කොළඹට එන්න පාටක් ගන්න | සිළුමිණ

කොළඹට එන්න පාටක් ගන්න

 

කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවා රථවාහනවලට වර්ණ එකොළහකින් යුත් විශේෂ ස්ටිකර් වර්ග 11ක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලිස් රථවාහන ඒකකය විසින් කටයුතු කරන ලදී. මෙම විශේෂ ස්ටිකර් එකොළහ සංචරණ සීමා අවසන් වන තුරු වලංගු බවත්, එදින දක්වා පැමිණෙන සියලු රථ වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාවද එම ස්ටිකරයේ සටහන් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

 

ඒ අනුව කොළඹට ඇතුළු වන මීගමු මාර්ගය, අධිවේගී මාර්ගය, නුවර මාර්ගය, අවිස්සාවේල්ල පරණ පාර, කොලොන්නාව දෙමටගොඩ දෙසට ඇති මාර්ගය, බත්තරමුල්ල සිට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය, හයිලෙවල් මාර්ගය, පිළියන්දල මාර්ගය, ගාලු පාර සහ අනෙකුත් මාර්ග ආශ්‍රිතව මේ ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය පසුගිය 07 වැනිදා සිට ක්‍රියාත්මක විය. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව නොයෙකුත් අදහස් දක්වනු පෙනේ. එමනිසා අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (අධ්‍යක්ෂ - රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ) එච්.ඒ.කේ.ඒ. ඉන්දික හපුගොඩගෙන් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකරගෙන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවෙමු.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පාට අනුව විවිධ අත්‍යවශ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් මේ ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය පසුගිය දා ආරම්භ කළේය. ඒ අනුව කොළ වර්ණ ස්ටිකරයෙන් සෞඛ්‍ය සේවයත්, ළා නිල් වර්ණ ස්ටිකරයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවයත්, දම් වර්ණ ස්ටිකරයෙන් පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන්නනුත්, ළා දුඹුරු වර්ණයෙන් යුතු ස්ටිකරයෙන් ආනයන අපනයන නිෂ්පාදන, කර්මාන්ත ශාලා ක්ෂ‍ත්‍රයට අයත් පිරිත්, කහ වර්ණයෙන් අත්‍යවශ්‍ය සැපයුම් සේවා සපයන ආයතනත්, ළා රතු වර්ණයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමත්, තැඹිලි වර්ණයෙන් මාධ්‍ය සහ සන්නිවේදන ආයතනත්, සුදු වර්ණයෙන් විදේශගතවීම් සම්බන්ධ කටයුතුත්, කළු වර්ණයෙන් මානුෂීය හේතූන් (අවමංගල්‍ය සඳහා, වෛද්‍ය පරීක්‍ෂණ, ඖෂධ ගැනීම) සඳහාත්, අළු වර්ණයෙන් පිසූ ආහාර සහ ඩිලිවරි සේවා සපයන්නනුත් සහ රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරි සඳහා විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයකුත් හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී අඩුපාඩුකම් කිහිපයක්ද නිරීක්ෂණය විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව දැනුවත් කර තිබියදීත් 70,000ක පමණ රථවාහන සංඛ්‍යාවක් කොළඹට පැමිණ තිබුණි. එමනිසා වාහන තදබදයක්ද ඇති විය. පසුදා එලෙස ස්ටිකර ඇලවූ වාහන වැඩි පරික්ෂාවක් නොමැතිව මංතීරූ ඔස්සේ ධාවනය වීමට සලස්වාදී තිබුණි. එහිදී ත්‍රී-රෝද රථ, යතුරුපැදි සහ ලොරි රථ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රවාහනය සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ස්ටිකර් අලවා නොමැති රථවාහන සඳහා ස්ටිකර නැවත ඇලවීමද එහිදී සිදු විය. සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුව වන්නේ කෝවිඩ් වයිරස ව්‍යාප්තිය අවම කිරීම මිස සෑමදෙනාම ස්ටිකර් එකක් අලවාගෙන මාර්ගයට පිවිසීම නොවේ.

