මානව සුව සම්පත වඩන ක්‍රීඩාව | සිළුමිණ

මානව සුව සම්පත වඩන ක්‍රීඩාව

 

'ක්‍රීඩාව පෙරපාසල් අධ්‍යාපනයට රැගෙන ආ යුත්තේ ඇයි දැයි අපි පසුගිය සතියේ දී සාකච්ඡා කළෙමු. එසේම අධ්‍යාපනය මඟින් රටක සෞඛ්‍ය, ආධ්‍යාත්මික ශක්තිය ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩාව යනු කදිම උත්තෝලකයකි. එය එම තත්ත්වයට පත්කර ගත හැක්කේ කෙසේ ද? මේ එහි සැකැස්ම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් සිදුකරන පැහැදිලි කිරීමකි.'

උසස් පෙළ විෂය ධාරාව යටතේ ද මෙම ඛණ්ඩනය යටතේ ඇති විෂයන් කුමන ආකාරයකින් සම්බන්ධතාවක් ඇතිව හැදෑරීම සඳහාත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබී ඇත. නමුත් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය තෝරා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම අවස්ථා හිමි නොවේ. ඒ නිසා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය සඳහා එවැනි අවස්ථා නොතිබීමත්, එම විෂය ඛණ්ඩනය යටතේ ඇති අනෙක් විෂයන් සමාජයේ වඩාත් ජනප්‍රිය විෂයන් සමඟ තෝරා ගැනීමට සිදුවීමත් මඟින්, ජීවිතයේ අත්‍යවශ්‍ය විෂයක දැනුම ලබා ගැනීමට වඩා, ජනප්‍රිය විෂයක් වෙත දරුවන්ගේ අවධානය යොමු වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ නිසා මෙම විෂය ඛණ්ඩනය යම් ආකාරයක සංශෝධනයක් සිදු කිරීම මඟින් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය වෙනුවෙන් පාසල් දරුවන්ගේ අවධානය යොමු කිරීමට අවස්ථාවක් ඇත.

තවමත් උසස් පෙළ විෂය ධාරාව සඳහා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය හෝ ක්‍රීඩා පිළිබඳ අධ්‍යාපනය ලබා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාවක් නොමැති ය. නමුත් උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වීමේදී ශාරීරික අධ්‍යාපනය වෙනුවෙන් උපාධි පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලාවන් මේ වන විට ක්‍රියාත්මකව පවතී. ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන විද්‍යාර්ථීන් හට ශාරීරික අධ්‍යාපනය, ක්‍රීඩා කළමනාකරණය, ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා සහ විශ්‍රාන්ති කළමනාකරණය යන අංශයන් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය නිර්මාණය වී ඇත.

මීට අමතරව පෞද්ගලික සහ රාජ්‍ය මැදිහත් වීම් මත විවිධ ආකාරයෙන් පාඨමාලා මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එහි ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබීම සඳහන් කළ යුතු යුතු ය. එහි උච්චතම අවස්ථාව ලෙස මේ වන විටත් පළාත් මට්ටමින් ද ක්‍රීඩා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කර පවත්වා ගෙන යෑම සඳහන් කළ යුතු ය. ඒ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය හැදෑරීම සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයකුට රටේ කුමන පළාතක හෝ සිට ක්‍රීඩා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා ගැනීම අසීරු කාර්යයක් නොවේ. එම සහතික ලබා ගැනීමෙන් අනතුරුව බොහෝ පිරිස් ඒ ඒ ක්‍ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීමේ උනන්දුවක් ද වර්තමාන ලාංකේය ක්‍රීඩා පරිසරය තුළ දක්නට ඇත.

නමුත් මෙහි දී සිදු ව ඇති බරපතළ තත්ත්වය වන්නේ පාසල් අධ්‍යාපනය මඟින් ඉතා කෙටි දැනුමක් ලබා ගත් පුද්ගලයා නැවතත් ක්‍රීඩා අධ්‍යාපනය වෙත යොමු වීම අතර පවතින හිඩැස සහ ඒ සඳහා ඇතිව පවතින හිස් අවකාශය ක්‍රීඩා වෙනුවෙන් දැනුම සොයා යන්නෙකුට ඉමහත් පාඩුවක් වීම ය.

විශේෂයෙන් පාසල් අධ්‍යාපන කටයුතු මනාව ඉටු කර ගැනීමට දරුවාගේ කායික, මානසික සහ ශාරීරික සුවතාව බෙහෙවින් වැදගත් ය. ඒ වෙනුවෙන් පන්ති කාමරය තුළ දරුවාගේ ක්‍රියාශීලි බව ඇති කිරීමට, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කිරීම අත්‍යවශ්‍ය බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. ඒ තුළින් දරුවාගේ අලස බව නැති වීම, ඉගැන්වීම් කටයුතුවලදී ළමයාගේ අවධානය ලබා ගැනීමට, උද්‍යෝගි බව ඇති කිරීමට, දිනපතා පැමිණීම, අරමුණු කරා යොමු කර වීම, වැනි ගුණාංගයන් ගොඩනැංවීමට හැකියාව පවතී.

ඒ සඳහා පදනම සැකසී ඇත්තේ ශාරීරික අධ්‍යාපනය තුළින් බවත් පර්යේෂකයන් ගේ මතය යි . ඒ ඔස්සේ වර්තමානය වන විට ක්‍රීඩා අධ්‍යාපනය බහු විෂයික ක්ෂේත්‍රයන්ගෙන් පෝෂණය වෙමින් වර්ධනය වී ඇත. ඒ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය, අනෙකුත් විෂයන් සමඟ ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයකි. පසු කාලීනව ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා කළමනාකරණය, ක්‍රීඩා සහ විශ්‍රාන්ති, ක්‍රීඩා සහ තාක්‍ෂණ, යනා දී ලෙස ක්‍ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ ක්‍රීඩා අධ්‍යාපන වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වීම දක්වා වන දිගුවක් පවතී.

එහෙයින් ක්‍රීඩාවටම ආවේණික වූ වෘත්තීන් බිහි වී තිබේ. ක්‍රීඩාව වෙනුවෙන් ලෝක වෙළෙඳපොළක් ඇත. ක්‍රීඩා කර්මාන්ත බිහි වී ඇත. ක්‍රීඩාව වෙනුවෙන් වූ අනන්‍යතාව වර්තමානයේ දී ඩොලර් බිලියන ගණනින් මුදල් උපයන ක්‍රියාවලියක් (ප්‍රපංචයක්) බවට ලොව පුරා පත්ව ඇත.

මේ නිසා ක්‍රීඩාව මහා පරිමාණ ව්‍යාපාරයකි. ක්‍රීඩා තරග වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් පවතී. ලොව පිළිගත් අධ්‍යාපනික වැඩසටහන් (උපාධි පාඨමාලා) අතර ජනප්‍රිය විෂයක් බවටත් එය පත්ව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව තුළ මෙම විෂය සඳහා අත්‍යවශ්‍ය වන අනන්‍යතාව පාසල් අධ්‍යාපනයෙන් ලබා දීම වඩාත් කඩිනමින් සිදු කළ යුත්තකි. එමඟින් ක්‍රීඩාවෙන් ඉහළ පරිසාධන මට්ටම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට හැකිවනවා පමණක් නොව ව්‍යවසායකයන් බිහි කිරීමට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය බව ඉහළ නැංවීමටත් හැකි ය. එපමණක් නොව කුසලතාවෙන් පිරිපුන් පිරිසක් පමණක් නොව ක්‍රීඩා වෘත්තීය දැනුම සහ කුසලතාවෙන් පෝෂිත වූ සමාජයේ අනෙක් විෂයන් හැදෑරුවන්ට ලැබෙන සමාජ පිළිගැනීම ඇති කර දීමට ත්, රැකියා අවස්ථාවන් ඇති වීම, ක්‍රීඩා අධ්‍යාපනය වෙනුවෙන් වන උපාධි සිහිනයන් වෙත ක්‍රීඩා ප්‍රජාව යොමු කර වීමට හැකියාව උදා වෙයි. මේ තුළින් ජාතික මෙහෙවර උදෙසා ක්‍රීඩාව තුළින් ලබා දිය හැකි දායකත්වය වැඩි කරමින් එම හිඩැස පිරවීමට අවකාශ උදා වෙයි.

ඕනෑම පුද්ගලයකුට යම් කාර්යයක් සාර්ථකව සිදු කිරීම සඳහා ඔහු හෝ ඇය තුළ පවතින කායික, මානසික සහ ශාරීරික සුවතාව මෙන්ම සමබරතාව අත්‍යවශ්‍ය ය. ඒ සඳහා පදනම සකසන්නේ ශාරීරික අධ්‍යාපනය තුළිනි. සමබර පෞරුෂයක් ගොඩනැඟීම සඳහා විශේෂයෙන් ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා පිළිබඳ දැනුම වැදගත්කම පිළිබඳවත් අධ්‍යාපඥයන් මෙන්ම පර්යේෂකයන්ගේ ද අවධානය යොමු කර ඇත්තේ එවැනි පසුබිමක ය. ශාරීරික අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ සිදු කරන පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ ද පාසල් ළමුන් සඳහා ශාරීරික අධ්‍යාපනයේ ඇති වැදගත්කම, පුද්ගලයා තුළ සමබර පෞරුෂයක් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ශාරීරික ක්‍රියාකාරකම්/ශාරීරික ව්‍යායාම්/ක්‍රීඩා කටයුතුවල නිරත වීම සිදු කළ යුතු බව ය.

ශාරීරික අධ්‍යාපනය පුද්ගලයාගේ ජීවීතයට අත්‍යවශ්‍ය සාධකයක් වුව ද, ඒ පිළිබඳ විධිමත් ආකාරයට අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය වන පැහැදිලි අධ්‍යාපන සැකැස්මක් ලාංකේය අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට නැත. ඒ නිසා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විෂය අනන්‍යතාව ඇති කිරීම සඳහා වන එක් විෂය නාමයක් භාවිත කිරීමට ක්‍රියා කළ යුතුව තිබේ. ඒ මඟින් සෙසු ජනප්‍රිය විෂයක් මෙන් ශාරීරික අධ්‍යාපනය පාසල් විෂය මාලාවේ අත්‍යවශ්‍ය අංගයක් වීම සඳහා ළමුන්ගේ අවධානය යොමු කර ගැනීමට හැකි වෙයි.

එමෙන්ම එය අඛණ්ඩව සිදු වන අධ්‍යාපන ක්‍රියාවලියක් බවට පත් කිරීමට අදාළ සැලසුම් සකස් කළ යුතු වෙයි. පවතින තත්ත්වය යටතේ පෙර පාසල් අධ්‍යාපනයේ දී, ප්‍රාථමික අධ්‍යාපනයේ දී, 6 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය දක්වා කුමන ආකාරයෙන් හෝ මේ විෂයට අවතීර්ණ වෙමින් පැමිණෙන ළමුන් 10 ශ්‍රේණියේ දී විසීරී යන තත්ත්වයෙන් මුදවා ගත යුතු ය. ඔවුන් උදෙසා උසස් පෙළ අධ්‍යාපනය දක්වාම ක්‍රියාත්මක වන අධ්‍යාපන වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ලාංකේය අධ්‍යාපන රටාව තුළ ස්ථාපිත කළ යුතු ය. එමඟින් යහපත් පුරවැසියන් සමාජය වෙත යොමු කර වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මෙම විෂය ඔස්සේ දායක විය හැකි ය. ඒ නිසා පෙර පාසල් අධ්‍යාපනය සඳහා වෘත්තිකයන් ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන වෘත්තිකයකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි යන නිර්ණායකය ඇතුළත් කිරීම මඟින් පෙර පාසල් අධ්‍යාපනයේ සිටම දරුවා නිවැරැදිව කායික, මානසික සහ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් යොමු කරවීමටත් හැකියාව පවතී.

ක්‍රීඩා අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් වන හිඩැස පිරවීමටත් මේ මඟින් අවස්ථාව නිර්මාණය වෙයි. එවිට ක්‍රීඩාවේ නිරතව සිටින බහුතරයක් දරුවන්ගේ උපාධි සිහිනයන් සැබෑ කර ගැනීමට අවශ්‍ය අධ්‍යාපනික වටපිටාව නිරායාසයෙන්ම ගොඩනැඟෙයි. ඊට සමානුපාතිකව ක්‍රීඩා ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික සංකල්පය පෝෂණයටත් මේ සංශෝධන සිදු කිරීම මඟින් හැකියාව ගොඩනැංවෙයි.

පාසල් ළමුන් සඳහා නිර්දේශිත ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් සම්පූර්ණ දෛනික පැය ලබා දීම පාසල්වලට පමණක් කළ නොහැක්කකි. එය මනාව සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිපත්තියක් මඟින් ලබා දීමට කටයුතු කළ හැකි ය. ඒ මඟින් ප්‍රජාව අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමට ශාරීරික අධ්‍යාපනය භාවිත කළ හැකි වේ. ඒ නිසා ක්‍රීඩාව සෑම පුද්ගලයකුගේම දෛනික ජීවිතය හා සමානව ක්‍රියාත්මක වන දින චර්යාවේ කොටසක් බවට පත් වීම සඳහා යොමු කරවන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසිය යුතුව ඇත.

ඒ සඳහා පෙර පාසල, පාසල, සහ විශ්වවිද්‍යාල ප්‍රමුඛව ක්‍රියාත්මක කළ යුතු ගුණාත්මක ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා අධ්‍යාපනික වැඩසටහන් ප්‍රතිසංස්කරණය කර ඉදිරිපත් කිරීම කාලෝචිත ය. පාසල් අධ්‍යාපනයට යොමු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උසස් පෙළ දක්වාම ක්‍රියාත්මක වන අනිවාර්ය විෂයක් බවටත් ක්‍රීඩා/ශාරීරික අධ්‍යාපනය පත් කිරීමටත් යෝජනා කරනු කැමැත්තෙමි. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම ළමයා මෙලෙස ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ කර ගැනීම ලාංකේය අනාගතය වෙනුවෙන් සිදු කරන වැදගත් ආයෝජනයකි. ඒ අන් කිසිවක් නිසා නොව සමස්ත ජාතියකම සෞඛ්‍ය සහ ආර්ථිකයට සෘජුවම බලපෑම් ඇති කරන ක්‍ෂේත්‍රයක් බැවිනි.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අනෝමා රත්නායක

ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය

කැලණිය විශ්වවිද්‍යාලය

Comments