මට එන්න බෑ | සිළුමිණ

මට එන්න බෑ

 

ලොව වයස්ගතම පුද්ගලයා ඔලිම්පික් වර්ජනයේ

ලෝකයේ වයස්ගතම පුද්ගලයා සේ සැලකෙන්නේ කේන් ටකාකා ය. ඇගේ වයස අවුරු 118 කි. තරගාවලියේ ගිනිසිළුව රැගෙන යෑමට ටකාකා සූදානමින් සිටියා ය.

දකුණු දිග ජපානයේ ෆුකෝකා හි ගිනිසිළුව රැගෙන ධාවනයේ යෙදීමට සූදානමින් සිටි ඇය පසුගියදා නිවේදනය කළේ තමන් ඒ සඳහා සහභාගි නොවන බව ය. ඊට ඉවහල් වී ඇත්තේ ගිනිසිළුව රැගෙන ධාවනයේ යෙදෙන කණ්ඩායමේ හය දෙනකු කොවිඩ් වයිරසයට ගොදුරු වී ඇති බවට අනාවරණය වීම ය.

සාත්තු නිවාසයක ජීවත් වන ඈ, උපුටා දක්වන එම නිවාසයේ වාර්තා කියා සිටියේ ජපානයට සිව් වැනි කොවිඩ් රැල්ල පැමිණ තිබීම සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන ටකාකා මෙම තීරණයට එළඹ ඇති බවයි.

ඈ ගිනස් ලෝක වාර්තාවකට උරුමකම් කීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එහෙත් කොවිඩ් වයිරසයට තමන් නිරාවරණය වුව හොත් එය ඈ ජීවත් වන සාත්තු නිවාසයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇතැයි සිතීම ඈ අදාළ ගිනිසිළුව රැගෙන ධාවනයෙන් ඉවත් වීමේ තීරණයට එළඹීමට ප්‍රධාන හේතුව වී ඇත.

මේ තීරණය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන සාත්තු නිවාස ප්‍රකාශකයකු සඳහන් කළේ, ‘අපිට ඇගේ පවුලෙන් ලිපියක් ලැබුණා. එහි සඳහන් වෙලා තිබුණේ ගිනිසිළුව රැගෙන යෑමෙන් ඉවත් වීමට ඈ තීරණය කර ඇති බවයි. එම තීරණයට ඔවුන් එළැඹ ඇත්තේ කොවිඩ් වයිරසයට ඈ නිරාවරණය වුව හොත් එය අපගේ සාත්තු නිවාසයට බලපෑම් කරාවි කියායි.’ යනුවෙනි.

ඔලිම්පික් ගිනිසිළුව ජපානය තුළ රැගෙන යෑමේ කටයුත්ත වෙනුවෙන් ධාවකයෝ දස දහසක් සහභාගි වී සිටිති. එය ජපානයේ සියලු ගම් දනව් පුරා මාස හතරක් පුරා දිව යන අතර, අවසානයේ ඔලිම්පික් පහන දැල්වීමට නියමිතව ඇත්තේ ජූලි 23 වැනි දා ය.

මේ අතර ජපාන බලධාරීන් විසින් ටෝකියෝ එන්නත්කරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමක් ගැන සඳහන් ය. එය ජූලි මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, මේ පිළිබඳ එරට අග්‍රාමාත්‍ය යොෂිඩි සුගා සමඟ සාකච්ඡා කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් යොමු කරමින් පැවැසී ය.

මේ අතර මාධ්‍ය වාර්තා සඳහන් කළේ ‘Moderna Inc’s’ එන්නත දිනකට දස දහසකට ලබා දීමට තීරණය කර ඇති බව ය. එහෙත් ප්‍රධාන කැබිනට් ලේකම් කැට්සුනෝබු කාටෝ පවසන්නේ තවමත් එම තීරණය ලබා ගෙන නොමැති බවයි.

මේ වන විට ජපානය තුළ එන්නත්කරණ කටයුතු ශීඝ්‍ර කර ඇති අතර, එහි දී පළමුවෙන්ම එන්නත් ලබා දෙන්නේ වයස්ගත ජනතාවට ය. ජපානයේ සමස්ත ජනගහනය මිලියන 126 ක් වන අතර, ඉන් සියයට 1.5 ක් ම වැඩිහිටි ජනතාව ය.

කෙසේ වෙතත් අර්බුදයක් බටව පත්වෙමින් ඇති කොවිඩ් සිව් වැනි රැල්ලට ඇති බිය හේතුවෙන් ජපානය තුළ බොහෝ නගරයන්හි හෝටල් විදේශීය ක්‍රීඩක කණ්ඩායම්වලට නවාතැන් සැපයීමට හෝ පුහුණු අවස්ථා වෙනුවෙන් යොදා ගැනීමට අවස්ථාව ලබා දීමට දක්වන්නේ දැඩි අකැමැත්තක් බව සඳහන් ය. ඒ කුමන තත්ත්වයක් යටතේ වුවද ඔලිම්පික් තරගාවලිය මෙවර ටෝකියෝ හි පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ජපාන ක්‍රීඩා බලධාරීන් අතර එකඟත්වයක් ගොඩනැඟී ඇතැයි ද කිව යුතු ය.

Comments