අභියෝග හා අවිනිශ්චිතතා මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත ගමන අරඹයි | සිළුමිණ

අභියෝග හා අවිනිශ්චිතතා මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත ගමන අරඹයි

 

'ඇරැඹුමේදී ම නොසලකා හැරීම්, නොතැකීම් ගැන කියැවෙන ප්‍රකාශ එංගලන්ත කඳවුරෙන් වාර්තා වෙයි. එය මානසික යුද්ධයක් වන්නටත් පිළිවන. නැඟිටින්නට නොදෙන්නට ගන්නා උත්සාහයක් වන්නට ද පිළිවන. එසේත් නැත හොත් සැබැවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන් නොසලකා හරින ලද කණ්ඩායමක් වන්නටත් පිළිවන. මේ සටහන මෙම මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය ගැන ය.'

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරගමාලා දෙක අතරතුර තමා යම් විවේකයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ය.

”සහාය පුහුණුකරුවන් වන ග්‍රැහැම් ත්‍රෝප් හා කොලින්වුඩ් අවශ්‍ය කටයුතු කරාවි. මෙවන් විවේකයක් නොමැතිව ක්‍රීඩකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම අපහසුයි.” ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණේ ය. එයින් පැහැදිලි වන්නේ එංගලන්තය ශ්‍රී ලංකා පිලේ තරග සංචාරය එතරම් බැරෑරුම්ව නොගන්නා බව ය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම, කණ්ඩායමේ නිල පුහුණුකරුවන්ට නම් කිසිදු සංචාරයක දී එවන් ආකාරයේ විවේකයක් ලබා ගැනීම කෙසේ වෙතත් ඒ ගැන සිතීම පවා අසීරු ය. ඒ මන්ද යත් ඔවුන් හමුවේ අභියෝග රැසක් ඇති හෙයිනි. මුලින්ම පැවැත්වෙන තරග තුනකින් සමන්විත වන විස්සයි විස්ස තරගාවලිය ගැන සඳහන් කළ හොත් එය මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ පෙරහුරුවක් ලෙස සැලකිය හැකි ය. මෙවර විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12 වටය සඳහා ශ්‍රී ලංකාව තේරී නොමැති අතර, ඒ සඳහා සෘජුවම සුදුසුකම් ලබා ඇති රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය යන රටවල් ය.

මේ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය යන ටෙස්ට් තත්ත්වයේ සිටින අනිකුත් රටවල් තුනට සිදුව ඇත්තේ තෝරා ගැනීමේ වටයේ දී ස්ථාන හතරක් සඳහා නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියා, නැමීබියාව, ඕමානය, ස්කොට්ලන්තය යන රටවල් සමඟ තරග වැදීමට ය.මෙහි දී රටවල් හතර බැගින් කොටස් දෙකකට බෙදා තරග පවත්වන අතර එක කොටසකින් කණ්ඩායම් දෙක බැගින් රටවල් හතරක් සුපිරි 12 වටය සඳහා තෝරා ගැනෙයි. මේ යටතේ දැනට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකාව ඔක්තෝබර් 18 දින අයර්ලන්තය සමඟ ද ඔක්තෝබර් 20 පැපුවා නිව්ගිනියා හා ඔක්තෝබර් 22 දින ඕමානය සමඟ ද තරග වැදීමට නියමිත ය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි ද මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වෙනවා. කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ට එහි දී ඔහු සමඟ කටයුතු කළ හැකි යි. එසේ කිරීමෙන් ක්‍රීඩකයන්ගේ වගේම සහායක කණ්ඩායමේ ශක්තිමත් ස්ථාන හා දුර්වලතා හොඳින් තේරුම් ගත හැකියි.”මුඩි කණ්ඩායම සමග එක්වීමේ වැදගත්කම ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා පෙන්වා දෙන්නේ එසේය.

2023 ලෝක කුසලානය සඳහා ස්ථානයක් සොයා යන මේ ගමනේ ශ්‍රී ලංකාවට මෙම සංචාරයේ දී වඩාත් වැදගත් වනුයේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දක්වන දක්ෂතා ය. ශ්‍රී ලංකාව මේ වන විට සිටිනුයේ ලෝක කුසලාන සුපර් ලීග් වටයේ 13 වන ස්ථානයේ නැති නම් අවසන් ස්ථානයේ ය. එකම තරගයකට හෝ ක්‍රීඩා නොකර 13වැනි ස්ථානයේ සිටි නෙදර්ලන්තය පසුගිය දා අයර්ලන්තය පරාජය කර ඉහළට යෑම මීට ඉවහල් විණි.

මේ අනුව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනද සමඟින් ශ්‍රී ලංකාවට මේ සඳහා ඉතිරිව ඇත්තේ තවත් තරග 18 කි. නිමාවට පත්වූ බංග්ලාදේශ හා කොදෙව් සංචාර සමඟ සසඳන විට මෙම එංගලන්ත තරගාවලිය ඉතාමත් අසීරු එකකැයි කිව යුතු ය. සමහර විට පසුගිය සංචාර දෙකේ දී පැවැති තරග හයෙන් අවම වශයෙන් තරග තුනක් හෝ ජය ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ එක තරගයක් හෝ ජය ගැනීම ප්‍රමාණවත් වීමට ඉඩ තිබුණේ ය. නමුත් එසේ නොවීම මත වර්තමානයේ ශ්‍රී ලංකාවට සිදු ව ඇත්තේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය පිණිස සටන් වැදීමට ය.

මේ අනුව ශ්‍රී ලංකාවට මෙවර තරග වැදීමට සිදුවන්නේ සුපර් ලීග් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙහි සිටින එංගලන්තය සමඟ ඔවුන්ගේ භුමියේදීම ය. විශේෂයෙන්ම දෝලනය වන පන්දුව, වරින් වර වෙනස් වන කාලගුණික තත්ත්වය මධ්‍යයේ කඩුල්ලේ සිදුවන වෙනස් වීම් වැනි සම්පූර්ණයෙන්ම අවාසිදායක තත්ත්වයක් යටතේ ය.

එමෙන්ම කණ්ඩායමේ නව නායක කුසල් පෙරේරාට තම නායකත්වය රැක ගැනීමේ අභියෝගය ද පවතී. ඒ කුසල් නායකත්වය සඳහා පත් කර ඇත්තේ තරග මාලා දෙකක් සඳහා බවට කලින් වාර්තා වී තිබූ හෙයිනි.

“අප ඔහු තරගාවලි දෙකක් සඳහා පත් කර ඇති බව මා ඔහුට කියා සිටියා. නායකත්වය සඳහා ස්ථාවර වීමේ වගකීම ඔහු සතුයි. ඔහු සාර්ථක වුව හොත් අපිට දිගින් දිගටම ඔහු නායකත්වයේ තබා ගත හැකියි.” මේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන ආකාරය ය.

”අපේ මැද පෙළ මඳක් ශක්තිමත් මදි. නමුත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් තරග රැසකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා යන පිතිකරුවනුත් යම් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙනවා.” ඒ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණ්ඩායම සම්බන්ධයෙන් දරන මතය ය.

“බංග්ලාදේශ සංචාරයේ දී අපි බලාපොරොත්තු වුණේ තරුණ ක්‍රීඩකයන්ට තරග පුහුණුවක් ලබා දෙන්න. එසේ නොමැතිව ඔවුන්ට අත්දැකීම ලබා ගැනීමට පුළුවන්කමක් නෑ.” තේරීම් කමිටු සභාපතිවරයා මීට කලින් පවසා තිබූ අතර, “අප අවසන් තරගයට ක්‍රීඩා කළේ නවක ක්‍රීඩකයන් තිදෙනකු සමඟින්. යම් හෙයකින් අපි එම තරගය පරාජය වුණා නම් හැම දෙනකුම අපිට ඇඟිල්ල දිගු කිරීමට හැකිව තිබුණා.'' ඔහු බංග්ලාදේශය සමඟ පැවැති අවසන් තරගයෙන් පසුව පැවසී ය. කෙසේ වුව ද බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කර සිටි ප්‍රවීණ ක්‍රීඩකයන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් ප්‍රදීප් එංගලන්ත සංචාරය සඳහා කණ්ඩායමට කැඳවා තිබුණ ද පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් විය.

කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් මෙම තරගාවලිය තුළ එංගලන්තයේ තත්ත්වයට අනුව වේග පන්දු යවන්නන් මත පැවරෙන වගකීම අතිවිශාලය. ඊට අත්දැකීම සපිරි දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන මෙන්ම කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු යන වේග පන්දු යවන්නෝ ද කණ්ඩායමේ සිටිති.

“ඔහුට එක විට පන්දුව වේගයෙන් යැවීමට වගේම දෝලනය කිරීමටත් හැකියාව තිබෙනවා. වෙනත් බොහෝ පන්දු යවන්නන්ට එසේ කළ නොහැකියි .” දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම ගැන වේග පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් මහත් බලාපොරොත්තු සහගතව අදහස් දක්වා තිබුණේ ය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් ඉතිහාසය ගැන විමසද් දී මුලින්ම දෙරට විස්සයි විස්ස තරගයකට මුහුණ දී ඇත්තේ 2006 වසරේ දී ය. ඒ ශ්‍රී ලංකාවේ මංගල විස්සයි විස්ස තරගය වූ අතර ඉන් ජය අත් වූයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ය.

අප කවුරුත් දැන ගත යුතු ආකාරයට 1982 ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම තරගයේ දී අනුර රණසිංහ රැස් කළ අර්ධ ශතකය අමතක කළ නොහැකි ය. එදා කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති මංගල තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුව ද ඔහු ඉයන් බෝතම්, බොබ් විලිස් වැනි සුපිරි පන්දු යවන්නන් හමුවේ ලැබූ සටන්කාමි අර්ධ ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු මුලින්ම එංගලන්තයට එරෙහිව එක්දින ජගත් පිටියේ ලද මුල්ම අර්ධ ශතකය ය.

දෙරට මුලින්ම එංගලන්තයේ දී මුණ ගැසුණේ 1983 ලෝක කුසලාන තරගාවලියේ දී ය. එංගලන්ත බිමේ දී ඔවුන් එක්දින ජගත් තරගයකින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ 1998 සංචාරයේ දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ය. මීට අමතරව 2006 ශ්‍රී ලංකාව 5-0 ලෙස මහේල ජයවර්ධන යටතේ එහි දී ඔවුන් පරාජය කිරීමද කිසිදා අමතක කළ නොහැක.

එහෙත් ඒ සියලු ඉතිහාස කතා අලුත් කරන්නට අභියෝගාත්මක වගකීමක් කුසල් ජනිත් පෙරේරා ගේ කණ්ඩායම ඉදිරියේ සූදානමින් ඇති බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතුව ඇත.

අනිල් වීරසිංහ

Comments