සමාජ මාධ්‍යයේ මහේල සංගා වගේ වෙන්න ගිහින් ඇන ගන්න එපා | සිළුමිණ

සමාජ මාධ්‍යයේ මහේල සංගා වගේ වෙන්න ගිහින් ඇන ගන්න එපා

 

 

ඔහු රංගන හේරත් ය. ලෝකයේ හොඳම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ ද ඔහු ය. ක්‍රීඩාවෙන් සමු ගත් පසු පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්නට සුදුසුකම් සම්පූර්ණ කළ ඔහුගේ ජීවිතය ක්‍රමවත් හා ප්‍රිය උපදවන ගමන් තාලයකින් යුක්ත ය. ඇතුගල සෙවණෙන් පැමිණ රට දිනා ලෝකය ද දිනා ගත් යෝධ සෙවණැල්ලකට වැසී සිට දීර්ඝ කාලයක් අඛණ්ඩව තමන්ගේ අවස්ථාව හිමි වන තුරු තමන් හා අරගල කළ ඔහු මෙවර ‘ක්‍රීඩා’ සල්ලාපයට එක් වූයේ ය. එසේ ඔහු මෙම සල්ලාපයට තෝරා ගැනීමට ප්‍රමුඛම හේතුව වූයේ බංග්ලාදේශයේ පුහුණුකාර ධුරයකට ඔහු අයැදුම් කර තිබීමත්, දේශීය පුහුණුකරුවන් සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ගොඩනැඟී ඇති සංවාදයත් ය.

 

දැන් හරියට අන්තර්ජාල සාකච්ඡාවල නිරත වෙනවා කියලා ආරංචියි? බංග්ලාදේශය එක්ක ද සාකච්ඡා කළේ?

නෑ. ඒක බංග්ලාදේශය සමඟ තිබුණු සාකච්ඡාවක් නොවෙයි. මම මගේ ක්‍රීඩා සමාජය වුණු ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය එක්ක පවත්වපු සාකච්ඡාවක්.

දැන්, බංග්ලාදේශය එක්ක සාකච්ඡාවලට මොකද වුණේ ?

ඔව්. මම හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර දඟ පන්දු පුහුණුකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒක මේ සංවාදය වෙන මොහොත දක්වාම සිද්ධ වෙමින් තිබුණු එකක්. මම එතැනදී කිව්වේ පූර්ණ කාලීන දඟ පන්දු පුහුණුකරුවකුට වඩා කෙටි කාලයකට පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්න එකඟයි කියලා. මම දන්නේ නෑ එතැන ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා.

ඔවුන් දැන් ඔබ වෙනුවට වෙනත් පුහුණුකරුවකුට කැමැත්ත පළ කරලා තිබෙනවා කියලා ආරංචියක් තියෙනවා?

වෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සීමාවේ තියෙන තත්ත්වයක් නෙවෙයිනෙ. ඒක ඔවුන් තමයි තීරණය කළ යුත්තේ. මම අදාළ තනතුරට එන්න හැකි ආකාරය ගැන කිව්වා. ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් සලකලා ඒ ගැන තීරණයක් ගන්න උවමනායි.

සමහරු කිව්වේ රංගන බංග්ලාදේශයට මේ වෙලාවේ දාපු ඇතැම් කොන්දේසි බර වැඩියි කියලයි. මොකද ඔබ හිතන්නේ?

මම මගේ පැත්තෙන් කොන්දේසි ඉදිරිපත් කළා. ඒකට ඔවුන් දක්වන ප්‍රතිචාර අනුව තමයි මම බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරුවාගේ භූමිකාවට පණ පොවන්නේ. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ තීරණය මගෙන් පරිබාහිර දෙයක් නිසා මට ඒ ගැන හිතන්න දෙයක් නෑ.

ඔබ දැන් පුහුණුකාරිත්වය බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලයකට කියලා ආරංචි වුණා. රටක් තමන්ගේ කණ්ඩායමට පුහුණුකරුවෙක් සොයද්දී කෙටි කාලීනව එවැනි වගකීමක් දෙන්න කැමැති වෙන එකක් නෑ නේද? ඔබට ඒක හිතුණේ නැද්ද?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තමයි මගේ කොන්දේසි මාලාව. ඒකෙ මගේ කොන්ත්‍රාත් කාලය, ගෙවීම්, මම දායකත්වය දක්වන්න බලාපොරොත්තු වෙන ආකාරය වගේ හැම දෙයක්ම සටහන් වෙනවා. නමුත් ඔබ අහපු විදිහට මම කෙටි කාලීනව ඒ තැනට ගියාට මගේ වගකීම් ඉටු කරන්න පුළුවන් නම් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. මොකද අද ලෝකයේ දීර්ඝ කාලීන පුහුණුකරුවන්ට වඩා කෙටි කාලීන පුහුණුකරුවෝ සම්බන්ධ කර ගන්නවා. ඔවුන්ට කියන්නේ උපදේශක පුහුණුකරුවන් කියලයි. ඒ නිසා ඒක අලුත් සංසිද්ධියක් නොවෙයි.

