කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ඔබට පුළු­වනි ද?

කළුම කළු වලා­කුළු කන්ද­කට
කොතෙක් කල් හැකි වේද
සිසි කිරණ සඟ­වන්න
ඒක­මනෙ මුල් වෙන්නෙ
එළිය තව වැඩි වෙන්න..

ඉරි තැළුණු රළු අහස
බිම හලන
මේ අනෝ­රා­වට හැකිද
අපෙ මතක හෝදන්න
සෝදත්දි අලුත් වෙයි
සේදෙන්න - සේදෙන්න...

ගව්ව­කින් අඩක් ඇති -
ඕනෙ නම්
දුර වෙනස අපි ඉන්න
ඒත් අව­සර නෑනෙ
ඒ ඩිංග ඇවි­දින්න
හිතුනෙ නෑ ඒ කාලෙ
දුරත් - කාල­යත් ගැන
මේ තරම් වෙහෙ­සෙන්න..

මං හරිම කැම­ති­යිනෙ
මහ වැස්සෙ ඇවි­දින්න
වැහි වතුර උද­ව්වක්
උණු කඳුුළු සඟ­වන්න
මොකට ඕනෑ වුණිද
(අපිම විත­රක් දන්න)
මත­ක­යට සමු­දෙන්න
අසෙනි මල­කට වඩා
දිගු කලක් ළඟ ඉන්න
අකුණු පුපු­රණ හිතට
බැරිද සැන­සුම වෙන්න...

(ඉඩක් ඇත්තෙම නැද්ද
නිකං ඇවි­දින් යන්න)

හේමන්ත ස්වර්ණ­ති­ලක

***********************

දා ගිය වන පෙත


නන්ද කුම­රුන් දුටු
නව­දැලි හේන සෙය
දා ගිය වන පෙතකි
මා ගිය එමඟ අස
මාතලී අම­තන තුරු
මට මා අම­තක ව ගිය..

වලා­කුළු විය­මන
නිල් අහස් සිතු­වම
අස­ල්වැසි කඳු පෙළ
බලා සිටිය දි නිහ­ඬව
විටින් විට විත් එහි බැස
අලුත් ගෙන යයි සැඩ නල.

කාගෙ කව­ර­කු­ගේදැ'යි
කිව නො හැකි නිසැ­කව
අස්ථි ප‍ඤ්ඤර­යකි ඔබ
තුරු බඳකි ඉන් මොබ..

එ'හැර අන් කිසි­වක
අතී­තය ශේෂ ව නැති
මෙ'බිම අමු සොහො­නකි
මළ යකුන් ගැව­සෙන
එදා ඉසි­ඹු­වට ආ ගිය
කිසි­ව­කුගෙ බැල්මක් නැති..

පණ ගන්ව­මින රිය
සන් කරද්දී මාතලී මට
පලා යන්නට මඟ හැර
බෑ කියයි දෙන­යන
දැවුණු තුරු බඳක පාමුල
ළද­ල්ලක් දැක හිනැ­හෙන

රංජිත් මල්ලි­යා­වඩු

***********************

ගැහැ­නිය සහ උළු­කැ­ටය

තරු පිරූණ අහස
ඇහැ පුරා රස­වි­ඳ­ගනු පිණිස
උළු කැට­යක් වී නම් මැන­වැයි කියා
දිනක් මට සිතිණ
සිතූ සැණින් එසේ විය

පස­ළො­ස්වක සඳ එළි­යෙන් නැහැවී
මහත් ප්‍රමෝ­ද­යෙන් හුන් මම
එක් මිනි­හෙක් ගෙවැට යටින්
කබ­ර­ගො­යකු සේ බඩගා විත්
මගෙ අඹුව හුර­තල් කරනු පෙණීන!

උළු මෝලක නැති ගින්නක්
මසිත එක­වර පහළ විය
නමුත් එහි වූ රම­ණීය විලස නිසා
නිවී ගිය කෝපා­ග්නිය ඇති මට
ඇගෙ නිමිත්ත බවට පත්වී­මට
කුටිළ සිතක් ඇති විය

හත්ව­ලාමේ එය එසේ ම විය
නමුත් ටික දින­කින්
මේ අමුතු ගොර­තර දෛවය ගැන
පිරි­හුණු ආසා ඇතියේ
කිතුල් මලක් සේ
ප්‍රීති­යෙන් පිබිද සිටින
සළෙල පුඟුළා වනු රිසි­වු­ණෙමි
ඇන්නෑ­වයි එය එසේ ම විය

එතැන් පටන් රෑට රෑට
ගම පුරා ඇවිද මී වද රස­ක­රන
මධුර දිවි­යක් මට හිමි­විණ
නොමිලේ ම ඩෝප්විය හැකි
මඟු­ල්ගෙ­යක අසි­රිය ඇතිව
කල දවස ටිප් ටොප් ලෙස ගත­විය

නමුත් එක් රැයක පොට වැරදී
මලකෑ දෑකැ­ත්තක හෙව­ණැ­ල්ලක්
මා මත වැටු­ණෙන්
මඩෙන් ගොඩ ලෑ මඩ­ක­රි­යෙකු මෙන්
මර­භී­ති­යෙන් වෙව්ලා ගිය මම
කොර ගහ­මින් ආපසු දිවැ­විත්
යළි උළු­කැ­ට­යක් ම වුණිමි.

මොහො­ත­කින් සඳ
ආපි තනි­යට
රන් තැටිය පුරවා සිනා­වෙන්

උද­යංග අම­ර­සේ­කර

***********************

හැර යා නොහැක


ඇස ලා බැලූ­වත් පෙනු­ම­කට නෑ ඉඩක්
අත ගා බැලූ­වත් අත්ල­කට නෑ වගක්
හඬ ගා කියූ­වත් වැට­හෙන්නෙ නෑ නමක්
මට බෑ කියූ­වත් , නුඹ ය අම්මා තවත්...

වඩලා තුරුල්ලේ ගයලා ගී සින්දූ
නළවා තොටිල්ලේ සුව සිහින ම කැන්දූ
විඳලා සියලු දුක් පිරි­පත ලොව බැන්දූ
රිදවා ගත්තු හද­වත කොතැ­නද හැංගූ...

හඬලා කෑ ගසා දුක ලොවට කීවද
හැරලා යන්න මේ ලෙස ගමන් ආවද
සිඹලා මුහුණ සමු දී යන්නෙ කොහො­මද
මැනලා නොදුන් කිරි ඇත තවම ලේවල

කාශ්‍යප සත්‍ය­ප්‍රිය ද සිල්වා

***********************

එක­මත් එක රටක


කෙනෙ­කුගෙ
ගුණ සුවඳ
අන් අයට
බොරු­වට හෝ
දැනෙන්න පටන්
ගන්නෙ ඔහු
මියැ­දුණු විටය...?

අනුර ශාන්ත පීරිස්

***********************

 

පරිස්සමින් නුඹ

අයිවෝ චිරන්ත ප්‍රනාන්දු
නුරා තැවරුණු හීන් නෙත් යුග
දිහා බැලෙනව ඉබේටම මට
කියාගන්නට දෙයක් සිත ඇත
ඒත් සිත දොර වසාගෙන ඇත

මන්දහාසය නඟායන සඳ
ඇඳී වියැකෙයි රහස් මඳහස
සිනා පොපියන කතා නොකරන
සිතේ හැංගෙයි මලක් විකසිත

සරාගී නෙත නොපෙන්වා ඉඳ
යකුන් රකුසන් ඉඳී තැනතැන
සිහිවිකල්වී එකෙක් නුඹ දැක
නටයි යකුබලි මතින් ගේ ළඟ.

