සර් සිහින ලතාවේ මලක් පිපුණු දා , හරිම ලස්සන යෙදුමක් කියමින් හෙමින් ගායනා කළා මට මතකයි. කඳුළු කතාවේ අත්දැකීම ප්‍රශ්න , බාධක මැද ආදරය කරන ඒ බාධක ජයගෙන ඔවුන්ගේම ලෝකයේ කිරුළු දරන ඕනෑම පෙම්වතුන් යුවළකගේ අත්දැකීමක් වෙන්න පුළුවන්‘

ස්වකීය අත්දැකීමට පාදක වූ සිතිවිල්ල බුද්ධි ගලප්පත්ති නිර්මාණකරුවා විසින් අප සැමගේ වින්දනය හා ආනන්දය වෙනුවෙන් ලියා තැබුවේ එසේය. එය බොහෝ කාලයක් තිස්සේ බොහෝ පිරිසකට සිය ආදර කතාවේ දුක් කඳුළු මෙන්ම සතුටු කඳුළු ද සිහිපත් කරන්නේ ය. නිර්මාණකරුවා කියන්නේ එවැන්නකුට ය. ඔහු ලියන්නේ අදට හෝ ඔහුට පමණක් නොවේය.

නිර්මාණ සර්වකාලීන හා සර්වභෞමික යැයි අප කියන්නේ ඒ නිසා ය.

Comments