එනිසා මෙලෙස සියලු දෙනා තම වාහනය රැගෙන මාර්ගගත වීම පැමිණීම සුදුසු නොවේ. ඇතැම් පිරිසට තම නිවසට වී කටයුතු කිරීම අපහසු වී ඇත. එනිසා තම වාහනය රැගෙන මාර්ගයට පැමිණීමට ඔවුහු දැඩි උනන්දුවක් දක්වති. ඒ සඳහා කිසිදු ලෙසකින් අවස්ථාව හිමි නොවේ. එසේ වුවත් සානුකම්පිත හේතූන් මත යම් අයකුට එලෙස පිටවීම සඳහා අවසර ලබා දී තිබුණි. මන්ද ඇතැමුන් රෝහල් සඳහා යා යුතු බැවිණි. ස්ටිකර් එකක් නොමැති ව වුවද සත්‍ය කරුණු අනාවරණය කිරීමෙන් පසු ඒ සඳහා අවසර සලසා දෙයි. ආච්චි අම්මගේ බෙහෙත් තුන්ඩුව අරන් මුනුපුරා මෝටර් සයිකලයේ ගමන් කිරීම වැනි වංචනික ලෙස කටයුතු කරන්නන් නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට පියවර ගනු ලැබේ.

මහජනතාවට පැහැදිලි විය යුත්තේ සියලු පහසුකම් රජය විසින් සපයනු ලබන්නේ කොරෝනා රෝගය ව්‍යාප්තවීම අවම කරගැනීමේ අරමුණින් බවය. රෝගය ව්‍යාප්තවීමට දායක වන හා ඊට අනුබල දෙන පිරිස් කෙරෙහිද නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සිදු වනු ඇත.

මෑතකදී උපන්දින සාදයකට සහභාගි වූවන්ට එරෙහිව ක්‍රියා කළ ආකාරය ඇතැමුන්ට ප්‍රශ්නයක් වී තිබුණි. මෙවැනි තත්ත්වයක් තුළ 20ක්-30ක් පමණ එකතු වී සාදයක් පැවැත්වීමට කටයුතු කිරීම වැරදි පූර්වාදර්ශයක් සේම නීති විරෝධී කටයුත්තකි. එය එසේ වන්නේ ඒ අතරින් එක් අයකුට හෝ රෝගය වැලඳී තිබුණහොත් ඒ හරහා රෝගය පැතිර යා හැකි නිසාය. ඒ ඔස්සේ නව පොකුරක් නිර්මාණය වීමට අවස්ථාව සැලසෙන නිසාය. සමාජ මාධ්‍ය මඟින් ඒ සඳහා ක්‍රියාත්මක වූ ආකාරය විවේචනය කළ ද ඇත්තෙන්ම එය කළ යුතුම වූ දෙයකි. නැතිනම් මේ ක්‍රියාව අදාළ සමාජ මාධ්‍ය මඟින් ම ප්‍රචාරය වී වැරදි පූර්වාදර්ශයක් ඉන් ජනනය වී මුළු රටම විශාල අනතුරකට මුහුණ පෑමට ඉඩ තිබුණි.

මේ සියලු ක්‍රියාවන් සිදු කරමින් අප බලාපොරොත්තු වන්නේ කොරෝනා රෝගය පැතිරීම වළක්වා ඊට තිත තැබීමය. මේ කටයුත්ත සාර්ථ කර ගැනීම සඳහා මෙරට සියලු පුරවැසියන්ගේ සහය අත්‍යාවශ්‍යය. ඇත්තෙන්ම මෙය ඔබගේත් අපගේත් යුතු කම බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (අධ්‍යක්ෂ - රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ) එච්.ඒ.කේ.ඒ. ඉන්දික හපුගොඩ පැවසීය.

‘‘මෙලෙසින් හෝ අවස්ථාවක් ලබාදීම ගැන අප සතුටු වෙනවා. ඇත්තෙන්ම කොළඹ රථවාහන තදබදය හුඟක් වැඩි වන්නේ පාසල් ආරම්භ වී ඇති විටයි. ඒකට හේතුව තමයි පෞද්ගලික වාහනෙවලින් දරුවන් පාසලට රැගෙන ඒමට පෙලඹීම. එහෙම වුණාම දරුවන් දහදහකට විතර එක ගානේ වාහන පාරට එනවා.

එතනම වාහන දාහදාහක්. මේ දරුවන් ආරක්ෂිතව පොදු ප්‍රවාහන සේවයකට යොමු කළොත් මේ සංඛ්‍යාව දෙසීයකට විතර අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාහන නවදාහස් අටසීයක් පාරට එන එක අඩු වෙනවා. මං මෙහෙම කියන්නේ එදිනෙදා දැකල ගණන් හදල. මේ සංඛ්‍යාව මීටත් වඩා සෑහෙන්න වැඩි වෙන්න පුළුවන්.‘‘ එසේ බව අප සමඟ පවසා සිටියේ කොළඹ රාජ්‍ය ආයතනය සේවයේ නියුතු ලිපිකරුවෙකි. ඔහු පාසල් දිනවල සිය දියණියද රැඟෙන කොළඹට පැමිණෙන බවද පැවසීය.

‘‘ස්ටිකර් එක එක එක පාට නිසා පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ සේවා අවශ්‍යතාවය අනුව මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා දෙන්නත් පුළුවන්. මේක කොරෝනා කාලෙදි විතරක් නෙමෙයි ඊට පස්සෙත් ක්‍රියාත්මක කළොත් හොඳයි. පාසල් ආරම්භ කළාම ඒ අයටත් මේ විදියේ පාටක් දුන්නොත් මංතීරු අනුව ධාවනය කිරීම පහසු වේවි. ඕනම දේක අඩුපාඩු කම් තියෙනවා. ඒවා පේන්නේ ක්‍රියාත්මක කරනකොටයි. මං නම් හිතන්නේ මේ ක්‍රමය හොඳයි කියලා. ‘‘ එලෙස අප සමඟ අදහස් දැක් වූයේ රාජ්‍ය බැංකුවක කළමනාකාර සේවයේ නියුතු අයෙකි.

කොරෝනා වසංගත තත්ත්වය සමඟ පොදුවේ ඇති වූ විවිධ අපහසුතා එසේම තිබියදී,ඇතැම් කාර්යයන්ගේ අවිධිමත්භාවය නිසා බොහෝ පිරිස් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇත. මේ අය කිසියම් වර්ගී කරණයකට ලක් කළහොත් ඒ අය අතර මුල් තැනක් ගත් කණ්ඩායමක් වන්නේ වෘත්තිය ත්‍රී රෝද රථ රියදුරන් බව බව සමස්ත ලංකා ත්‍රීරෝදරථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි. ඔවුන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇත. ඒ බව මීට ප්‍රථමද මාධ්‍ය මඟින් දැනුවත් කර තිබුණද ඊට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැති බව ඔහුගේ අදහස විය. පසුගියදා හඳුන්වා දෙනු ලැබූ වර්ණ අනුව විවිධ සේවා සඳහා අවස්ථාව හිමිකර දීමේදී ද ත්‍රීරෝද රථ රියදුරන් ඔවුන්ට අමතක වූ බව පවසන හෙතෙම පුද්ගලික කාර් රථ හිමිකරුවකුට ලබාදී ඇති කුමන හෝ අයිතිවාසිකමක් ත්‍රී රෝද රථ හිමිකරුවකුට ලැබී නැති බවද පවසයි. ඔවුන්ට හයර් දිවීම තහනම්ය. එය පිළිගත හැකිය. එහෙත් ඔහුට ඇත්තේ ත්‍රී රෝද රථය පමණක් නම් තමන්ගේ අවශ්‍යතාවයකට ඉන් යා නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කරයි. එසේම පෞද්ගලික කාර් රථ ප්‍රවාහන සේවාව සඳහා ලබාදී ඇති ඉඩ ත්‍රී රෝද රථ රියදුරකුට ලබාදී නොමැති බව ඔහු පවසයි. ආදායම අහිමි වූවන් සඳහා ලබාදෙන රුපියල් 5,000ක දීමනාව ලබා‍ගැනීමට පවා විවිධ පුද්ගලයන් ළඟට ගොස් එය සනාථ කළ හැකි ලියවිලි ලබාදිය යුතුය බවත් ග්‍රාම නිලධාරීන් කොරෝනා සමයේ වඩාත් කාර්ය බහුල වී ඇති සමයක මෙය ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. එනිසා ආදායම අහිමි වූවන් සඳහා හිමිවන දීමනාවටද බොහෝ ත්‍රි රෝද රථ හිමිකරුවන්ට නොලැබේ. එසේම සුපිරි වෙළෙඳසල් මඟින් පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික ටැක්සි සේවාවන් සඳහා අවසර ලබාදී තිබුණද එම අවස්ථාවද වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන්ට අහිමිය. එනිසා කුමන සේවාවක් සඳහා වර්ණ ලබාදී තිබුණද ඉන් ත්‍රීරෝද රථ රියදුරන් නොසලකා හැර ඇති බව තම අදහස බව ඔහු පැවසීය.

 

 

සේයාරූ - රොෂාන් පිටිපන හා සුදත් මලවීර

Comments