අයිවෝ චිරන්ත ප්‍රනාන්දු

***********************

ගුරු ගීතය

යළිත් කියවූ පසු


කිර්ගී­සයේ... දුර ඈත මිටි­යා­වතේ
අදත් ඉඳ­හිට ඇහෙ­නවා ඇති
අපේ වියළී ගිය සුසුම් රාවේ
නුඹව පෙනෙනා මානයේ
එදා වාගෙම අදත්
නුඹේ දුයි­ෂෙන් ඉන්නවා නංගියේ..
.
පිපෙ­න්නට ඉඩ නොදී සැඟවී
ජීවිතේ මඩ ගොහො­රුවේ
ඉතිරි වී තිබු කැකුළු මල­කට
පිණි­බි­ඳක් විය ස්නේහයේ...
හිතේ ගැඹු­රුම තැනක සිරවී
නුඹ නමින් දලු ලිය­ලනා
රිදෙන නොරි­දෙන හැඟී­මක් වෙයි
ප්‍රේම­යද මට නොහැ­ඟෙනා...

ඒ. ඩී. එස්. ඉන්ද්‍රානි

***********************

ඇස් බැන්දුම

සේද මීදුම් පටල අතරේ
වැටෙන පිණි බිඳු හරි හැඩයි
නමුදු තෙමෙන්න මට බයයි
කොමළ දිය­රැළි බුබුළු අතරේ
ගලන ගංදිය පිය­ක­රුයි
කිමි­දෙන්න මගෙ හිත බයයි..

සඳේ සිසිල විඳ සැනසී
අමා­ව­කට කිම පෙම් බැන්දේ
හස­රැ­ල්ලෙන් සැර­සුණු මුව
කඳු­ළු­ව­ලින් ඇයි නෙතු පිරුණේ..

අපි එදා දුටුව සිහි­න­යම ද මේ
හද දුකින් පෙළෙන කඳු­ළක අරුමේ
රැයේ අඳුර දැක බිය වී
ගන­ඳු­ර­ටම ඇයි පෙම් බැන්දේ
මිලි­නව යන බව දැන දැන
මල් සුව­ඳට ඇයි හිත බැඳුණේ...

හිත එපා කිව්ව සිහි­න­යම ද මේ
අද කඩා හැළෙන කඳු­ළක අරුමේ
නිදි වරා මැව්ව සිහි­න­යම ද මේ
හද දුකින් පෙළෙන සුසු­මක අරුමේ..

රංජිත් සිසි­ර­කු­මාර සූරි­ය­ආ­රච්චි

***********************

බිම්මල

අර­ටු­වක් ඇව­සියි කියා පිපී හිනැ­හෙන
කේඩෑරී පා බඩ කඳ සිරස දරා සිටින
රොන් ගන්නට නුඹ සොය සොයා පැමිණි
සම­නලයෝ දන්න­වාද මමයි බිම්මල පිපෙන...

දහ­සක් පැතු­මන් කියා­ග­න්නට වෙර දරන
ඉඩ කඩ දෙන­වාද සව­නත සම­ණ­ළ­යාණ
ගිරි සිරස තුඩු මත ගී කියා නිබඳ හින­හෙන
සම­නලයෝ අසා­පන් මමයි බිම්මල පිපෙන..

මැදි­යම් රැයේ සිට හින­හෙ­මින් ඇහැරී පිපෙන
සැණෙ­කින් දින ගණන තප්ප­ර­යෙන් ගෙවෙන
හෙටක් නැති මගෙ ළඟම ඇයිද නුඹ මෙහි සරන
සම­නලයෝ අසා­පන් මමයි බිම්මල පිපෙන..

අරු­ණෝ­දයේ නුඹ මෙහි මා වෙත පැමිණ
සොයන්නේ මක­රන්ද පරා­ග­න­යට සැනිණ
දන්න­වාද මා කිසි­දින මල්වර නොවෙන
සම­නලයෝ අසා­පන් මමයි බිම්මල පිපෙන..

ධනං­ජය බණ්ඩාර

***********************

ප්‍රාර්ථනා...

යළිත් තව එක් වරක් මේ බවයේ
වරම් ලැබු­ණත් ස්වයං­ව­ර­යක
ඒත් ඒ නුඹ­මයි...!

වැටුම් නැඟි­ටුම් කොතෙක් වුවද
ආද­රෙන් එක් වෙලා
එකට විය­පත් වෙන්න ආසයි
නුඹ ළඟම රැඳෙ­මින්...

නොගිය මං බෝමයි
ගිරි දුර්ග වේ තවම පාමුල
හිඳ, ඉහළ බල­මින්...

සර­න්නට ඒ සියලු මං පෙත්
නඟි­න්නට ඒ කඳු සිකර හැම
නුඹේ වාරු­ව­මයි
සොයන්නේ නිතැ­තින්...

ඉහළ කඳු හිස නැඟී දව­සක
ලියමු අපි ගැන වලා­කුළු මත
රැඳී ගිරි හිස බලමි ආ මඟ
ඒ ඔබේ දෙනෙ­තින්...

යළිත් තව එක් වරක් මේ බවයේ
වරම් ලැබු­ණත් ස්වයං­ව­ර­යක
ඒත් ඒ නුඹ­මයි...!!

කුමු­දිනී වේලා­රත්න

***********************

එක්ස්ප්‍රස් පර්ල්

මරා­ගෙන මැරෙන බවට
නැවට තිබු­ණා­වත්ද
සාග­රය සමඟ
ගිවි­සු­මක්

ඒ. ඒ බඳු­ර්නිශා

***********************

පුතුණි මා ගෙන යන්න

(නිමිත්ත: මඩ­මෙන් තමා ගෙන යන්නැයි මවක පුතු­ගෙන ඉල්ලයි)

මිටි කර හොඳින් දුක පාගා තබා හිත පතු­ලින්
හුස්මක් ගෙන උණු­සු­මෙන්, වියළා කඳුළු ආ දෙනෙ­තින්
පෙරළා වියළි පපු­වෙන් පිට කර සුසුම් යහ­මින්
හැඬුවා හිත හුඟක් හයි­යෙන් දොර වැසූදා හොර රහ­සින්
මමත් අම්මෙක්....

පුතේ නුඹෙ දෙම­හල් නිවසේ
පාත මාලයෙ ඉන්න බැරි­වුණ කරුණ
නොදැන ගිය සුළු­දිය මය කරුම
අකැප වුණ එළි­යට දමා දොර වැසුණ...

ඉව­සාන ඉන්න දැන් හැකිය මට
බොන්නෑ වතුර ඒ තර­මට
නොහලා කන්න කියලා දුන්නා බත් ඇට
ඇවි­දිනු අසී­රුයි යන්නෑ කාම­රෙන් පිට
සඳක් සේ පෙනු­නාට මඩ­මෙත් ආවාට
නුඹෙ ගෙදර රස­මයි බෙදනා පලා වුව මට...

ආසා ම හින්දාම කීවාට ගෙනි­යන්න
පුතේ හිස කැක්කු­මට හොඳද මන්දා පින්න
ආද­රෙන් පිරි­මැ­දුව කන කරා­ඹුද ඔන්න
කොට්ටෙ යට ,ඇති දෝණිට තමයි ලස්සන...

පපුව රිදු­නට හඳට කිය­ලාම කත­න්දර
මයෙ පුතේ නුඹෙ සිනා සුවයි හද අබ­තුර
කරට අතදා හිරුට ඇවිත් දොර අද්දර
අනේ වර­කට ගෙන­යන් මාව
නුඹෙ හුස්ම සුවඳ තමයි මට කප්තුර...

සෞම්‍ය ලලිත් කලු­බෝ­විල

***********************

 

ප්‍රේමය

සිතක් සුව­පත් කරනා
බලා­පො­රොත්තු දල්වනා
සොමි කැලුම් විහි­දනා
නිමල හැඟු­මක් වෙනා...

