නිරෝධායනය වනු යෙහෙ අරුත දැන | සිළුමිණ

නිරෝධායනය වනු යෙහෙ අරුත දැන

 

හරි වහර මඟින් අප විමසමින් සිටියේ නිවැරැදි ල - ළ යෙදුම පිළිබඳ ව යි. එ අතර ඇතැමුන් ගේ පැන කිහිපයකට පිළිතුරු දෙන්නට ද සිදු වී ය. අද ද මුල දී ම එ බඳු පැනයට පිළිතුරු දී ඉදිරියට යන්නට සිදු ව ඇත්තේ ය.

මේ පැනය මෙ කල බොහෝ දෙනකු විසින් නඟනු ලබන්නකි. මුවින් නොනැඟුව ද බොහෝ දෙනකු ගේ සිත්හි මේ පැනය වෙයි. එ නම් ‘නිරෝධායනය‘ යන වදනෙහි අරුත කිමෙක් ද යනු යි.

නිරෝධායන යන්නෙහි අරුත නිවැරැදි ව දැක්වීම පිණිස පළමු ව වදන බෙදා බැලිය යුතු යි. නි + රෝද + අයන යනු එහි ඇති කොටස් තුන යි. මෙහි ‘නි‘ යනු උපසර්ගයෙකි. උපසර්ග යනු වදනෙක මුලට එක් වි එහි අරුත වෙනස් කරන කොටසෙකි. මෙහි දී ‘නි‘ යන්නෙන් කැරෙනුයේ අරුත තව ද තහවුරු කිරීම යි; වැඩි කිරීම යි. කවර අරුත ද? රෝධ යන්නෙහි අරුත යි.

‘රෝධ‘ යන්නෙහි අරුත කිම? වැළැක්වීම, නැති කිරීම යනු යි. සංස්කෘත භාෂාවේ ‘රු ඕ‘ යැයි ක්‍රියා මූලයක් වෙයි. එයට ‘අ‘ ප්‍රත්‍යයය එක් වීමෙන් ‘රෝධ‘ යන නාමය ඇති වේ. එයට ‘නි‘ එක් වීමෙන් නිපැදුණු නිරෝධ යන්නේ අරුත මනා ව වළක්වන බව, මනා ව නැති කරන බව යනු යි.

‘අයන‘ යන්නේ අරුත නම් ගමන, ගමන් කිරීම යනුයි. වෙනත් අරුත් ද එහි වේ. ඒ මෙහි ලා නො ගැළැපේ.

සියල්ල එක් ව ගත් කල නිරෝධායන යන්නෙහි මුළු අරුත වනුයේ මනා ව වැළැක්වීමට, නැති කිරීමට යන ගමන හෙවත් ගමන් කිරීම යනු යි. කුමක් වැළැක්වීමට ද? රෝගි භාවය වැළැක්වීමට යි.

නිරෝධායන යන්නෙහි අරුත දැන් කාටත් වැටැහෙනු ඇත. එය ඉංගිරිසියෙහි ........................................ යන වදනෙහි අරුත දෙනු පිණිස මෑතෙක දී තනාගත් වදනක් බව පෙනේ. එතරම් ම ගැළැපෙන වදනකැ යි ද කිව හැකි නොවන නමුදු දැන් වහරෙහි මුල් බැස ගෙන ඇත.

දැන් වෙනත් වදන් කිහිපයෙක නිවැරැදි වහර විමසා බලමු.

‘මහළු‘ යන වදන නිතර යෙදෙන සැටි පොත්පත්, පුවත්පත් ආදි ලේඛනවලින් දැකිය හැකි ය. මෙහි (මූර්ධජ) ‘ළු‘ යෙදීම මුළුමනින් වැරැදි ය. (දන්තජ) ‘ලු‘ ම මෙහි යෙදිය යුතු ය. එ අනුව ‘මහලු‘ යනු ම නිවැරැදි වදන වේ.

මහලු යන්නෙහි වඩා පතළ අරුත වන්නේ වයෝ වෘද්ධ යනු යි. එ මෙන් ම එහි ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ යන අර්ථය වේ. මහලු පැරැකුම්බා, මහලු විජයබා වැනි යෙදුම්වලින් එ බව මනා ව පැහැදිලි වේ.

මහලු යන්නට අනුරූප වැ පාලියෙහි ‘මහල්ලක‘ යනු යෙදේ. සිංහලයෙහි මහලුනා යන රජ නම පාලියෙහි මහල්ලකනාග යැ යි යෙදේ.

මහලු යන්නෙහි ස්ත්‍රී ලිංග රූපය වනු යේ මැහැලි යනු යි. මෙ දෙක ම වර නැඟීමෙහි දී අග ඇති ‘ල්‘ යනු ද්විත්ව වේ. මහලු යනු ‘මහල්ලා - මහල්ලාට - මහල්ල‘ ආදි වශයෙන් ද ‘මැහැලී‘ යනු ‘මැහැල්ල - මැහැල්ලට - මැහැල්ල‘ ආදි වශයෙන් ද වර නැඟේ. මෙ සේ ‘ල්‘ ද්විත්ව වීමෙන් ද පෙනෙන්නේ මෙහි ‘ලු‘ යනු ම යෙදෙන බව යි.

වහරෙහි ‘මෑලි වෙනවා‘ යැ යි යෙදුමක් වේ. ඒ බෙහෙවින් යෙදෙන්නේ පලතුරු, එළවුළු ආදිය පිළිබඳිනි. මෙහි දු මෑලි යනු මැහැලි යනු ම ය. ඒ මහලු යන්නෙහි ස්ත්‍රී රූපය නො ව මහලු බව ඇති යනු යි. මහලු + ඉ = මැහැලි. මෙහි ‘ඉ‘ අස්න්‍යර්ථයේ (ඇති යන අරුතෙහි) තද්ධිත ප්‍රත්‍යයය යි.

කට වහරෙහි නිතර යෙදෙන තව ද වදනක් නම් ‘කඩමාලු‘ යනු යි. මෙහි ද යෙදිය යුතු (දන්තජ) ‘ලු‘ යනු ම ය. මෙහි ‘මාලු‘ යන්නෙහි ද අරුත වනුයේ මහලු හෙවත් පැරැණි යනු යි. කඩ නම් රෙද්ද යි; රෙදි කඩ යි. කඩමාලු යනු මාලු (මහලු) කඩ (රෙද්ද) යනු ම ය.

‘උදළු‘ යනු ද නිතර ව්‍යවහාරයෙහි දැකිය හැකි ය. උදළු තල, උදළු පහර වැනි වදන් නිතර යොදනු ලැබේ. මෙහි දු නිවැරැදි වදන නම් (දන්තජ) ‘ලු‘ සහිත ‘උදැලු‘ යන්න යි. මේ වදන වර නැඟීමෙහි දී ‘උදැල්ල - උදැල්ලෙන් - උදැල්ලට‘ ආදි වශයෙන් යෙදේ. උච්චාරණයෙහි පහසුව පිණිස ඇතැමුන් ‘උදලු‘ යැ යි කියන නමුදු නිවැරැදි නාම ප්‍රකෘතිය වනුයේ ‘උදැලු‘ යන්න යි. මැද ‘ද‘ සමඟ ඇද ඇලපිල්ල යෙදෙන බව විශේෂයෙන් සැලැකිය යුතු ය.

උදලු යන්න හා අනුරූප වැ පාලියෙහි යෙදෙනුයේ ‘කුද්දාල‘ යනු යි. එහි දු (දන්තජ) ‘ල‘ ම යෙදෙනුයෙන් උදැලු යන්නෙහි ද ‘ලු‘ යෙදෙන බව වඩාත් තිර වේ.

මඬුළු යනු ද මෙ සේ ම බොහෝ දෙනකු යොදනු පෙනේ. මෙහි ද නිවැරැදි වනුයේ (දන්තජ) ‘ලු‘ සහිත මඬුලු යන්න ම ය. එ මෙන් ම මෙහි ‘ඬු‘ යන්නේ සඤ්ඤකය යෙදෙන බව ද විශේෂයෙන් සැලැකිය යුතු ය. මඬුලු යනු වර නැඟීමේ දී ‘ල්‘ ද්විත්ව වී ‘මඬුල්ල - මඬුල්ලෙන් - මඬුල්ලට‘ ආදි වශයෙන් යෙදේ. අග (දන්තජ) ලු යෙදෙන බව එයින් ද තිර වේ. සංස්කෘතයෙහි ද පාලියෙහි ද මේ හා අනුරූප වැ යෙදෙනුයේ මණ්ඩල යනු යි.

 

Comments