Backward නොවන ජපානයේ Butterfly ආච්චි | Page 2 | සිළුමිණ

Backward නොවන ජපානයේ Butterfly ආච්චි

 

ඇය ඉන්නේ ජපානයේ ය. ඈ ඇගේ කෙහෙරැලි සුළඟින් අවුල් වන්නට ඉඩ නොදෙන්නේ සමනලයන්ගේ හැඩයෙන් යුත් කොණ්ඩා කටුවලිනි. ඒවා දුසිමකට වැඩි ප්‍රමාණයක් ඈ හිසේ ගසා ගෙන සිටින්නී ය. මේ සමනලයන්ගේ හැඩැති කොණ්ඩා කටු විශේෂිත පෙනුමෙන් යුතු සහ විවිධ වර්ණයන්ගෙන් සමන්විත ය. ඇගේ ඇඳුමේ හා මේසපන්දු උපකරණ රැගෙන යන ආවරණය, තමන්ගේ රෝද පුටුව, ගමන් මල්ල ආදි සියලු උපකරණ මත අලවා අලංකාර කර ඇත්තේ සමනලයන්ගේ පියාපත් පෙනුම දෙන ස්ටීකර්වලිනි. වෙනකක් තබා ඇගේ නිය මත දිලිසුම් දෙමින් ඇඳ ඇත්තේ ද කුඩා සමනලයන් ය.

දැන් ඇගේ වයස අවුරුදු හැත්තෑ තුනකි. ඈ පැරාලිම්පික් පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන කිමී බෙෂෝ ය. ලෝකය ඈ හඳුන්වන්නේ ‘සමනල නෝනා’ යන අර්ථය දෙන “The Butterfly Lady” වශයෙනි.

ඈ මේසපන්දු ක්‍රීඩාවේදී යොදා ගන්නා පිංපොං බෝලයට පහර දෙමින් එය ප්‍රතිවාදී තරගකරුවා වෙත යොමු කරන්නේ ඔහු යම් පමණකට අන්දමන්ද කරමිනි.

කිමි බෙෂෝගේ අද වයස අවුරුදු හැත්තෑ තුනකි. ඈ මේ වන විට රෝද පුටු මේසපන්දු ක්‍රීඩිකාවකි. ඈ විශ්වාස කරන්නේ මෙම ග්‍රීෂ්ම සෘතුව තුළ ඇයට නැවත වරක් ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි කියා ය. එහෙත් ඒ සඳහා ඈ තවමත් එන්නත්කරණය තුළින් පිළිසරණක් ලබා ගෙන නැත.

‘මම දන්නෙ නෑ ග්‍රීෂ්ම කාලයේ මට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. නමුත් මට පැරාලිම්පික්වලට සුදුසුකම් ලබා ගන්න සොල්වේනියාවල පැවැත්වෙන තරගාවලියකට යන්න සිද්ධ වෙලා තිබෙනවා.’ මේ අතර එන්නත් ලබා නොගෙන රටකට යන්නට සිදුවීම සම්බන්ධයෙන් ඈ තුළ ඇත්තේ සැකයකි.

‘හැබැයි මට කොවිඩ්වලින් නම් මැරෙන්න උවමනා නෑ.’ බෙෂො සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත. ‘යම් විදිහකින් මම මැරෙනවා නම්, මට උවමනා තරගයක දී ඒක කරන්න අවශ්‍ය වෙන්නේ සුවිශාල ජයග්‍රහණයක් අත්පත් කරගත්තාට පසුව සිදුකරන්නයි.’ ඈ කියන්නීය.

‘කොහොමටත් මට එපා වෙච්ච මරණයක් අත්කර ගන්න උවමනාවක් නෑ. මගේ මිතුරෝ කියනවා මම මැරුණු දවසකට මගේ දෙණ පිපොං පන්දුවලින් පුරවන්නම් කියලා.’ ඈ කියන්නේ සිනාසෙමිනි.

ඈ හිරෝෂිමා නුවර කන්දක් මුදුනේ පිහිටා තිබූ තමන්ගේ පවුලට අයත් නිවෙසේ ජීවිතය ආරම්භ කළේ අට දෙනෙකුගෙන් යුතු පවුලේ සාමාජිකයකු ලෙසය.

ඈ පාසල් ගියේ දුෂ්කර කඳු බෑවුම් තරණය කරමින් දිනපතා පයින් ගමන් ගනිමින් හා වේගයෙන් එසේ පාසල වෙත හැල්මේ දිව යමිනි. ඒ අනුව තරුණ වියේ මලල ක්‍රීඩාවටත්, වොලිබෝල් වැනි ක්‍රීඩාවන්ටත් ඈ නැඹුරු වූයේ නිතැතිනි.

මේ සියලු දේ වෙනස් වන්නට වූයේ තිස් අට වැනි වියට එළැඹුණු පසුව ය. බෙෂෝගේ ස්වාමිපුරුෂයා අසනීප වී හදිසියේ මිය ගියේ ය. එය බෙෂෝ තුළ ඇති කළේ මහා කම්පනයකි. කාලයක් ගෙවී යද්දී ඇ තවත් අභාග්‍යයකට මුහුණ දුන්නා ය. ඒ ඇගේ උකුළ සහ පාද හිරි වැටී නොබෝ කලකින්ම ඔත්පල භාවයට පත්වීමත් සමගය.

බොෂෝ පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව සොයාගනු ලැබිණි. ඒ තත්ත්වයෙන් මිදීම පිණිස වහා සැත්කමක් සිදු කළ යුතු විය. එම සැත්පිකමේදී ළිකාවේ අර්බුදකාරී ප්‍රදාහය ඉවත් කෙරිණි. එසැණින් බෙෂෝට තවත් කර්මයකට මුහුණ දෙන්නට සිදුවූයේ ඇවිදීමේ හැකියාව අහිමිව ගිලන් ඇඳට වැටීමත් සමඟ ය. වෛද්‍යවරු තවත් වසර තුනකට වඩා ජිවත් වනු නැතැයි අවසන තීරණය කළහ.

‘ඒ කාලේ මට උවමනා වුණේ ජීවිතය අවසන් කර ගන්න. ඒ සමයේ මට උවමනා කිසි දෙයක් කිරීමට මට පුළුවන්කමක් තිබුණේ නෑ.’ ඈ පවසන්නේ එහෙයිනි.

අංශභාගය නැත හොත් පක්ෂගාත රෝගී භාවයට නතු වීම යනු ඇගේ ක්‍රියාශීලී ජීවිතයට එරෙහිව සිදු වූ මරු පහරක් විණි. ඈ රෝද පුටුව මතට වැටුණේ එලෙසනි. එහෙත් රෝද පුටුවේ වාඩි වී සිටිය ද ඇයට දැඩි වේදනාවක් දැනෙන්නට ගත වූයේ සුළු කාලයක් පමණි. මේ වේදනාව සමඟ ඈ තමන්ගේ රෝගී තත්ත්වය අභිමුව නොසැලී සිටින්නට උත්සාහ කළා ය. බෝෂෝ ස්වාධීන වීමට ගන්නා ලද ප්‍රයත්නය දැඩි වන්නට වූයේ ඊට අනුරූපීව ය. ඒ සඳහා පාසල් යන්නට පටන් ගත්තේ රෝද පුටුවක වාඩි වී, එය හසුරුවන්නේ කෙසේද යන්න ගැන උගෙනීමට ය. ආබාධිතයන් රෝද පුටු හසුරුවන්නේ කෙසේ දැයි ඈ එමගින් ඈ උගත්තා ය.

මේ අතර වාරයේ ඇගේ පාසල පිහිටි ස්ථානයට සමීපව අපූරු ගෘහස්ථ ක්‍රීඩාංගණයක් හා කායවර්ධනාගාරයක් ඈ දුටුවා ය. ‘එතැනදී තමයි මට පැරාලිම්පික් ක්‍රීඩාව ගැන දැනගන්න ලැබුණා. ඒක මට විශාල පිබිදවීමක් ගොඩනැංවූ තොරතුරක් වුණා.’ ඈ අද අතීතය ගැන සිහිපත් කරමින් පවසන්නේ එ‍ලෙසිනි.

එම උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඈ මේසපන්දු ක්‍රීඩාව ගැන ඉගෙනීමට ඉටා ගත්තා ය. ඒ ආබාධිත තත්ත්වයෙන් මිදීමට මේසපන්දු ක්‍රීඩාව කදිම පිළිසරණක් සපයන බවට ඇති වූ විශ්වාසය සමඟ ය. ආබාධිතව පක්ෂගාත රෝගියකුව ඇවිදීමට නොහැකිව සිටි බෙෂෝ අවුරුදු හතළිස් පහක් වද්දී යළි ක්‍රීඩා කිරීමට පටන් ගත්තා ය. ඈ පැරාලිම්පික් තරගාවලියට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 56 ක් විය. ‘මම ආබාධිතයෙක් වුණා තමයි. ඒත් රෝද පුටු මේසපන්දුව ක්‍රීඩාව කියන්නේ මට සුවිශාල ත්‍යාගයක් හැටියටයි මම දකින්නේ.’ ඈ පවසන්නී ය.

ඇගේ සිව් වැනි පැරාලිම්පික් තරගාවලියේ දී බෙෂෝ තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නා ය. ඒ ඈ දරුණු රිය අනතුරු දෙකකට ලක්වීමෙනි. පළමුව ඈ නගරයෙන් පිටතට ගමන් ගනිමින් සිටියදී අනතුරකට ලක්විය. දෙවැනි අනතුර සිදුවුණේ ට්‍රක් රථයක් හා ඇගේ මෝටර් රථය ගැටීම සමඟ ය. එම අනතුර හේතුවෙන් මාස හතක් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලැබූවාය.

මේ සියලු අනතුරු මැද වුවද ඈ තමන්ගේ සිහිනය හඹා යෑම අමතක කර දමන්නට සූදානම් වූයේ නැත.

‘මට බොහෝම අසීරු කාල හමු වෙලා තිබුණා. මම ඒ හැම දෙයක්ම ඉදිරියේ නැඟිට්ටා. ඒ නිසා මම විශ්වාස කළා මේ ගමනත් මම නැඟී සිටිය යුතුමයි කියලා.’ බෙෂෝ පවසන්නී ය.

මේ අතර කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට බෙෂෝ නම් කරන්නේ පූර්ව ආරක්ෂාව තහවුරු කර ගැනීමේ ක්‍රියාකාරකම්වල නියැලීමය. ඇය ඒ වෙනුවෙන් අවශ්‍ය විෂබීජ මර්දන ක්‍රියාවලියේ නිරත වන්නේ උමතුවෙන් මෙනි.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ඈ තමන්ගේ සිරුරේ උණුසුම කොයි ආකාරයෙන් පැවතියේ ද යන්න ගැන වාර්තාවක් තබා ගනී. පුහුණු වීම් සඳහා එළිමහනට ගොස් පැමිණි පසු සිරුරේ උණුසුම මැන බලා සටහන් තබා ගන්නට ඈ අමතක නොකරයි. එසේම තමන් නිවසින් පරිබාහිරව ගත කළ සමයේ මුණගැසුණු පුද්ගලයන් සම්බන්ධයෙන් ද වාර්තාවක් තබා ගන්නීය.

එලෙසම ඈ දින තුනකට අවශ්‍ය ඇඳුම් පැලඳුම් දමා සූදානම් කළ ගමන් මල්ලක් නිවසේ ඉදිරිපස කොටසේ තබා ඇත්තේ හදිසි රෝහල් ගතවීමකට අවශ්‍ය වුවහොත් ගැනීමට ය.

‘මම දන්නෙ නෑ ඔලිම්පික් තරගාවලිය පවත්වාවිද නැද්ද කියලා. මොකද කොවිඩ් තත්ත්වය දිනෙන් දින බැරෑරුම් වෙනවා. නමුත් මම හිතන්නේ මට කරන්න පුළුවන් දෙයක් කරනවා කියන එක පමණයි. සටන් කිරීමේ හැකියාව තවමත් මා තුළ ඉතිරි වෙලා තිබෙනවා. මට කොයිතරම් වයස වුණත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසා මම තවමත් තරුණ ක්‍රීඩකයන්ව පරාජය කරනවා.’ ඈ පවසන්නේ සමනලයා යනු සියුමැලි සත්ත්වයකු වුවද මෙම සමනල ගැහැනිය බිඳ නොවැටෙන ශක්තිමත් තැනැත්තියක බව ප්‍රකාශ කරමිනි.

කාන්ති ජයසිංහ

Comments