තනි­කම පර­දනා
සිත් දැහැන් බිඳිනා
නෙත්ව­ලින් දැන­වෙනා
නිමල හැඟු­මක් වෙනා...

ලොවක් හැඩ­ක­රනා
දෙසි­තක් හමු­වෙනා
ගීතිකා ගැයෙනා
නිමල හැඟු­මක් වෙනා...

බී. පවිත්‍රා අංජලී ලීලා­රත්න

***********************

 

මල් උයනේ ඉඳ ලියූ කව

පොඩි පිහිය අර­ගෙන
මල් ගස්වල මැරුණු අතු
කපා දැමු­වෙමි උදෙන් ම...
මැරෙන්න ළං වුණ
අනෙක් අතු ඉති ද
කැපු­වෙමි පසුව...

රෝස පඳු­රක
රතු පාට මලක්
නො තේරෙන බස­කින්
සිහින් හඬ­කින්
කුමක් දෝ කීය හෙමි­හිට...
මල් පෙති­වල
පිනි කඳුළු තව­මත්...

ජය­සේ­කර මල­වි­ආ­රච්චි

***********************

තුරු­ලතා

එක ගසක එතෙන්නේ එක වැලක් පම­ණක් ද
වන වියන දස­නු­දෙස කොයි තරම් වැල් ඇත්ද
සිය දහස් ලිය මඬුලු නෙක වරුණ මල් පිබිද
වන වදුල රුවින් බබළන අරුම නොසි­තේද...

එකම වැල­කට වඩා තම ගතේ වෙළුනාම
අක­මැ­තියි කියන එක ගසක් ඔබ දුටුවා ද
වැල් සියක් ගත වෙළී කිටි කිටිය දැනු­නාම
තුරු සිරස මල් පිපෙයි, පල දරයි සතු‍ටේම....

මල් පිපී පල දරන - පල නැතත් මල් පිපෙන
නේක වැල් සිනාසේ වැල් මී ද රස කිඳ ද
මල් පිපුණු පසු අහක දැමිය හැකි කොයි වැලද
මල් නොපිපි වැල් ළදැරි වත කොතෙක් මන් මඳද....

ගසක් නැති වැලක් මහ පොළොව මත වැති­රිලා
නොයෙක් නින්දා කඳුළු හද ගැබේ පුර­වලා
කොතෙක් කල් සිටි­න්නද තවත් මග බල බලා
එකක් නොව සියක් වැල් සිඹින් තුරු ගත වෙලා...

එක වැලක් ගසින් ගස වෙළි වෙළී සොඳු­රු­මය
වැල් සියක් එක ගසක එති එතී මියු­රු­මය
තුරු වදුලු ලිය මඬුලු පිරි ළපලු එලෙ­ස­මය
ලිය ලවන තුරු ළමැද සිඹින පෙම අමො­ද­මය...

විපුල හේවා වලි­මුනි

***********************

මගේ ආත්මය ගංගා­වක් මෙනි
මම ගංගා හැඳින ඇත්තෙමි
මම ලෝකය තරම්ම ඉපැ­රණි ගංගා දැන-හැඳින ඇත්තෙමි
මිනිස් නහ­ර­වල රුධිර ප්‍රවා­හ­යට වඩා ඒවා ඉපැ­රණි ය.
මගේ ආත්මය ගංගා මෙන් ගැඹු­රට වැඩී ඇත.
මම යුප්‍ර­ටී­ස්වල ස්නානය කළේ තරුණ වියේදී ය,
මම කොංගෝව අසල මගේ පැල්පත ඉදි කළෙමි,
එය මට නිදි සුවය ලැබ දුණි,
මම නයිල් ගඟ දෙස බලා පිර­මීඩ ඉහ­ළට ඔසවා තැබු­වෙමි,
ඒබ්‍ර­හම් ලින්කන්, නිව් ඕර්ලි­යන්ස් වෙත යන විට මිසි­සිපි ගාය­නය මට ඇසිණි.
එහි මඩ සහිත ළය මඬල හිරු බැස යත්ම රන්වන් පැහැ­යට හැරෙනු මම දුටු­වෙමි.
මම ගංගා හැඳින ඇත්තෙමි :
ඉපැ­රණි, අඳුරු ගංගා .. !!!
මගේ ආත්මය ගංගා මෙන් ගැඹු­රින් වැඩී ඇත.

