චමීර ප්‍රවේගයේ සමීරය | සිළුමිණ

චමීර ප්‍රවේගයේ සමීරය

 

වේග පන්දුව බිහිසුණු ය. වේගය කැවී, දෝලනය වී, ඉහළට පොළා පනින එසේ නැතහොත් කඩුලු ඉනි ඉලක්ක කර වේගයෙන් ඇදී එන විට තවත් භයංකර ය. එසේ පැමිණෙද්දී ඇතැම් විට කඩුලු ඉනි උගලුවා දමනන්නට තරම් වේගයක් එය තුළ ගැබ්ව ඇත. එය සතු ප්‍රවේගය බිහිසුණු වන තරමට කඩුලු බිඳ වැටීමේ වේගයද ඉහළ නැංවෙයි. එම නිසා තරගකාරී ක්‍රිකට් තරගයක් සඳහා වේග පන්දුවෙන් ලැබෙන දායකත්වය අති විශාල වෙයි. අනූව දසකයේ සිට දසක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාව සතුව විශිෂ්ට වේග පන්දු බල ඇණියක් සිටියේ ය.

චමින්ද වාස්, ලසිත් මාලිංග, ෆර්වේෂ් මහරුෆ්, නුවන් සොයිසා, නුවන් කුලසේකර වැන්නවුන් වේග පන්දුවෙන් මැවූ විස්කම් ඇතැම් විට හාස්කම් යැයි සිතන තරමට විස්මයජනකය. එහෙත් ඔවුන්ගෙන් හිස් වූ වේග පන්දු කඳවුර තුළ රජකළේ පාළුව හා කාන්සිය ය. ඉඳහිට නිකිණි කොටන්නාක් බඳුව යම් යම් දිදුලුම් මතු වුවද ඒවා දීර්ඝ කාලීන නොවී ය.

නුවන් කුලසේකරට ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවීමත්, ලසිත් මාලිංග එක්දින පිටියට සමුදීමත් නිසා වේග පන්දුවට ලෙහෙසියෙන් පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය විණි. කලින් කලට කණ්ඩායමේ ස්ථානය හිමි වෙමින්, අහිමි වෙමින් තරග වැදුණු තිසර පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් ඇතුළු වේග පන්දු යවන්නන්ගෙන් ද කාලයක් තිස්සේ සැලකිය හැකි දස්කමක් ප්‍රදර්ශනය වූයේ නැත.

එහෙයින් ගෙවුණු සමයේ කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙන් වඩාත් කැපී පෙනුණේ වේග පන්දුවට වඩා දඟ පන්දුවයි. නමුත් නොබෝදා අවසන් වුණු ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී නම් එහි වෙනසක් සිදු වූයේ ය. ඒ දුෂ්මන්ත චමීරගේ පිබිදීම සමඟ ය. 2015 වසරේ ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි චමීර පසුගිය බංග්ලාදේශ සංචාරය වන තෙක්ම ලබාගෙන තිබුණේ එක්දින කඩුලු කඩුලු 21 ක් පමණි. නමුත් අවසන් වුණු තරග 3 කින් සමන්විත තරගාවලියේ දී හෙතෙම කඩුලු 9 ක් දවාගත්තේ තෙවැනි තරගයේ දී සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ද සටහන් කරමිනි.

එහිදී පන්දු වාර 9 ක් යවා ලකුණු 16 ක ට කඩුලු 5 ක් දවාගන්නට චමීර සමත් විය. එය ඔහුගේ එක්දින දිවියේ තරගයක කඩුලු පහේ අවස්ථාවක් ලබා ගත් පළමු අවස්ථාව ද විණි. මෙම දක්ෂතා නිසාම දුෂ්මන්ත චමීර අන්තර් ජාතික එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 33 වන ස්ථානය දක්වා උසස් විම් ලබා තිබුණි. බංග්ලාදේශ තරගාවලියට පෙර දුෂ්මන්තට එහි හිමි ව තිබුණේ 60 වැනි ස්ථානය යි. ඒ අනුව ඔහු ස්ථාන 27 ක් පසු කර වේගයෙන් ඉදිරියට පැමිණ තිබේ.

පසුගියදා චමීර වාර්තා කළ දක්ෂතාව වසර 3 කට පසු ශ්‍රී ලාංකීය වේග පන්දු යවන්නෙකු එක්දින පිටියේ ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීම ලෙස සැලකිය හැකිය. 2018 වසරේ දී ලසිත් මාලිංග විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 44 ක ට 5 ක් දවා ගැනීම මීට පෙර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු සිදු කළ හොඳම පන්දු යැවීම ලෙස වාර් තා වී තිබේ. ඉන් වසර 03 ක් ගෙවී යන තෙක් කිසිදු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකුට එක්දින තරගයක කඩුලු පහේ සීමාවට පැමිණීමට සමත් වූයේ නැත.

බංග්ලාදේශ තරගාවලියේ වේග පන්දුයවන්නෙක් සේ පෑ දස්කම්, වාර්තා රැසක්ම අලුත් කරන්නට හේතු සාධක විය. ඔහු තරගාවලියේ අවසන් තරගයේ දී ලකුණු 16 ක ට කඩුලු 5 ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට පන්දුවාර 9 ක් යොමු කරමිනි. එහි පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වී තිබුණේ 1.77ක් ලෙස ය. මවුබිමෙන් පිටතදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලාංකීය පන්දු යවන්නෙක් සිදුකළ හොඳම පන්දු යැවීමේ සාමාන්‍යය වූයේ එයයි.

අයි. සී. සී. සාමාජිකත්වය ලබා ගත් රටවල්වල පන්දු යවන්නන් අතරින් තම මවුබිමෙන් පිටත ලබා ගත් ඉහළම පන්දු යැවීමෙ සාමාන්‍ය අගය අනුව ලොව දස වැනි තැන දුෂ්මන්ත චමීරගේ මෙම පන්දු යැවීමට හිමි ව තිබීමද සුවිශේෂී වෙයි. අවසන් තරගයේ වීරයා වන්නට ද චමීර ගේ මෙම දස්කම් හේතු විණි. එසේම ආසියානු ක්‍රීඩකයෙක් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් තුළ දැක්වූ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවයේ වාර්තාවද දුෂ්මන්ත චමීර තමන් නමට ලියා ගත්තේය.

ඔහු තරගාවලිය පුරා ලකුණු 99 ක ට කඩුලු 9 ක් දවා ගත්‍තේ ය. චමීර අවසන් තරගයේ දී ලකුණු 16 ක ට ලබා ගත් කඩුලු 5 බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු තරගයක දී වාර් තා කළ දෙවැනි හොඳම පන්දු යැවීම ය. චමීර දෙවැනි වූයේ හිටපු සුපිරි වේග පන්දු යවන්නා වන චමින්ද වාස්ට පමණි.

මෙහිදී වඩාත් සුවිශේෂී කරුණ වන්නේ චමීර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ වේග පන්දු බල ඇණිය පුහුණු කරමින් එය ශක්තිමත් කිරීමේ වගකීම පසුගිය පෙබරවාරියේ සිටම ඉටු කරන්නේ චමින්ද වාස් විසින් වීම ය. ඒ අනුව වාස්ගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකාවේ වේග පන්දු බල ඇණිය අළු ගසා නැගිටින බවක් පෙන්නුම් කර තිබේ. දුෂ්මන්ත චමීරගේ දස්කම් තුළින් එය මනාව ඉස්මතු වෙයි. එබැවින් චමීර ගේ දස්කම් නැවතත් ඉස්මතු වන්නට වාස්ගේ සහයෝගය ද උපකාරී වන්නට ඇත.

2015 ජනවාරියේ නවසීලන්තයට එරෙහිව වෙලින්ටන යේ දී ජාත්‍යන්තර එක්දින පිටියට අත්පොත් තැබූ චමීර එම වසරේ ජුනි මාසයේ පකිස්තානයට එරෙහිව ටෙස්ට් පිටියටත් නොවැම්බරයේ බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව විස්ස විස්ස පිටියටත් පිවිසුණේ ය. 2015 සිට 2017 දක්වාම චමීර ජාත්‍යන්තර පිටිය තුළ නිතරම දැකගත හැකි වුවත් 2018 වසරෙන් පසුව 2021 මාර්තු මාසය වන තුරු ඔහුට ජාත්‍යන්තර පිටිය තුළ වැඩි අවස්ථාවක් ලැබුණේ නැත.

ඔහු මේ වන විට ටෙස්ට් තරග 11 ක ඉනිම 19 ක දී කඩුලු 32 ක් එක්දින තරග 28 ක දී කඩුලු 30 ක් සහ විස්සයි විස්ස තරග 22 ක දී කඩුලු 20 ක් දවා ගෙන තිබේ. පැයට කිලෝමීටර් 140 ට අධික වේගයෙන් පන්දු යැවිය හැකි ‍දක්ෂ වේග පන්දු යවන්නෙක් වන චමීර ශ්‍රී ලංකා ක්‍රිිකට් හි අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකි.

එයට ප්‍රධානම හේතුව වන්නේ ලසිත් මාලිංග, නුවන් කුලසේකර ආදී වේග පන්දු යවන්නන්ගේ විශ්‍රාමයෙන් පසු වේග පන්දු බල ඇණියෙ හිස් වුණු තැන් 2023 මීළඟ ලෝක කුසලාන තරගාවලියට පෙර පුරවාගෙන තිබීම අතිශයින් වැදගත් වන නිසාය. තේරීම් කමිටුව, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩා බලධරයින් එය ඉතා හොඳින් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments