ධර්මාලෝක විදුහලට ක්‍රීඩාලෝකයක් දුන්නේ ය ඔහු විමලේ | සිළුමිණ

ධර්මාලෝක විදුහලට ක්‍රීඩාලෝකයක් දුන්නේ ය ඔහු විමලේ

 

'විමලසේන පෙරේරා වයෝවෘද්ධ යැයි කිසිවකුටත් පැවැසිය නොහැකි ය. දිවි සැරියේ හැත්තෑව දසකය ගෙවමින් සිටින ඔහුට ජීවිතය සම්බන්ධයෙන් ඇත්තේ සන්තුෂ්ටියකි. රෝග දුක්ඛයට මුහුණ දුන්න ද ඒ සියල්ල විඳ දරා ගනිමින් ජීවිතයට මුහුණ දෙන්නට තරම් ධෛර්යයක් විමලසේනයන් සතු ය. ගම්, නියම්ගම්, නගර බවට පත්ව එදා ඇවිද ගිය නිදහස් බොරළු, වැලි පටු මාවත් කාපට් ඇතිරූ මාවත්ව තිබෙන යුගයක ඔහු තම ශරීර සෞඛ්‍යය වෙනුවෙන් නිවෙසේ පියවර ගණිමින් පැයක් පමණ ඔබ මොබ ඇවිද යන්නේ ඒ චිත්ත ධෛර්යය පෙරටු කර ගෙන ය. මේ එවන් දිරිමත් ක්‍රීඩකයකුගේ දිවි සැරියේ තවත් එක් අදියරකි.'

විමලේ සිය දිවියේ ඉලක්කය කර ගෙන තිබුණේ පාපන්දු ක්‍රීඩාවෙන් ජීවිතය ජය ගන්නට ය. එහෙත් අහඹු ලෙස සිදු වූ සිදුවීම් පෙළකින් සියල්ල වෙනස් වන්නට ගත වූයේ නිමේෂයකි. ඔහු පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළෙන් පසුව මලල ක්‍රීඩකයකු බවට පත් කර තිබුණේ ය. කිසිදා නොසිතූ නොපැතූ ආකාරයට හේ මලල ක්‍රීඩා ධාවකයකු බවට පත් කරන්නට පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සමත් වූයේ යැයි කිව හැකි ය.

සැබැවින්ම එය දෛවෝපාගත යොමු කිරීමකැයි සටහන් කළ යුතුම ය. කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා පිටියේ පළාත් මලල ක්‍රීඩා තරගාවලියක් එවකට සංවිධානය විණි. එය පවත්වන ලද්දේ බස්නාහිර පළාත් මහා විද්‍යාල හා මධ්‍ය මහා විද්‍යාල අතර ය. එම මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1500 ධාවන ඉසව්ව ඔහුට කෙදිනකවත් අමතක කළ නොහැකි අත්දැකීමක් රැගෙන ආවේ ය.

'අපිට ඒ කාලේ මලල ක්‍රීඩා සඳහා උපදෙස් දෙන්න පාසලේ ගුරුවරයෙක් හිටියේ නැහැ. උපාලි සර් තමයි මාව මේ ක්ෂේත්‍රයට උනන්දු කළේ. තරගයක් දුවන තාක්ෂණය මොකක්ද කියන එක ඒ වෙන කොට මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මගේ සීමාවෙන් පිට මම පැන්නේ නැහැ. ඒකයි, හයියෙන් දුවන එකයි තමයි මම දැනගෙන සිටිය එකම තාක්ෂණය වුණේ. ඒ කාලේ අපේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියට වඩා රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය හරිම ලොකුයි. ඒ වගේම හරිම ක්‍රමවත් තණතිල්ලක් පැවැතුණා. ඒ නිසා තණතීරුව උඩ දුවන එක විල්ලුද මතින් දුවන තරම් සුමුදු අත්දැකීමක්. එතැන දුවන විට මට මගේ දෙපාෙවලට හොඳ පහසුවක් දැනුණා. මොකද අපිට ඒ කාලේ අද වගේ දුවන්න දාන්න ගන්න සපත්තු නොතිබුණු නිසා.' ඔහු කියන්නේ අතීතයේ ක්‍රීඩාව දැන් පරිණාමය වී ඇති ආකාරය පිළිබඳ ය.

'ධර්මාලෝක පිට්ටනියේ මීටර් 1500 ට වට දහයක් දුවන්න තිබුණා. ඒ වුණාට රාජකීය පිටියේ වට තුනයි තුන් කාලක් දිව්වම මීටර් 1500 සම්පූර්ණ වුණා. ඒ නිසා ආරම්භයේ දී ම මගේ වේගය වැඩි කර ගන්න එය හොඳම වාසියක් ගෙනාවා කිව්වොත් නිවැරැදියි. මුළු පිටියේම අවට පිරිලා තිබුණේ මහා ඝෝෂාවක්. ඒ ඝෝෂාව අතරින් අවසන් වට කීපයේ දී මට කැලණියේ ධර්මාලෝකයේ දිරි ගන්වන මගේ සහෝදර හිතමිතුරන්ගේ හඬ බොහෝම සීරුවට පෙරිලා ආවා.

ඒ හඬ කිව්වේ, ‘‘විමලේ තව ටිකයි අත අරින්ඩ එපා’’ කියල යි. ඒ කවුද කියලා සොයන්න මම උත්සාහ කළේ නෑ. ඒත් මම දැක්කා මගේ පිටුපසින් ක්‍රීඩකයන් කීප දෙනෙක් හැල්මේ දුවගෙන එන බව. මම තවත් මගේ ජවය වැඩි කළා. ඒ නිසා අවසන් වටයේ ඔවුන්ටත් වඩා මීටර් 50ක් පමණ ඉදිරියෙන් සිට පළමු ස්ථානය දිනා ගනිමින් මගේ පාසලට ජයග්‍රහණය ලබා දෙන්න මට හැකිවුණා. එදා මාව වට කර ගත්ත අපේ පාසලේ යහළුවෝ මාව ඔසවාගෙන ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරන්න වුණා. ඒක වඩාත් වැඩි වුණේ පළාත් තරගයකින් ධර්මාලෝකයට ලැබුණ මුල් ජයග්‍රහණය එය නිසයි. විදුහල්පතිතුමා වගේම උපාලි සර් ඔවුන් මාව තෝරා ගැනීම පිළිබඳ ව හුඟක් සතුටු වෙලා තිබුණා. ඔවුන් මගේ අම්මයි, තාත්තයි එක්ක සිදු කළ කතා බහේ දී මට ඒක වැටහුණා. විමලේ කියන්නේ දිදුලන නෙත් වේගයෙන් ඇසිපියලමිනි. සතුටු කඳුළු වසන්නට ඔහු අසාර්ථක උත්සාහයක නිරත වන බව අපට වැටහිණි.

මෙම තරගයෙන් පසුව විමලසේන පාසලට නැතුවම බැරි චරිතයක් විය. ඔහුගේ ක්‍රීඩා කුසලතාව මෙන්ම අධ්‍යාපන කටයුතු ද වර්ධනය කර ගැනීමට ඔහු ඉමහත් උනන්දුවක් දක්වන්නට වූයේ ය. ඒ ඔහුගේ යටි සිතෙහි ලියලමින් පැවැති අරමුණක් වෙනුවෙන් ය. ඒ අනාගතයේ දී යුද හමුදාව හා එක්වීමේ ඉලක්කයයි. මේ අතර 1963 ජූලි 27 දා ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය පවත්වනු ලැබූ සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ අවුරුදු 19 න් පහළ මීටර් 1500 තරගය සඳහා ධර්මාලෝක විද්‍යාලය නියෝජනය කිරීමට විමලසේනට අවස්ථාව ලැබුණි.

'ඒ තරගය තිබුණේ කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දි යි. ඒ තරගයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගි වීම මට ලොකු අභියෝගයක් බව මට වැටහුණා. ඒත් පාසල මා කෙරේ ලොකු විශ්වාසයක් තියාගෙන සිටියා. එහෙම ඔවුන් තැබූ අපේක්ෂා මගේ ජවයට ලොකු ශක්තියක් වූ බව කිව යුතුයි. ඒ වෙනකොට සමස්ත ලංකා මට්ටමින් අපි ජයග්‍රහණයක් ලබා තිබුණේ නෑ. අන්න ඒ නිසා මාව මෙපමණ දුරක් රැගෙන ආපු මගේ පාසලට ඒ ජය ලබා දීම මගේ යුතුකමක් බව වැටහුණා.' තමන්ගේ ක්‍රීඩා දිවියේ විප්ලවයක් සම්බන්ධයෙන් විමලේ කියන්නේ රසාත්මකව ය.

'එදා තරගය බලන්න විදුහල්පතිතුමා, ගුරුවරුන් වගේම මගේ අම්මයි, තාත්තයි දෙන්නමත් ඇවිල්ලා හිටියා. රාජකීය විද්‍යාල පිටියේ පැවැති තරගයටත් වඩා මගේ ජවය දෙගුණයක් කර ගන්න එදා මා ගත් උත්සාහය හිතුවටත් වඩා සාර්ථක වුණා. එදත් මම දිව්වේ සපත්තු නැතිවයි. එහෙම දිව්වේ මම විතරක් නෙවෙයි. ඒක එහෙම වුණේ මම වගේම සපත්තු නොපැලඳි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තරගයට සහභාගි වුණා. තරගයේ අවසාන වටය දක්වාම උණුසුම් තත්ත්වයක් තිබුණා. අවසානයේ විනාඩි 4 යි තත්පර 13.8 කින් නව පාසල් වාර්තාවක් ද තබමින් ධර්මාලෝකයට පළමු සමස්ත ලංකා ජයග්‍රණය ලබා දෙන්න මට හැකිවුණා.' විමලේ තමන් සමස්ත ලංකා ජයග්‍රායකයකු වූ ආකාරය ගැන කීවේ ය.

තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පස්සේ ශ්‍රී ලංකා ජවන හා පිටිය මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරපු කාල්ටන් සෙනවිරත්න, හැරී ජයවර්ධන (ලේක් හවුස් ආයතනය) ඩන්ස්ටන් ප්‍රනාන්දු (විදුලි සංදේශ දෙපාර්තමේන්තුව) මහත්වරුන් ඇවිත් මාව මුණගැහිලා මට සුබපතන ගමන් ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් හැටියට මාව බඳවා ගන්නා බව පැවැසුවා.' තමන් ක්‍රීඩා සමාජයකට බැඳෙන්නට පාර කපාගත් ආකාරය සම්බන්ධයෙන් විමලේ හෙළිදරව් කළේ ය.

'ඒක සුවිශේෂී වන්නේ ඔවුන්ගේ සංගමයෙන් පාසල් ක්‍රීඩකයකුට ලැබුන මුල්ම අවස්ථාව එය වීමයි. ඒක ඔවුන් එහි දී අපේ විදුහල්පතිතුමාටත් මගේ මවුපියන්ටත් පැවැසුවා. එදා ඒ කතාව අහපු මොහොතේ සිට මගේ සතුට පිට වුණේ කඳුළුවලින්. ' ඔහු කිව්වේ දෙනෙතේ මතුවන කඳුළු පිටි අල්ලෙන් පිසගනිමිනුයි.

විමලේ යාල් දේවියෙන් යාපනේට

අතුල රංජිත් වේදමිස්ත්‍රිගේ

Comments