ලැන්ස්ටන් හියුස් Langston Hughes

ඇමෙරිකානු කළු ජාතික ලැන්ස්ටන් හියුස් (Langston Hughes 1902 - 1967) ප්‍රකට නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විශිෂ්ටගණයේ කවි‍ෙයකි, තීරු - ලිපි රචකයෙකි. ඔහු විසින් රචිත සාහිත්‍යය කෘතීන් බොහොමයක් වේ. ■

මෙය කවියා විසින් රචිත The Negro Speaks of River නැමැති කාව්‍යයේ පූර්ණ සිංහල පරිවර්තනය යි.

පරිවර්තනය - ඇතිපොළ මංගල හිමි

 

-----------------------

කෘතිය - අස්පර්ශනීයන් වෙත

කර්තෘ - කුසල් ධනංජය කුරුවිට

පිටු - 116 මිල රුපියල් 350

සන්ථව ප්‍රකාශනයකි

අස්පර්ශනීයන් වෙත කුසල් ධනංජය කුරුවිටගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ පෙමක් මනිනා මානයක් ය. එය නිකුත් කර ඇත්තේ 2016 වසරේය.

ඔහුගේ ඇතැම් නිර්මාණ කෙටිය මේ කෙටි නිර්මාණ අතරින් හමුවන නිර්මාණ වචන හරඹයන් වුවද එහි ඇත්තක් ඇත. මේ සමාජය පිළිබඳ දැක්මක් විවිරණයක් ඇත.

අයිස්ක්‍රීම් බිම වැටෙයි

ඇගේ සිනහව

දියවී යයි

අයිස්ක්‍රීම් බිම වැටෙන්නේ එය උණුසුම් පරිසරයට නිරාවරණය වූ විටය. එය ශීතකරණයක් තුළම තිබූණේ නම් දියවන්නේ නැත. ගැහැනියද සමාජය සම ගැටිමේදී ඇගේ සතුට ඇති වනවයා මෙන්ම, මුවේ සිනහව නැගෙනවා මෙන්ම ඒ සමාජය තුළ දී අත් විදින්නට සිදුවන අනේක විද අත්දැකිම් හමුවේ ඒ සිනහව සතුට වියැකී යයි. කුසල් කියන්නට උත්සාහ දරන්නේ දහමය.

අතීතය සුන්දරය. ඒත් ඒ ගෙවුණ අතීතය තුළ බොහෝ අසුන්දර භීතිය දනවන කතා ගොන්නක් ඇත. ලේ පාරවල් එවන් කතා ගොන්නක්, දිවයිනේ එක්තරා යුග කිහිපයක දිගහැරුමක් වැනිය. දේශපාලන කාල වකවානුවක අඳුරු යුග සිහිපත් කරවයි. මෙහි සඳහන් වන ඝාතන දෙක යුග දෙකක් නියෝජනය කරන්නේය. තරුණ අරගල, විප්ලව, යුද්ධය, භිෂණය ආදි වූ නොපනත් ක්‍රියාවන්ට මතු පරපුරට, ළමයින්ට, තරුණයන්ට එක­් නොවන්න යැයි කවියා කරන ඉල්ලිමක් වැනිය. මාතෘකාව ලේ පාරවල්.

මඟතොටදී පාරවල් ගැන ඇහුවම

ලේ පාරවල් මතක් වෙන

බොහෝ තැන් මේ රටේ තියෙනවා

වැඩිහිටියෙක් කියයි

“ඉස්සරහින් වමට

රංජන් විජේරත්නට

බෝම්බෙ ගහපු තැන“

තව අයෙකු

“ආ ඔය කියන්නේ

විජේට වෙඩි තියපු තැන“

පාරවල් වල ගලපු ලේ

හැම හිතකම ගැල්විලා

ඒ වැඩිහිටියෝ අදටත් බයවෙලා

තමන්ගේ දරුවන්ට බණිනවා

“ඔය පාරේ යන්නෙපා

ලේ පාරේ යන්නෙපා“

කෙනෙකු විවාහ නොවී සිටින්ට ඔහුට දහසක් හේතූ තිබෙන්නට පුළුවන. ඒ හේතූ දහසක් අතර “තේරීම“ ප්‍රධාන වන්නට පුළුවන. කුමක් හෝ හේතුවක් නිසා අවිවාහකව සිටියද ඒ හිතේ පුංචිම තිතත් ලෙස විවාහය ගැන පැතුමක් තිබෙන්නට ඇතැයි සිතෙන්නේ අවිවාහකයන් සමඟ කතා කිරීමේදීය. කාටත් නොපෙනෙන්න අදත් මංගල යෝජනා තීරයන් බලන අය අපිට මේ සමාජය තුළදී හමු වේ. මේ එවැන්නක් සිහිගන්නවන්නකි.

මාතෘකාව අවිවාහකයකුගේ දිනපොතින්.

මංගල දැන්වීම් කියවා

හිනා වූ බත් එතූ

කාලයක් ද විය මට

කුසපිරෙන්නට අහර නැති වුවද, ජීවිතේ දහසකුත් ප්‍රශ්න තිබුණ ද අප නොවරදවාම හැන්දෑවට රූපවාහිනිය ඉදිරියේ වාඩිවේ. එවිට සියලු ප්‍රශ්න මොහොතට අමතක වේ. දැනුම මෙන්න ලෝකයේ තොරතුරු ද විනෝදය සතුට පමණක් නොව නළු නිළියන්ගේ සුකුරුත්තන් දදකින්නේ රූපවාහිනිය ඉදිරියේදීය. අද වන විට මිනිසාගේ ජීවිතයේ සියලු සිතුම් පැතුම් තීරණය කරන්නේ මාධ්‍ය යැයි කියා සිතේ. එක අතකින් මෙය අපේ බංකොලොත්භාවය යැයිද සිතේ. කුසල් මේ අපට නොකියා කියන්නේ එවන් කතාවකි.

මේ රූපවාහිනිය නරඹන

සන්ධ්‍යා යාමය යි

ඒඩ්ස් වලටත් බෙහෙත් සොයාගත් පුවතක්

ඇමරිකාව සියල්ල බලාගනී වැනී හැඟීමක්

වෙළෙයි ප්‍රේක්ෂක සිතක්

ගාසා තීරයේ; සිරියාවේ වර්ග ඝාතන ගැන

දුක්මුසු මුහුණින්කියූ නිවේදීකාව ම

කියයි යළි ප්‍රීතිමත් පුවතක්

ඉතින් අප දැන් සිනා සිය යුතුයි

අදත් උද්ඝෝෂණ; ගංවතුර;

සිතෙයි නැද්ද හොඳ සෝප් ඔපෙරාවක්

ඒ අතර ගිහින් එයි මොහොතකට

අනුග්‍රාහක බවතෙකුගේ පණිවුඩයක්

කියයි ලොව පූරා රුවැත්තියන්

නොකියනා රහසක්

බොහෝ කතා කෙටි කරමින් කුසල් ධනංජය කුරුවිට කවියා අස්පර්ශනියන් වෙත කාව්‍ය සංග්‍රහයේදී පාඨකයාට කියන්නට වෙර දරන දේ බොහෝය.

 

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල
[email protected]

Comments