අහිමි අතකින් ජාත්‍යන්තර පදක්කම් නෙළු දේවේන්ද්‍ර ජජාරියා | සිළුමිණ

අහිමි අතකින් ජාත්‍යන්තර පදක්කම් නෙළු දේවේන්ද්‍ර ජජාරියා

 

ඔහුට අතක් අහිමි වූයේ කුඩා සන්ධියේම ය. එහෙත් ඔහු ජීවිතය සොයාගත්තේ ක්‍රීඩාවේ නියැලෙමිනි. අහිමිවූ අත නොසැලකිල්ල ඔහුට තිළිණ කළ ද ඔහු හිමිවූ පදක්කම් සැලකිල්ලෙන් උපයා ගත්තේ විය. පෝක් සමුන්ද්‍ර සන්ධියෙන් එපිට මහා භාරතයේ රජුන් උපන් ප්‍රාන්තයේ චුරූ දිස්ත්‍රික්කයේ ඉපැදී අහිමි වූ අතක් සමඟ සමාජයට ‘චුරු - චුරු’ නොගෑ ජජාරියා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හින්දු ආගමික ලෝකයේ ඉන්ද්‍ර දෙවියන් වැනි අපරාජිත මිනිසෙක් නොවන්නේ යැයි කාටනම් කිවහැකි ද,’

 

දේවේන්ද්‍ර ජජාරියා උපන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ චුරු දිස්ත්‍රික්කයේ ය. ඒ 1981 ජූනි 10 වැනි දා ය. දනි පනි ගා ඇවිදින්නට පටන්ගත් දා සිටම මේ දරුවා නොම්බර එකේ දඟයකු වන ලකුණු පළකළේ ය.

ජජාරියාගේ සිත් ගත් විනෝදාංශය වූයේ ගස් මත නැඟ සිටීම යි. පුංචි කොලු ගැට අවධියේ දී ඔහු පොළව මත පය තබා සිටිනවාට වඩා දවසින් වැඩි කලක් ගතකළේ ඒ අයුරින් ගස් මතට වී ඒවායේ ඵලවල රස විඳිමිනි.

අට හැවිරිදි වියේ පසු වූ ජජාරියා එදා ද සුපුරුදු පරිදි උදෙන්ම ගසකට නැඟ ගත්තේ ය. ඒත් අවාසනාවකි. කිසිවකුත් නොදන්නා මුත් එම ගසෙහි වරින් වර ස්පර්ශ වෙමින් සජීවි විදුලි රැහනක් වූයේ ය. ජජාරියා එයට අත තැබුවේ ඉන් වන හානිය ගැන කිසිදු දැනුමක් තේරුමක් අවබෝධ කරගත හැකි වයසක ඔහු පසුනොවූ හෙයිනි.

එය ස්පර්ශ කළ සැණින් ජජාරියාට විදුලි සැර වැදී මුලු ගතම දැඩිව වෙවුලන්නට විය. පූරුවේ වාසනාවක් ඔහුගේ සරණට පැමිණියේ ය. ඒ ඔහු මරණයෙන් ගලවා ගනිමිනි. එහෙත් ඒ වෙනුවට ඔහුගෙන් සොබා දහම දරුණු හුවමාරුවක් සිදුකරගෙන තිබුණේ ය. ඒ ඔහුගේ වමතේ වැලමිටෙන් පහළ කොටස විකෘත්‍රි කරමිනි. එම කොටස හිරිවැටී,විකෘති වී තිබුණේ ය. දැඩිව කම්පනයට පත්ව සිටි ඔහු වහා රෝහල් ගත කරන්නට කටයුතු යෙදුණේ ය. කම්පනයට පිළියම් යෙදූ වෛද්‍යවරු ඔහුගේ වමත සුවපත් කිරීමට අනේක වාරයක් උත්සාහ දැරූ මුත් ඒ සෑම සැත්කමක්ම සාර්ථක වූයේ නැත. වමතේ විකෘති වූ කොටස ඉවත් කිරීම හැර අන් විකල්පයක් නොවූයෙන් වෛධ්‍ය නිගමනය වූයේ අත කපා දැමීම ය.

“ඒ වෙලාවෙ ඇත්තටම මට හිතුණෙ මම මැරුණාම තමයි කියලයි. ඒත් දෙවියන්ගෙ නාමෙට මට එහෙම දෙයක් වුණේ නැහැ. මගේ දඟකාරකම් හින්දා මට මගේ අතක් නැතිවුණා. ඒ ගැන නම් තියෙන්නෙ දරාගන්න බැරි තරමේ දුකක්, වේදනාවක්. ඒත් මොනව කරන්නද? ඒ කොහොම වෙතත් මීට වඩා ආබාධයක් නොවී මේ තරමින් බේරුණ එක ගැන මට එක අතකින් සතුටුයි. එක අතක් නැතිවුණා කියලා මට ජීවත්වෙන්න බැරිකමක් නැහැනෙ. කොහොම හරි ජීවිතයට මූණ දෙනවා.” ජජාරියා සිත සනසාගත්තේ එලෙසින් විය යුතු ය.

අතක් අහිමි වීමත් සමඟින් ජජාරියා පාසලේ දී ක්‍රීඩාවට වැඩි නැඹුරුවක් දක්වන්නට විය. 1997 දී පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගයක දී ඔහු පෑ දස්කම් ඒ උළෙලේ ආරාධිතයකු වූ සම්මානලාභී ඉන්දීය ක්‍රීඩා පුහුණුකරුවකු ලෙසින් සැලකුණු ආර්. ඩී. සිංගේ දැඩි අවධානයට යොමුවිය.

“හොඳට පුහුණු කරලා ගත්තොත් සෑහෙන ඉදිරියට යන්න පුළුවන් කෙනෙක්.” ඔහුට ජජාරියාගේ අනාගතය මැනවින් පෙනුණේ එලෙසිනි.

“ඔයාට මලල ක්‍රීඩාවලින් හොඳ ගමනක් යන්න පුළුවන්. ඔයාගෙ හැකියාවනුත් එක්ක ඔයාට හොඳට ගැලපෙන හොඳම ක්‍රීඩාව හැටියට මට පේන්නෙ හෙල්ල වීසිකිරීම.” ආර්. ඩී. සිං ක්‍රීඩා පුහුණුකරුවා ජජාරියා වෙනුවෙන් නව මාවතක් විවර කර දුන්නේ ඒ මතින් ඔහුට සෑහෙන දුර ගමනක් යා හැකිවන බව හොඳින්ම තේරුම් ගෙන සිටි නිසාය.

ඒ ගමන පැරාලිම්පික් තරගාවලි කරා යාමට හැකියාව උදාකරවීමට තරම් දිගු වූවකි. තරග ඉසවුව හෙල්ල වීසිකිරීම ය. 2004 වසරේදී ඇතෑන්ස් හි දී හා 2016 වසරේ දී රියෝ ද ජැනයිරෝ හි දී පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් දිනාගත්තේ ඉන්දියාව තුළ ජාතික මට්ටමේ වාර්තාවක් ද පිහිටුවමිනි. ඒ,පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලි ද්විත්වයකට ඉදිරිපත් වී රන් පදක්කම් ද්විත්වයක් දිනාගත් ඉන්දියාවේ මුල්ම පැරාලිම්පික් ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඒ හැරුණුවිට ජජාරියා තවත් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි තුනකට සහභාගී වී තම නිජබිම වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කම් දෙකක් හිමිකර ගත්තේ ය.

ඉන්දියාව යන නාමය ලෝක ක්‍රීඩා සිතියමේ කැපී පෙන්වීමේ වෑයමට කෘතගුණ පළකළ ඉන්දීය රජය පද්ම ශ්‍රී, අර්ජුන්, රජීව් ගාන්ධි කේල් යනාදී සම්මානවලින් ජජාරියාට ගෞරව දැක්වූයේ එහෙයිනි.

ජජාරියා දැනට ඉන්දීය ක්‍රීඩා අධිකාරියේ සේවයේ නිරතව සිටියි. ඔහුගේ බිරිය ද ඉන්දියාවේ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කී කබඩි ක්‍රීඩිකාවකි.

“හුඟාක් අය හිතන්නෙ ආබාධිත අය දුර්වලයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ අය සමාජයට මහා බරක් හැටියට හිතන කොටසකුත් ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. සමහර ආබාධිත අය ළඟ නිරෝගී අයට වඩා වැඩි ධෛර්යයක් තියෙනවා. ඒකට මම හොඳ උදාහරණයක් නෙවෙයිද?” අතක සවිය සදාකාලයටම අහිමි වුවත් ඒ අහිමි වීම හේතුකොට ගනිමින්ම සිය දහස් වරක් සවිමත් වූ හිතක් ගොඩනංවාගත් දේවේන්ද්‍ර ජජාරියා ලොවෙන්ම විමසන්නේය.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments