සිංහල දෙමළ සංස්කෘතික පාලම | සිළුමිණ

සිංහල දෙමළ සංස්කෘතික පාලම

 

සාහිත්‍ය නිර්මාණකරුවාට වර්ගය, ජාතිය, කුලය, දුප්පත් පොහොසත් බව ඈ මේ කිසිවක් නිර්මාණකරණයේදී අදාළ වන්නේ නැත. කලාකරුවා මානව දයාවෙන් පිරිපුන් ව සමාජය වෙනුවෙන් දයාවේ රටාව වියන්නෙකි. සිය පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන බලය පසුපස ලුහුබඳින්නා මෙන් නොව කලාකරුවාගේ මනස අනෙකාගේ දයාර්ද්‍ර බවේ බලාපොරොත්තුව වෙන්නේ ඒ නිසා ය.

තිස්වසරක යුද්ධයක් අවසන ඒ යුද්ධයේ අසීමිත මානව ක්‍රෑරකම්වලින් බැට කෑ ජාතීන් දෙකක අන්‍යෝ න්‍ය සුහදතාව වර්ධනය කරගැනීමේ මූලික ම හා ශක්තිමත් ම පදනම අප අතින් ගිලිහී ගියේදැයි සිතෙන්නේ දමිළ සාහිත්‍යය අපට තවමත් ආගන්තුක නිසා ය. සහෝදර දමිළ ජනතාවගේ සිතුම් පැතුම්, ප්‍රාර්ථනා ලෝකය සහජීවනයේදී ආගන්තුක නොවුණත් නිර්මාණකරණයේදී තවමත් අපට ආගන්තුක ය. උපාලි ලීලාරත්න, මහාචාර්ය කේ. සිවතම්බි, මඬුළුගිරියේ විජේරත්න ප්‍රමුඛ පිරිසක් මේ කාර්යයේ නිරත වී සිටියද ඊට නිසි වටිනාකමක් ලැබුණේ ද යන්න අප සිතා බැලිය යුතු ව ඇත.

සංස්කෘති අතර පාලමක් නිර්මාණය කිරීමේ මූලික අවැසිතාවට ඒකපුද්ගල කැරලි ගැසූ අතළොස්සක් දෙනා අතර ආචාර්ය, දෙමළ භාෂා පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න කලාකරුවාට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ඔහු සිය දිවිගමනේ සැලකිය යුතු කාල පරාසයක් වෙන්කර ඇත්තේ මෙකී සමාජ අවැසිතාව වෙනුවෙනි.

‘මා විසින් පරිවර්තනය කර ඇති දෙමළ නවකතා අතුරින් නොයල් නඩේසන් විසින් 2011 දී මුද්‍රණය කළ කෘතියක් වන ‘වන්නානි කුලමි‘ (සමනල වැව) යන කෘතිය පරිවර්තනය කර මුද්‍රණය කිරීමට හේතු වූයේ එම කෘතියෙන් ලංකාවේ වාර්ගික ප්‍රශ්නය මැනවින් සාකච්ඡා කර ඇති නිසා.

ප්‍රජා දෙක අතර මතභේද හා අසමගිකම්වලට තුඩුදුන්, විසංවාදී දේශපාලනයට ප්‍රතිරෝධයක් ලෙස සොඳුරු බැම්මකින් බැඳෙන සූරියන් හා චිත්‍රා මෙහි කතානායකයා හා නායිකාවයි. කතන්දරයේ බොහෝ දෙමළ හා සිංහල චරිත ද මෙලෙසම මිත්‍රශීලී හා සාමකාමීව දිවි ගෙවති; එසේ කිරීමට තැත්කරති.

මෙම කෘතියෙහි නාමය වන වන්නාතිකුලමි යන්නෙහි තේරුම සමනල වැවයි. පදවිය නැමති සිංහල ගම සඳහා වූ දෙමළ නාමය එයයි. මෙම රමණීය ග්‍රාමය උතුරේ ජන විකාශය වෙනස් කළා වූ ජනන්දකරණ මූලෝපයේ එක් අවස්ථාවකි.