ක්‍රිකට ගැහුවා කියලා විශ්‍රාම ගිය ගමන් පුහුණුකරුවකු වෙන්න පුළුවන්ද?

මම ක්‍රිකට් ගහපු පලියට පුහුණුකරුවෙක් වුණේ නෑ. අනෙක ලෝකයේ පිළිගත්තු ක්‍රිකට් පුහුණුකරුවෙක් වෙන්න ක්‍රමයක් තිබෙනවා. එතැනදී මම අදියර තුන දක්වා පුහුණුවක් ලබා ගත්තා. ඒ නිසා ලෝකය පිළිගන්න පුහුණුකරුවකු වෙන්න අවශ්‍ය කුසලතා මම උපයාගෙන තිබෙනවා. අන්න ඒ නිසයි මම අහසෙන් වැටුණු පුහුණුකරුවෙක් නොවෙන්නේ.

ඔබ කෙටි කාලීන පුහුණුකරුවෙකු වෙන්න උත්සාහ ගන්නේ ගෙදරින් පිට දීර්ඝ කාලයක් ඉන්න අකැමැති නිසා ද?

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් මම දීර්ඝ කාලයක් පවුලෙන් ඈත්වෙලා සිටියා. රැකියාව කරන සම්පත් බැංකුවෙන් පවා මට රටට ක්‍රීඩා කරන්න නිදහස ලබා දීලා තිබුණා. ක්‍රිකට්වලින් සමු ගෙන ටික කාලයක් ගත වෙනවාත් එක්ක මම මේ පවුල් හා සේවා ස්ථාන වගකීම් වගේම සමාජ යුතුකම්වලින් ඈත් වෙලා යන්න ගියොත් ඒක අසීරුයි. ඒ නිසා එවැනි කෙටි කාලීන පුහුණු වගකීමක්යි ගන්න ඒකත් එක හේතුවක්. ඒ නිසයි මම උපදේශක පුහුණුකරුවෙක් ලෙස කෙටි කාලයකට පුහුණු කොන්ත්‍රාත්තුවකට කැමැත්ත පළ කරමින් ඉන්නේ.

දැන් ඔබ කොයි තරම් රට ඇතුළේ සහ ලෝකයේ ජනප්‍රිය වුණත් ඔබට ඔබව නැති වුණේ නෑනෙ. නමුත් වර්තමාන ක්‍රීඩකයන් අතර බොහෝ දෙනෙක් තුළ අප දකින දෙයක් තමයි ඔවුන්ට දැන් ඔවුනුත් නැතිවෙලා කියන කාරණය. මොකක්ද මේකට හේතුව?

මෙහෙමයි. අපි හැම වෙලාවෙම අපිව නැති කරගන්න හොඳ නෑ. කොයි තරම් කඩුලු ආවත්, කණ්ඩායම තුළ ස්ථාවර වුණත්, රටේ ජනප්‍රියම ක්‍රීඩකයෙක් වුණත්, ජාත්‍යන්තරයේ දස්කම් උපරිම තලයට ගෙනාවත් අපිට අපි ඉන්න ඕනෑ. උදාහරණයකට කුරුණෑගලින් ආපු රංගන හේරත්ට ඒ ඇතුගලේ සුළං පහර වැදුණු, උණුහුම, සීතල දැනුණු අපේ රටේ මිනිස්සුන්ගේ දහදිය සුවඳ හැඳිනූ මානසික ස්වභාවය රැක ගන්න වෙනවා. මට සමාජ පිළිගැනීම, ලෝක පිළිගැනීමට වඩා මම මගේ රටට කරන දේ මට වැදගත්. මම පුංචි කාලේ මට මගේ අම්මයි, තාත්තයි කිව්වේ රටට වැඩදායී මිනිහෙක් වෙන්න කියලා. ඊට පස්සේ තවත් අය ඇසුරු කරද් දී එය වඩ වඩාත් තහවුරු වුණු අත්දැකීමක් වුණා. ඉතින් ඒ නිසා රටට දෙයක් කරන්න සැදී පැහැදී ඉන්න පුරුදු වුණු ක්‍රීඩකයෙක් වශයෙන් මට හැම වෙලාවෙම රංගන හේරත්ට වැඩිය ඉදිරියෙන් තිබුණේ ශ්‍රී ලංකාව කියන මගේ රටයි. මම කියන්නේ හැම ක්‍රීඩකයෙක්ම ඒ දේ වර්ධනය කර ගත යුතුයි.

ක්‍රිකට් ගහද්දී මුදල් ලැබෙනවා, පිළිගැනීම් ලැබෙනවා, විවිධ සැප සම්පත් සොයාගන්නත් හැකි වෙනවා.මේ තත්ත්වය ඉදිරියේ ඇත්තටම ඔබට ගිනි කණ වැටුණේ නැද්ද?

නෑ. මම කවුද කියන එක මම හැම වෙලාවේම දැනගෙන හිටියා. මම ආවේ කොතැනින්ද කියන එක මට හොඳට මතක තිබුණා. මම සන්නාම තානාපතිවරයෙක් වුණේ මගේ රට නියෝජනය කරමින් කියන එක මම ඒත්තු අරගෙනයි වැඩ කළේ. ඉතින් මට ගිනි කණ වැටෙන්න හේතුවක් නෑ.

ඔබ ක්‍රීඩා කළ ක්‍රිකට් සහ අද ක්‍රීඩා කරන ක්‍රිකට් අතර ඇති පරතරය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. දැන් ලෝකයේ විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරම් මුදල් ගලනය වන ක්‍රීඩාවක් නැති තරම්. ඉන්දියාව තමයි එහි ජනප්‍රියම විස්සයි විස්ස ලීග් තරගාවලිය පවත්වන්නේ. එයින් ඔවුන් ක්‍රීඩාවේ උපක්‍රමික පාර්ශ්වයෙන් උපයා ගන්නා දේ බොහෝමයි. ඔබ කොහොමද මේ තත්ත්වය ගැන දකින්නේ?

ඔව්. අද ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගවත් වෙලා තිබෙනවා. අද විස්සයි විස්ස ලීග් තරග ඇතුළුව බොහෝ ආරාධිත තරග සංවිධානය වෙනවා. ඒත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන මම වැරැද්දක් කියන්නේ නෑ. මොකද එතැනින් හොඳ ක්‍රීඩකයන් නිර්මාණය වන නිසා. හැබැයි මම දකින්නේ ඉන්දියාවේ හොඳම ක්‍රීඩකයෝ බිහි වෙන්නේ ඔවුන්ගේ දේශීය තරගාවලියේ ඇති ගුණාත්මක භාවය නිසයි. ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් වඩා පහසුවෙන් අධ්‍යයනය කරන්න අයි.පී.එල්. යොදාගන්නවා ඇති. ඒත් ඉන්දියාවට අවශ්‍ය සැබෑ දක්ෂයන් තෝරා ගන්නේ ඔවුන් සතු ශක්තිමත්ම දේශීය ක්‍රිකට් යාන්ත්‍රණයට පින් සිදු වන්නයි. මම එක උදාහරණයක් කියන්නම්. දැන් බලන්න රවිචන්ද්‍ර අෂ්වින් දිහා. ඔහු තමයි ඔවුන්ගේ පළමු දඟ පන්දු යවන්නා. ඔහු ටෙස්ට් පිටියේ කඩුලු දවා ගැනීමේදී පවත්වාගෙන යන සාමාන්‍යයි, දේශීය තරගවලදී පවත්වාගෙන යන සාමාන්‍යයි අතර විශාල පරතරයක් තියෙනවා. ඔහු ජාත්‍යන්තර පිටියේදී පවත්වාගෙන යන කඩුල්ලකට ලබා දෙන ලකුණු සාමාන්‍යයට වඩා වැඩියි දේශීය පිටියේ කඩුල්ලක් වෙනුවෙන් ලබා දෙන ලකුණු ප්‍රමාණය. එයින්ම කියැවෙනවා ඉන්දියාවේ ඉන්න පිතිකරුවන් ජාත්‍යන්තරයේ ඉන්න බොහොමයක් පිතිකරුවන්ට වඩා අෂ්වින්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරනවා කියන කාරණය. ඉතින් අපි මේ දේශීය තරගකාරිත්වය ගැන වැඩිපුරම විශ්වාසය තැබිය යුතුයි.

දැන් අපිට ඔය කියන දේශීය තරගාවලි ව්‍යූහය නැහැ නේද?

ඒක තමයි ගැටලුව වී ඇත්තේ. සුපිරිම ක්‍රීඩකයන්ට නිර්මාණය වෙන්න අවශ්‍ය ආකාරයේ දේශීය ක්‍රිකට් තරග ව්‍යූහයක් පැවැතිය යුතුයි. ඉස්සර ක්‍රිඩා සමාජ 12 ක් ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරද්දී අද එය දෙගුණයකටත් වැඩි වෙලා තිබෙනවා. එහෙම වුණේ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ. ඇත්තටම එයින් සිදුවුණේ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය පිරිහී යන එකයි. ඒ නිසා මම කියන්නේ මෙම තත්ත්වය වහා වෙනස් කළ යුතු බවයි. එය මම පමණක් නොවෙයි මේ රටේ ක්‍රිකට් ගැන ආදරයක් තියෙන හැම දෙනෙක්ම කියන කාරණයක් ඒක.

ඒ විදිහට ප්‍රමුඛ පෙළ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි වීමත් එක්ක පාසල්වලින් එළියට එන බහුතරයක් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් උදා වීම ක්‍රිකට් වැඩි දියුණුවට හේතුවක් කියලා ඇතැමුන් පවසනවානෙ?

හැම දෙනෙකුටම විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒත් ඒක අපි යථාර්ථවාදී ද කියලා සොයා බැලිය යුතුයි. දැන් ඔය කණ්ඩායම් 12 ක් තියෙන කාලේ ක්‍රීඩකයන්ගේ දස්කම් වගේම කණ්ඩායම් වැඩි කළාට පස්සේ ක්‍රීඩකයන් දක්වන දස්කම්, ජාතික කණ්ඩායමක් ලෙස අපි ලබපු ජයග්‍රහණ අතීතයේ තත්ත්වය එක්ක සංසන්දනය කරලා බලන්නකො. එතකොට පිළිතුර ඔබටම හමුවේවි.

නායකත්දැවය නොලැබුණාම ක්න්‍රීඩාවෙන් සමුගන්න ක්‍රීඩකයෝ අද බිහිවෙලා තියෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොම ද?

නායකත්වය කියන්නේ දක්ෂතාවයක්. ඒක හැමෝ තුළම පහළ වන්නේ නෑ. නායකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ කීප දෙනෙකුට විතරයි. නායකයාගේ හැසිරීම් මත තමයි කණ්ඩායමක විනය ගොඩනැඟෙන්නේ. ඒක අපි පළමුව තේරුම් ගත යුතුයි. ඒත් අපිට නායකත්වයට වඩා වැදගත් වන්නේ රටක ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණාම එහිදී තමන්ට හිමි වුණු ගෞරවය ආරක්ෂා කර ගැනීම කියන කාරණයයි. අපේ රටේ කෝටි 2.25 ක විතර ජනතාවක් ඉන්නවා. ඒ අතරින් හැමෝටම ජාතික පිලට එකතු වෙන්න අවස්ථාවක් හිමි වන්නේ නෑ. ඒ ලැබුණු දුර්ලබ අවස්ථාවෙන් ප්‍රතිඵල ලබා ගන්න එක තමන්ගේ වැඩක්. එතැන දී නායකත්වය හරි වෙන දෙයක් ගැන හරි නොසිතිය යුතුයි. ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගල විනය ඉදිරියට අරං වැඩ කරනවා නම් ඔබ ඔය කියන ආකාරයේ ගැටුම් ඇති වන්නේ නැහැ. ඒ වගේම කණ්ඩායමේ සංයුතියේ වෙනස්කම් කරද්දී අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නිවැරැදිව කළමනාකරණය කළ යුතුයි.

වැටිලා තියෙන තැනින් ක්‍රිකට් ගොඩ ගන්න නම් ක්ෂණිකව සිදු කළ යුත්තේ කුමක් කියලා ද ඔබ යෝජනා කරන්නේ?

කණ්ඩායමක් වැටිලා තියෙනවා නම් එතැනින් ගොඩ ගන්න නම් අපි මුලින්ම ඔවුන් දිරි ගැන්විය යුතුයි. එවිට අපේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ගොඩනැඟෙනවා කියලයි මම හිතන්නේ. එතකොට ක්‍රීඩකයන්ට ඇති වන්නේ කමිටුව ගැන ලොකු විශ්වාසයක්. රට ඇතුළේ ක්‍රිකට් ව්‍යූහයක් හදන්න හොඳම කමිටුව තමයි දැන් ඇවිත් ඉන්නේ. ඒ නිසා මම කියන්නේ අපි හැමෝම නම්‍යශීලිව යම් තැනකට ඇවිත් මේ ගැටලුවලින් මිදිලා ක්‍රීඩාව නැංවිය යුතුයි.

නමුත් මේ වන විට ක්‍රීඩකයෝ තමන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් කර ගන්න බැරිව ක්‍රිකට් ආයතනය සමඟ කඹ අදිමින් ඉන්නවා. ඔබ මේ තත්ත්වය කොහොමද දකින්නේ?

අපි හැමෝම නම්‍යශීලි විය යුතුයි. ඒ වගේම අපේ ක්‍රීඩකයන්ගේ ස්ථාන බලලා, ඔවුන් නිසා රටේ ක්‍රීඩාවට ලැබෙන දේවල් ගැන සිතිය යුතු වෙනවා. අනිත් අතට පසුගිය සමයේ ගෙවීම් සිදු කළ ආකාරය ගැන සලකලා අදාළ කොන්ත්‍රාත්තු ගැන තීරණයක් ගත යුතුයි. ඒ වගේම අපේ 32 -33 ක්‍රීඩකයන් ඈතින් තියනවා නම් සෙසු ක්‍රීඩකයන් තුළ අවිනිශ්චිත භාවයක් ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බවයි මම හිතන්නේ. අනෙක අපේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් බොහොමයක් දැන් රස්සාවක් වශයෙන් කරන්නේ ක්‍රිකට් ගහන එක විතරයි. ඉතින් ඒ නිසා ඔවුන්ට සාධාරණ වැටුපක් ලබා දිය යුතුයි කියායි මම හිතන්නේ.

දැන් පූර්ණ කාලීනව ක්‍රිකට් ගහනවා නම් වෙනත් රැකියාවක් නොකරනවානම් ඒකේ සාර්ථක වෙන එක ක්‍රීඩකයන්ගේ යුතුකමනෙ. කොන්ත්‍රාත් ගන්න නම් තමන්ගේ වගකීම් ඉටු කරලා ඉන්න ඕනෑ නැද්ද?

ඔව්. ඒක ඔවුන් සතු වගකීමක්. තමන්ගේ තැන හදාගන්න එක, වැඩිදියුණු කර ගන්න එක, වගකීම් සහගත වෙන එක තමන්ගේ කටයුත්තක්. ඒකට මහන්සි වෙන්න ඕනෑ. මුරලි උදාහරණයකට ගන්න, දැල් පුහුණුවට ඉස්සෙල්ලත් පන්දු යවනවා. ඔහු දැල් පුහුණුවේදීත් පන්දු යවනවා. ඊට පස්සේ දැල් පුහුණුව ඉවර වෙලාත් පන්දු යවනවා. සංගක්කාරත් එහෙමයි. අතර මැදදිත් ඇවිත් පිතිහරඹය පුහුණු වෙනවා. ඒක ඇතැම් වෙලාවට පුහුණුකරුවන්ට කරදරයක්. ඒත් ඒකේ සාර්ථකත්වය හම්බ වෙන්නේ ඔවුන්ට නිසා හැම විටම ඔවුන් එවැනි පුහුණුවකට සහය දෙනවා. අපේ දැන් ක්‍රීඩකයනුත් එය තේරු ම්ගෙන කටයුතු කළ යුතුයි. එතකොට වැටුප් ප්‍රශ්න නිර්මාණය වන්නේ නෑ.

සමාජ ජාලාවල හැසිරීමත් එක්ක අවුල් වෙන ක්‍රීඩකයෝ තමයි දැන් වැඩියෙන්ම ඉන්නේ. ඇතැමුන් උත්සාහ කරන්නේ සමාජ ප්‍රශ්නවල දී ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම් හරි ට්විටර් හරි වෙන යම් සමාජ මාධ්‍යයක හරි බලපෑම් සහගත චරිතයක් වෙන්න. ඒක නිකං සංගක්කාර හෝ මහේල වගේ වෙන්න ගන්න උත්සාහයක් වගේ කියායි අපිට පෙනෙන්නේ. ඔබ මේ ගැන මොකද හිතන්නේ?

සංගක්කාරලා මහේලලා ටෙස්ට් හා එක්දින දෙකේම ලොකු ලකුණු ගණනක් ගහපු අය. ඔවුන් සමාජ ජාලා ඇතුළේ බලපෑම් සහගත වෙන්න ඉස්සර පිට්ටනියේ මැද්දේ අනිත් අයට කතා කරන්න දෙයක් ඉතිරි කරලා ගිය අය. ඉතින් කවුරු හරි සමාජ ජාලා භාවිතයෙන් මහේලලා, සංගක්කාරලා වෙන්න හදනවානම් ඊට ඉස්සර පිට්ටනියේදී තමන් ඔවුන් හා සම අසුන් ගන්න හැකි ආකාරයට දක්ෂතා දැක්විය යුතුයි කියන තැනයි මම ඉන්නේ.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments