මැරඩෝනාගේ මතකය සමඟ මෙසීලා පිටියට | Page 2 | සිළුමිණ

මැරඩෝනාගේ මතකය සමඟ මෙසීලා පිටියට

 

 ‘දියාගෝ මැරඩෝනාගේ මරණයෙන් මාස කීපයකට පසු මුල් වරට ඔහුගේ රුව මුද්‍රණය කළ ටී ෂර්ටයක් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් සම්පූර්ණය කිරීමේ තරග වෙනුවෙන් සහභාගි වීමට ආර්ජන්ටිනාව කටයුතු කර ඇත. මේ ඒ ගැන ය.’

සැන්ටියාගෝ හි Madre de Ciudades ක්‍රීඩාංගණය ඉදිරිපිට බිමේ දියාගෝ මැරඩෝනාගේ පිළිරුවක් ඉදි කර චිලී රාජ්‍යයත් සමඟ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගයකට ඔවුන් සහභාගි වී තිබුණේ සුපිරි ආර්ජන්ටිනා පාපන්දු වීරයා වන දියාගෝ මැරඩෝනා පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා මිය ගියාට පසු පළමු වතාවට ය. මැරඩෝනා තමන්ගේ ඉණේ දෑත් තබා ගෙන පාපන්දුව දෙපා අසල රුවා ගනිමින් ඉදිරිය බලා සිටින ආකාරය දැක්වෙන අයුරින් ඔහුගේ රුව අඹා තිබුණි.

මෙම පිළිරුව විවෘත කරන අවස්ථාවේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වීමට ආර්ජන්විනාවේ පාපන්දු ක්‍රීඩකයන්ට අවස්ථාව උදා වී තිබුණි.

මේ අවස්ථාවේ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් හැඳ සිටි මැරඩෝනාගේ රුව සහිත ටී ෂර්ටයේ සටහන්ව තිබුණේ ඔහු උපන් 1960 වසරත්, එය රටේ සදාකාලික උරුමයක් බව දැක්වෙන ආකාරයට '1960-∞' සටහනත් ය.

මේ මැරඩෝනාගේ පිළිරුව විවෘත වන විට ඔහුගේ මරණය සම්බන්ධයෙන් ආර්ජන්ටිනාව තුළ පර්යේෂණයක් ද ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. එහි දී අදාළ වෛද්‍ය කණ්ඩායම් නිසි පරිදි අවධානයෙන් කටයුතු නොකළ බවත් ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු වී නැති බවටත් දැඩි චෝදනාවන් එල්ල වී ඇත. එසේ සඳහන් කරමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඝාතන චෝදනා එල්ල කිරීමට ද පර්යේෂකයන් විසින් කටයුතු කර තිබේ. අපි පසුගිය සතියක එම ප්‍රවෘත්තිය ‘ක්‍රීඩා’ පාඨක ඔබ වෙත රැගෙන ආවෙමු.

“අපි දන්නවා මැරඩෝනා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව පීඩා විඳි තැනැත්තෙක් කියලා. එහෙම ඉඳිද්දීම තමයි ඔහු මරණයට ටික දවසකට පෙර මොළයේ සැත්කමකට භාජනය වෙන්නේ.“

මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම සොයාගෙන තිබෙන්නේ ඔහු තම මරණයට පැය දොළහක කාලයකට පෙර දැඩි වේදනාවකින් හා සංතාපයකින් පසුව ඇති බවයි. ඔහුට සිදුකළ සැත්කම ප්‍රමාණවත් ආකාරයෙන් වගකීමෙන් යුතුව සිදුකර නැතැයි ද පර්යේෂක කණ්ඩායම මේ වන විට පවසා ඇත.

‘ඔහු නැතිව අපි ක්‍රීඩා කළ පළමු තරගය මේ. ඒ තරගය කොයි තරම් වැදගත් ද කියලා අපි දන්නවා. ඔහු ජාතික කණ්ඩායමෙන් අපේක්ෂා කළේ මොකක් ද කියලත් අපි දන්නවා. වර්තමානයේ ඔහු සිටියා නම් කියලත් අපි කල්පනා කරනවා.’ වර්තමාන සුපිරි පාපන්දු වීරයා වන ලියොනල් මෙසී පවසා තිබේ.

මේ වන විට ආර්ජන්ටිනාව ලෝක ශූරතා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ දී දකුණු අමෙරිකානු රටවල් අතරින් සිටින්නේ බ්‍රසීලයට පිටුපසිනි. Madre de Ciudades ක්‍රීඩාංගණයේ තිස් දහසක ප්‍රේක්ෂයනට සජීවී ව තරගය නැරඹීමේ හැකියාව තිබේ. මැරඩෝනාගේ පිළිරුව තනා ඇත්තේ එම ක්‍රීඩාංගණය අසල ය.

මෙම ක්‍රීඩාංගණයේ කෝපා අමෙරිකා පාපන්දු තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පසුව ආර්ජන්ටිනාව තුළ කොවිඩ් හිස එසැවීම ශීඝ්‍ර වීමත් සමඟ එම තරගාවලිය බ්‍රසීලයේ පැවැත්වීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබිණි.

කාන්ති ජයසිංහ

Comments