බාලේ පදික වේදිකා මත ගෙවූ ඩේවිඩ් වෝනර් නම් පත්තර කොල්ලා | සිළුමිණ

බාලේ පදික වේදිකා මත ගෙවූ ඩේවිඩ් වෝනර් නම් පත්තර කොල්ලා

 

'තරුවක් වඩා දීප්තිමත් වන්නේ එය පිහිටන තැන අනුව ය. ඒ දිස්නය වඩාත් ඔපවත්ව පෙනෙන්නේ එය අහසේ අඳුරුම තැනක තිබෙන විට ය. එවන් අඳුරුම තැනක පායා ආලෝකය සොයා ගත් ක්‍රිකට් තරු බොහොමයකි. එහෙත් ඔස්ට්‍රේලියාව වැනි රටකින් එවන් තරුවක් පිළිබඳ වාර්තා වූ තොරතුරකින් මෙම ලිපිය සංගෘහිත වෙයි.'

ඔහු පත්තර කොල්ලෙකි. එලෙස ඔහු පත්තර විකුණූ සමයේ ඇතැමුන් 'වෝන් කොල්ලා' යැයි කියන්නට ඇත. ස්වාධීනත්වය ගැඹුරින් සලකන අවුරුදු දහ තුන, දහ හතර වන විට අර්ධ කාලීන රැකියාවක නිරත වෙමින් සිය අධ්‍යාපන කටයුතු කරන්නට හුරුව සිටින සමාජයක ඔහු තෝරා ගත්තේ මෙලෙස පත්තර බෙදීම ය. පාපැදියක නැඟී නිවෙසින් නවෙසට ගොස් පත්තර බෙදූ ඔහු මාවතේ පත්තර ගොන්නක් අසල හිඳගෙන සිටියේද එලෙස දිනපතා පුවත්පත් අලෙවි කරනයට ය. එදා එලෙස පත්තර විකුණූ කොල්ලාට ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිලේ දැවැන්තයෙකු වන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් ඔස්ට්‍රේලියාව වැනි රටක විවිධ ක්ෂේත්‍රයන් තුළ සාර්ථකත්වය සොයා ගැනීමට අවස්ථාව ඇති හෙයින් එයද අසමාන්‍ය සිදුවීමක් ම නොවේ.

එදා ගැටවර අවධියේ දී පාරේ පත්තර විකුණූ ඔහු අද කෝටි ගණනින් මුදල් උපයන්නෙකි. ඔහු පාසල් වියේ දී සිය මූල්‍ය අවශ්‍යතා තහවුරු කර ගත්තේ මේ ආකාරයෙන් කුඩා කුඩා අර්ධ කාලීන රැකියාවල නිරත වීමෙනි. ඔහු අන් කවරකුවත් නොව කැන්ගරුවන්ගේ ආරම්භක ප්‍රහාරකයා වන ඩේවිඩ් වෝනර් ය. ඔහුගේ ජීවිතය අධ්‍යයනය කරන්නකුට ක්‍රිකට්වලට එහා ගිය යමක් උගත හැකි ය. එය අන් කිසිවක් ලෙස නොව ජීවිතය වශයෙන් හැඳින්විය හැකි ය.

වෝනර් උපත ලබන්නේ 1986 වසරේ ඔක්තෝබර් 27 වැනි දා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි සිඩ්නි නුවර ආසන්නයේ ය. ඔහුගේ පියා හොවාර්ඩ් වෝනර් නම් බර යන්ත්‍ර ක්‍රියාකරුවෙකි. ෂිලා වෝනර් නම් වූ ඩේවිඩ්ගේ මව රැකියාව කළේ සාත්තු සේවිකාවක ලෙස ය. ඩේවිඩ් වෝනර් පවු‍ලේ බඩපිස්සා වූ අතර ඔහුට වැඩිමහල් සොහොයුරෙක් විය. දියුණු රටක පහළම පන්තියේ අගහිඟකම් සහිත පවුලක ඉපිද හැදී වැඩුණු කුඩා ඩේවිඩ්ගේ ළමා කාලය එතරම් සොඳුරු වූයේ නැත.

කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක් වූ වෝනර් ගේ දස වැනි උපන්දිනයේ දී සිය පියා විසින් කුඩා ක්‍රිකට් පිත්තක් තෑගි කරන්නේ එය පරිස්සමෙන් පාවිච්චි කරන ලෙස අවවාද කරමිනි. වෝනර්ගේ පියා තම පුතුට එසේ අවවාද කිරීමට හේතුවක් තිබුණි. ඒ අගහිඟකමයි. කැඩෙන පිත්ත වෙනුවට තවත් පිත්තක් තෑගි කිරීමට තරම් වත්කමක් ඔහු සතුව නොතිබුණි.

