ඉන්දියාවේ ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ නෞකාවන්ගේ සේවය පැසසුමට | සිළුමිණ

ඉන්දියාවේ ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ නෞකාවන්ගේ සේවය පැසසුමට

කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වූ  MV X-PRESS PEARL නෞකාවේ ආපදා තත්ත්වය කලමනාකරණය කරගැනීම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් සේවය ඇගයීමේ ලිපි ප්‍රදානය කිරීම අද (10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.
 
MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහය වන ලෙස නාවික හමුදාපති විසින් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් සිදුකළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ සහ ‘වජ්රා’ නෞකාවන්  මැයි 25 සහ 26 දිනයන්හිදී සහ සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාව  මැයි 29 දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ  MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය පාලනය කිරීමේ මෙහෙයුම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව දායක විය.
 
ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිකුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අ‍යත් අදාළ නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ මෙහෙයුමට මුලින්ම සම්බන්ධ වූ පාර්ශවයක් ලෙස අනෙකුත් පාර්ශවයන් හා එක්ව එම මෙහෙයුම හමුවේ විදහා දැක්වූ විශිෂ්ඨ වෘත්තීය නිපුණත්වය සහ කැපවීම අගය කරමින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාවේ අණදෙන නිලධාරී කේ සිතාරාම් වෙත සහ ‘වජ්රා’ නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඇලෙක්ස් තෝමස් වෙත මෙලෙස සේවය අගය කිරීමේ ලිපි ප්‍රදානය කිරීම කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණි.
 
එසේම මේ වන විට ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අ‍යත් ‘වෙබාව්’නෞකාව නැවත මව්රට වෙත යාත්‍රා කර ඇති බැවින්, එහි අණදෙන නිලධාරී ආඥාපති සුරේශ් කුරුප්  වෙත ප්‍රදානය කරන ලද සේවය අගය කිරීමේ ලිපිය ඔහු වෙත ලබා දීම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කෙරිණි.
 
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යා‍ලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ. 
 

Comments