සිංහල බහුතරත්ව ජාතිවාදයේ සංකේතයක් ලෙස පදවිය දෙමළ සාමූහික සමෘතියේ සනිටුහන්ව තිබේ. නවකතාවේ පසුතලය වශයෙන් පදවිය යොදා ගැනීමෙන් හා සමහර ගම්වැසියන් එහි ප්‍රධාන චරිත වශයෙන් තෝරා ගැනීමෙන් ඔවුන් ආක්‍රමණිකයන් වශයෙන් නොව සාමාන්‍ය වැසියන් ලෙස නිරූපණය කිරීමට කතුවරයා සමත්ව තිබේ. මෙම පර්යාලෝකය නිසැකවම ජනවාර්ගික ද්වේශ සහගත හැඟීම් අඩු කරනු ඇති බව මගේ විශ්වාසයයි.

දෙවන උදාහරණය වනුයේ ජනවාර්ගික දේශපාලනය විවාහයට බාධාවක් ලෙස හුවා දක්වන ඛේදජනක තත්ත්වයයි. සහජ මිනිස් හැඟීම් හේතුකොට ගෙන එක්වන හදවත් පවත්නා දේශපාලන පරිසරය අමතක කිරීමට තැත් කළද, රටේ පවත්නා තත්ත්වය එය වළක්වයි.

මේ සඳහා පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කර නැත. සඳහන් කර ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නය උග්‍ර වුවහොත් සිංහලයකු විවාහ වී සිටින දෙමළ ජාතිකයකුට දෙමළ පළාත්වල ද රැකවරණ ලබාගත නොහැකි වීමයි. මෙය කෙතරම් ඛේදජනක තත්ත්වයක්ද? සූරියන් හා චිත්‍රාට සිය නිජබිමෙහි ජීවත් වීමට නොහැකි බැවින් අවසානයේදී ඔවුහු විදෙස් ගතවීමට තීරණය කර විදේශයකට යන්නේ ඒ නිසා ය.

මෙම නවකතාවෙන් ජනවාර්ගික ප්‍රශ්නය මනාව කතාබහට ලක් කිරීමට කතුවරයා සමත් වීම නිසා මෙය කියවීමෙන් පසු පරිවර්තනය කළෙමි. මෙය මගින් ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල ජන කොට්ඨාස දෙක අතර පවතින භේද භින්න වීම තරමක් හෝ අඩුවනු ඇතැයි මා බලාපොරොත්තු වුණා. ජාතිවාදි කලබලයකදී ඔවුනොවුන්ට රැකවරණය ලබා දීමට මිනිස් සංහතියම පෙලඹවීම මාගේ තවත් අරමුණක්. වෙනත් දෙමළ කෘතිවලට වඩා මෙම කෘතිය සිංහල පාඨකයාගේ හදවත් වලට සමීප වනු ඇතැයි මගේ විශ්වාසයයි.

මෙම කෘතිය පරිවර්තනය කිරීමට මට අවුරුද්දක් පමණ ගත විය. අවශ්‍ය තරම් සිංහල දෙමළ ශබ්ද කෝෂ නැති වීම එයට ප්‍රධාන කාරණයයි‘

කවිය තරම් මානව හදවත් ස්පර්ශ කරන සූක්ෂ්ම කලා මාධ්‍යයක් නැති තරම් ය. එය ජාති ආගම් කුල මල බේද පසෙක ලා පාඨක හදවත් ස්පර්ශ කරන්නේ ය.

එහෙත් දෙමළ කවි කීයක් අප සිංහල ජනසමාජය කියවා ඇත්දැයි ඇසුවහොත් ලැබෙන පිළිතුර බහු වාර්ගික රටක ජීවත් වෙන වැසියන් ලෙස අප ලැජ්ජා විය යුතු තත්ත්වය පවතී; මෙය සිංහල ජනතාවට පමණක් නොව දෙමළ ජනතාවට ද පොදු ය. ඔවුන්ගේ සමාජයේ සිංහල කවියට ඇති ඉඩකඩ බෙහෙවින් අල්ප ය. වැරැද්ද ජනතාවගේ නොව මෙකී සංස්කෘතික පාලම සකස් කිරීමේ ලා මාර්ගය සකස් නොකළ වුන්ගේ ය. ඛලීල් ජිබ්රාන්ලා, පුෂ්කින්ලා, වෝල්ටර් විට්මන්ලා දන්නා අය සහෘදය දෙමළ කවීන් වන මේමන් කවීවත් නොහැඳනීම ඛේදයකි.

මෙකරුණ ගැන සවිඥානික ආචාර්ය මඩුළුගිරියේ විජේරත්න මෙකී කාව්‍ය සංස්කෘතික පාලම නිර්මාණය කිරීමේ ලා ආයාසකර මාර්ගයට පිළිපන්නේ ය.

‘දෙමළ සාහිත්‍යයේ කවියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයක්. මන්ද ඒ සාහිත්‍ය ආරම්භ වූයේ කවියෙන් නිසා. මෙහිදී කතාබහට ලක් කරනුයේ දේශපාලන කවියකු වන එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ කවියක්.

ආචාර්ය මුරුගේසු පිල්ලේට

කොහේදෝ උපන් ගීතය

මෙහි ගීතයක් වීය වේදය

කොහේදෝ උල්පතක් මතුවුණා

ගඟ ගීයක් ගයයි පහළට

කොහේදෝ උපන් උණ පඳුර

නගයි වෙන තතක නාදය

කොහේදෝ පාව ගිය ඔරුව

සැදුණි දිව ඔසුවක්ව

කොහේදෝ නිපන් සිතිවිලි

තටු සලයි සරුංගලයක්ව

කොහේදෝ විසිවුණ බිජුවටක්

ගසක් වී හද සැලෙන රාවය

කොහේ දෝ කැටිවුන සෙනෙහසක්

නිම්නයක් වීය සිහිල දනවන

කොහේදෝ පාවෙන වලා පෙළ

හාදුවක් වීය උණුසුම්

කොහේදෝ ජනිත වූ රසවිත

දමිළය වීය සත්සර..

පිපුණ හොත් සිතක් යමකට

සැනසුමකි සුවහසක් දනන්හට

කොහේදෝ පහළ වූ දිය උපුල

විහිදුවය පිනිදිය සුවඳ දස අත

මේ පැදිපෙළ අෂ්රොෆ් කවියා විසින් රචිත ‘නාන් එනුම් නී‘ (මමද ඔබම වෙමි) කෘතියෙන් උපුටා ගත්තක්.

ශ්‍රී ලංකාවේ එක ම දේශපාලන කවියා අෂ්රොෆ් වීම මා අතින් මේ කවිය පරිවර්තනය වීමට හේතු කාරණාවක් සේ දැක්විය හැකිය.

මන්ද දේශපාලකයෝ ද සෞන්දර්ය වාදයට ඇළුම් කරන අය විය හැකි නිසා. ඔහු විසින් මෙම කවිය කල්මුණේ ප්‍රදේශයේ විසූ එමෙන්ම ඔහුගේ ගුරුවරයකු වන මුරුගේසු පිල්ලෙයි නැමති ආචාර්යවරයා සිහිපත් කිරීම පිණිස ලියැවීම මෙහි කැපී පෙනෙන කරුණක්. මෙයින් කවියා අදහස් කරන්නේ ස්වභාව ධර්මයේ යම් යම් දේවල් කොහේ ඉපදුණත් තවත් තැනක මානවයාට ප්‍රයෝජනවත් වේ ය යන්නයි.

දකුණු ඉන්දියාවේ ප්‍රථම දේශපාලන කවියා වන එම් කරුනානිදි (දකුණු ඉන්දියාවේ හිටපු මහ ඇමතිවරයෙක්) ගේ මඟ ඔස්සේ යමින් අෂ්රොෆ් තම කවි කෙත සකසා ගැනීම විශේෂත්වයක්. අෂ්රොෆ්ගේ බොහෝ කවි විමර්ශනය කරන විට අපට පෙනී යන්නේ ඔහු විසින් මිනිස් ජීවිතයේ යථාර්ථය හඳුනා ගත් කවියකු ලෙසයි. ඔහු කවි තුන්දාහක් පමණ ලියා ඇති අතර, ඔහුගේ ජීවිතය ම කවියක් යැයි ඔහු මා සමඟ වරක් පවසා තිබෙනවා. ඔහු ඇමතිකමේ රාජකාරි කරන අවස්ථාවේදී වුවද කවි සිතිවිල්ලක් පහළ වුවහොත් රාජකාරිය නවත්වා කවිය ලියන බවද ඔහුගේ ‘නාන් එනුම් නී‘ කෘතිය සඳහන්.

කෙටිකතාව බොහෝ පාඨක පිරිසක් ඥානනය කරන්නකි. සියුම් මානව හැඟීම් විදාරණයේ ලා කෙටිකතාව දෙවැනි වන්නේ කවියට පමණකි. දෙමළ කෙටිකතා බොහොමක් සිය ජනතාවගේ ගැටලු හා අවශ්‍යතා පිළිබඳ අවැසි බවෙන් ලියැවුණු ඒවා ය. ආචාර්ය මඬුළුගිරියේ විජේරත්නයන් සිය සිංහල- දෙමළ ද්විභාෂා සවිඥානිකත්වයෙන් බොහෝ සේවයක් කර ඇත්තේ කෙටිකතා කලාව ඔස්සේ යැයි කිවහොත් අප නිවැරදි විය යුතුය.

‘මා විසින් දැනට දෙමළ කෙටිකතා දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පරිවර්තය කර තිබෙනවා. මගේ පළමු වන දෙමළ කෙටිකතා සංග්‍රහය පළවූයේ 1996 දී. එය ‘උරුමය‘නමින් පළ වුණේ.

දෙමළ යාපනය සමාජයේ සහෝදර බැම්ම ඉතා ප්‍රබලයි. මේ කෙටිකතාවේ කතා නායිකාව පූමණි නමින් හැඳින්වෙන විවාහයක් නොමැතිව ගෙදරට වයස යන යුවතියකට ඇතිවන ඉරණම විස්තර කෙරෙන්නක්.

කුරිරු යුද්ධය නිසා තම වැඩිමහලු සොහොයුරිය අහිමි වන පූමණි නිවසෙහි තනි වේ. යුද්ධය ගැන දැඩි ලෙස විස්තර කිරීමට කතුවරිය උත්සාහ නොකළත් යුද්ධයට අවශ්‍ය ම දෙයක් හැටියට බෝම්බය ගැන කීමට අමතක නොකරයි. ඇය කෙටිකතාව ලියන වකවානුවේ මේ රටේ ප්‍රධාන නගරවල බෝම්බ පිපිරුණා. මේ නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් දැයට අහිමි වුණා. මේ මඟින් මතුවන සමාජ ගැටලු බිඳක් විස්තර කිරීමට කතුවරිය යම් උත්සාහයක් දරා තිබෙනවා.

පූමණිගේ මල්ලි රවිකුමාර්. ඔහු හදාවඩා ගන්නේ පූමණි. මව වියෝවීමෙන් පසු තම අක්කාට ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙන ඇය මල්ලී බලා ගනිමින් නිවසෙහි වැඩ කටයුතු කරන්නී ය.

මල්ලීත් අක්කාත් විවාහ සිදුකර ගත්තත් පූමණීට විවාහයක් කරගැනීමේ අවකාශය ලැබෙන්නේ නැත. තාත්තාගෙන් උරුම වන දේපළ තිදෙනාටම අයිති වුණත් පරම්පරාවෙන් එන දේපළක වැඩි උරුමයක් ඇත්තේ පිරිමි දරුවන්ට ය යන සංකල්පය මත හිඳ රවි කුමාර් එය තනිවම අයිතිකර ගැනීමට මාන බලයි. එමනිසා කුරිරු යුද්ධයෙන් තම සහෝදරිය අහිමි කර ගන්නා පූමණි මේ පැනයේදි අතරමං වෙනවා.

කුඩා කල මවක් සේ රැක බලා ගත් අක්කාට පසුව රවිකුමාර් සලකන අයුරු පෙන්වා දීමටත් යුද්ධයෙන් අසරණ වන දියණියකගේ ජීවිතයේ ඛේදවාචකය ගැන විවරණය කිරීමටත් කතුවරිය මේ කෙටිකතාව යොදා ගන්නවා.

මෙම කෙටිකතාව ලියන කතුවරිය ගැන යමක් කියතොත් එහි විශේෂත්වයක් තියෙනවා. මන්ද යාපනයේ ජන සමාජයේ එකදාස් නමසිය පනස් ගණන්වල කාන්තාවට ලිවීමට පවා තහනම්.

මෙම කතාව ලියන කතුවරිය නමින් අන්තලක්ෂ්මි. මේ ලේඛිකාව කලාවට අවතීර්ණ වූයේ ‘යාල් නංගෛ‘ යන ආරූඪ නමින්. එදා යාපනයේ සමාජය කාන්තාවක් ලියනවා යැයි ප්‍රසිද්ධියට පත්වුවහොත් ඇය එම සමාජයේ පිළිකුළෙන් හෙළා දකින නිසා එසේ ආරූඪ නමින් ලිවීම ආරම්භ කළා. මේ කෙටිකතාව පරිවර්තනය කිරීමට හේතු වූයේ යාපනයේ සමාජය ගැන අංශු මාත්‍රයක අදහස් දීමට කුරිරු යුද්ධය නිසා සිංහල සමාජයේ පමණක් නොව දෙමළ ජන සමාජයේ ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇති අයුරු විදහා දැක්වීමටයි.

මේ වැනි අත්දැකීම් අප සමාජයටද ආගන්තුක නැත. දෙමළ ජන සමාජයේ ද මේ ආකාරයේ සමාජ ගැටලු ඇති බව පෙන්වීමට මෙමඟින් මට පෙලඹවීමක් ඇති කළා.

මිනිස් සංහතියටම ඇත්තේ එකම ගැටලුවක් ය යන්න කියාපෑමෙන් මිනිසුන් අතර අන්‍යෝන්‍ය බැඳීම ඇති කිරීමට මේ කෙටිකතාවෙන් මම උත්සාහ කළා. තවද යුද්ධයෙන් සිංහල ජීවිත මෙන්ම දෙමළ ජීවිත ද අහිමි වන බව පෙන්වීම මගේ ඊළඟ ප්‍රයත්නයයි. සාමාන්‍යයෙන් දෙමළ කෙටිකතාවක් පරිවර්තය කළා යැයි ඒ කාලයේ සමාජයෙන් ලැබුණ අවලාදත් මේ කෙටිකතා සංග්‍රහ නිකුත් කිරීමට කලින්ම මට ලැබුණා‘

දෙමළ කෙටිකතාවක් සිංහලට පරිවර්තනය කිරීම නිසා එවැනි සමාජ අවලාදයකට පරිවර්තකයාට ලක් වීමට තරම් මේ සංස්කෘතික ම ය හිදැස පුළුල් වී තිබීම ඛේදජනකය.

දෙමළ, සිංහල හෝ වෙනත් ඕනෑම සාහිත්‍ය නිර්මාණයකින් කරන්නේ සකල මිනිස් සමූහයාට ම ඇත්තේ පොදු මානව හැඟීම් හා දුර්වලතා ය යන්න විදාරණය කිරීම ය. ඉරි කොටු ගසා වෙන් කරගත්ත ද මිනිසා යනු එක ම වර්ගයේ ජීවියෙකි.

විවිධ අනවබෝධතා විසින් ඈත් කරන ලද විවිධ බලලෝභී අවශ්‍යතා වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන මිනිස් පරපුරක් බිහිවීම ගැටලුවකි.

මානව හෘදය සාක්ෂිය පමණක් ම ඉතිරි වීම මේ මනු ලොවට ප්‍රමාණවත් ය. ආචාර්ය මඬුළුගිරියේ විජේරත්න මේ කරමින් සිටින්නේ නිර්මාණකරුවකු අතින් සිදු විය යුතු අත්‍යවශ්‍ය වගකීමකි.

Comments