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා කුඩා වෝනර්ව ‍දෙමාපියන් විසින් ඇතුළත් කරන ලද්දේ රැන්ඩ්වික් බොයිස් නමැති ගමේ පාසලට ය. එහි දී ක්‍රිකට් පුහුණුව ලද ඩේවිඩ් දකුණත් පිතිකරුවකු ලෙස පුහුණු කර වීමට පාසල් ක්‍රිකට් පුහුණුකරු උත්සාහ ගත්තේ ය. නමුත් සිය මව වඩාත්ම කැමැති වූයේ වෝනර් වමත් පිතිකරුවකු වනු දැකීමට නිසා වෝනර් මවගේ කැමැත්තට ඉඩ දුන්නේ ය. උසස් අධ්‍යාපනය සඳහා නිව් සවුත් වේල්ස්හි මැට්‍රවිල් රජයේ පාසලට ඇතුළත් වන වෝනර්ට එම අවධියේ දී බො‍හෝ සෙයින් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. එම නිසාම ඔහු සුපිරි වෙළෙඳසල්වල සේවකයෙකු ලෙස අර්ධ කාලීනව සේවය කළේ පාසල් අධ්‍යාපනය සහ ක්‍රිකට් පුහුණුව ද ලබමිනි. තවත් විටෙක මුදල් ඉපැයීම සඳහා ඔහු පුවත්පත් වෙළෙන්දෙක් විය.

ජීවිතයේ සොඳුරු නවාතැන් සොයා ගැනීමට දුෂ්කර මාවත් තරණය කළ යුතු ය. ඩේවිඩ් වෝනර් ද එම යථාර්ථයට මුහුණ දුන්නෙකි. ඔහු ද තරණය කළේ දුෂ්කර මාවතකි. එහි අවසානයේ සොඳුරු නවාතැනක් සොයා ගැනීමට ඔහුට හැකි විණි. එහි පළමු පියවර ලෙස යොවුන් වෝනර් අවුරුදු 16 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා සම්මානයෙන් පිදුම් ලැබීම දැක්විය හැකි ය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන පුංචි බලාපොරොත්තුවක් දැල්වීමක් ද වූයේ ය. 2008 වසරේ දී වෝනර් නිව් සවුත් වේල්ස්හි අන්තර් සමාජ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළේය. එහි දී පෙන්වූ දස්කම් නිසාම ඩේවිඩ් වෝනර් ට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ දොරගුළු විවර විය.

ක්‍රිකට් ඉතිහාසය තුළ ඩේවිඩ් වෝනර් කතාබහට ලක් වන්නේ දස්කම් නිසා පමණක් නොවේ. ක්‍රිකට්වලට එහා ගිය මානූෂිය පැවතුම් ඔහු තුළ දැක ගත හැකි ය. 2014 වර්ෂය වෝනර් ගේ ක්‍රිකට් දිවියේ ශෝකජනකම වසර විණි. ඒ එම වසරේ මුල් වකවානුවේ දී ම ඔහුගේ ආදරණීය සගයා වූ පිලිප් හියුස්‍ හදිසියේ වියෝ වූ හෙයිනි.

පිලිප් හියුස් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙක් වූ අතර ඔහු සහ වෝනර් සමකාලීනයෝ වූහ. දේශීය තරගයක් අතරතුර ක්‍රිකට් පිටිය තුළදීම පන්දුවක් හිසේ වැදීම නිසා පිලිප් හියුස්ට මෙලොවින් සමු ගැනීමට සිදුවිණි. පිලිප් හියුස්ගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාවේ වෝනර් ගේ දෙනෙත් කඳුළෙන් බොඳව තිබිණි. තම සගයා සමුගෙන වසරක් ගත වන මොහොතේ දී එය සුවිශේෂී ලෙස සැමරීමට වෝනර් කටයුතු කළේ එය කොතරම් දැඩි සංවේදනාවක් වූයේ ද යන්න පැහැදිලි කරමිනි.

පිලිප් හියුස්ගේ පළමු අනුස්මරණ දිනය එළඹෙද්දී වෝනර් ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිටියේ ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියකය. ඩේවිඩ් වෝනර් තරගාවලියේ සිව් වැනි තරගයේ දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් ලබාගෙන සිටියේ ය. එහිදී ලොව කිසිදු ක්‍රීඩකයෙක් නොකරන අන්දමේ සුවිශේෂි ක්‍රියාවක් වෝනර් සිදු කළේ ය. එය සුවිශේෂී යැයි කිව හැක්කේ එය ලෝකය ඉදිරියේ කැපී පෙනෙන සිදුවීමක් වූ හෙයිනි.

හේ සිය 63 වැනි ලකුණ රැස් කිරීමෙන් අනතුරුව පොළොව සිප නැමැදුවේ ය. එසේ ආචාර කරමින් යම් කිසි සිහි කිරීමක යෙදුණි. ප්‍රේක්ෂකයෝ උඩ බිම බැලූ හ. ඔවුහු වෝනර්ගේ වාර්තා විමසූ හ. ලකුණු පුවරුවේ ශතකයක් සම්පූර්ණ කිරීමට තව බොහෝ ලකුණු ගණනක් මෙපිටින් ඔහු සිටින බව සැක හැර දැනගත් ඔවුහු ඩේවිඩ් වෝනර් මෙලෙස පිටිය තුළ සමාචාර කරන්නේ කවුරුන් සිහි කර දැයි කල්පනා කළහ. වෝනර් එසේ සිහිපත් කළේ තම සමකාලීන මිතුරා වූ පිලිප් හියුස් බැව් ඔවුනට සිහිපත් වද්දී ක්‍රිකට් රසිකයන්ගේ දෙනෙත් කඳුළින් බොඳ විණි.

වසරකට පසු වෝනර් ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාව සමඟ තරග වැදුණේද පිලිප් හියුස් සමු ගත් සිඩ්නි ක්‍රීඩාංගණයේ තණතීරුව මතම ය. තම ආදරණීය මිත්‍රයා වූ පිලිප් හියුස් සිඩ්නි ක්‍රීඩාංගණයේ දී නොසිතූ ලෙස දිවි සැරිය නිමා කරන විට නොදැවී ලකුණු 63 ක් ලබා සිටියේ ය. එදින පිල් හියුස් සිහිපත් කිරීම සඳහා ඔහු ඇද වැටුණු ස්ථානයේ පස් පිඩැල්ල මත 63 යනුවෙන් කපා සකස් කර තිබුණි. වෝනර් සිප ගත්තේ එසේ සකස් කර තිබූ තම සගයා ඇද වැටුණු ස්ථානය ය.

වෝනර් ගේ ක්‍රිකට් දිවිය තුළ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස වසරක ක්‍රිකට් තහනමකට ලක් වීමේ සිද්ධිය සැලකිය හැකි ය. 2018 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුර පන්දුව පළුදු කිරීමේ වරදකට වෝනර් වැරදිකරු විය. එහිදී ඔහු ප්‍රසිද්ධියේ වරද පිළිගත්තා පමණක් නොව සමාව ඉල්ලා හඬා වැටුණේ ය. ඔහු එහිදී පැවැසුවේ තමා නැවතත් මව්බිම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට කැමත්තෙන් පසු වුවත් සිදු කළ වරද නිසා එලෙස ක්‍රීඩා කිරීමට අවසර හිමි වෙතැයි බලාපොරොත්තු නොවන බවයි.

ක්‍රිකට් තහනමින් පසු ඔහු පෙදරේරු කාර්යයෙහි නිරත වන වීඩියෝවක් ද සමාජ ජාලාවල සංසරණය වෙමින් පැවතුණි. තමා තමාටම කියා නිවෙසක් ඉදි කරන බවත් එහි වැඩවලට තමාත් හවුල් වන බවත් වෝනර් එහි දී පවසා තිබුණි. කෙසේ නමුත් 2019 වසරේ දී නැවතත් හෙතෙම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණේ අතීත මතක අමතක කරමිනි. තහනමින් පසුව වෝනර්, ක්‍රීඩා කළ දෙවැනි ‍ටෙස්ට් තරගාවලියේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමද ක්‍රීඩා කරන්නට ඔහු සමත් විණි. ඒ පකිස්තානයට එරෙහිව ‍නොදැවී ලකුණු 335 ක් ලබා ගනිමිනි.

කුඩා කල සිට වෝනර් ගත කළ ජීවිතය මෙන්ම ඔහුගේ ක්‍රිකට් ජීවිතය ද ඔහු මෙතෙක් ගෙවා දමා ඇත්තේ බාධක, අභියෝග මධ්‍යයේ ය. නමුත් ඔහු ඒවාට ශක්තිමත්ව මුහුණ දෙමින් ඒවා හා ගැටී ජීවිතය මෙන්ම ක්‍රිකට් ජීවිතයද ජය ගෙන ඇති බව ඔහු‍ගේ ජීවිත කතාව දෙස බැලූ කල පැහැදිලි ය. මඟ තොට කවුරුන් හෝ ඔහුට සෙල්ෆි ඡායාරූපයක් ගන්නට ඇරැයුම් කළ හොත් දෙවරක් නොසිතා ඔහු ඊට ඉදිරිපත් වෙයි. දිනක් තරගයක් අවසානයේ වෝනර් ලද තරගයේ වීරයා සම්මානය තම අස්සනද සහිතව තරගය නැරඹු කුඩා දරුවකුට තෑගි ක‍ළේ ඔහුගේ ත්‍යාගශීලිත්වය මනාව පෙන්නුම් කරමිනි. නිහතමානී ගති පැවතුම්, සුන්දර සිනහව, සංවේදී සිතුවිලි ආදියෙන් පිරී ගිය අව්‍යාජ මානුෂීය ගුණාංග, බින්දුවේ සිට ජීවිතයේ මහ ගිරි දඹ තරණය කිරීමට සමත් වූ වෝනර් ගේ සාර්ථකත්වයේ ලක්ෂණ යැයි ඉඳුරාම කිව හැකි ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments