කබ­ළෙන් ළිපට වැටුණු වෙසක් කූඩු වෙළෙන්දෝ | සිළුමිණ

කබ­ළෙන් ළිපට වැටුණු වෙසක් කූඩු වෙළෙන්දෝ

අපේ තාත්තලාගේ කාලේ ඉඳලා තමයි මෙහෙ වෙසක් කූඩු වෙළඳාම කෙරෙන්නේ. කොට්ටාවෙ එක්කෙනෙක් හැරුණුකොට මේ ගමේ අය තමයි මෙතන විකුණන්නේ. ඉස්සර වෙසක් කාලෙට හොඳට බිස්නස් තිබුණා. දැන් අවුරුදු 3ක ඉඳලා වෙළඳාමක් කරගන්න විදිහක් නෑ.

වෙසක් උත්සව කාලෙට තොරණ, වෙසක් කූඩු, බෞද්ධ කොඩි ආදී නෙක වෙසක් සැරසිලි හා දන්සල්වලින් කොළොම්පුරය එකම සැණකෙළි සිරියක් ගනී. වෙසක් කාලෙට වෙසක් කූඩුවක්, කොඩියක් එල්ලන්නේ නැති නිවෙසක් නොමැති තරම්ය. මෙවරද බොහෝ පොදු ස්ථාන හා නිවෙස්වල නොයෙක් වර්ගයේ වෙසක් සැරසිලිවලින් අපූරුවට සරසා තිබෙන අයුරු සංචරණ සීමා අස්සේ කොළොම්පුරයේ සංචාරය කළ මාහට දක්නට ලැබුණි.

 

මෙම වෙසක් කූඩු වර්ග තම තමන්ගේ නිවෙස්වල තනා ගැනීමට පැරැන්නන් කාලය වැය කළද අද වන විට බහුතරයක් පුරුදුව සිටින්නේ වෙසක් කූඩු මිලදී ගැනීමටය. තොග වශයෙන් හා සිල්ලරට වෙසක් කූඩු තනා අලෙවි කරන වෙළෙඳුන් අගනුවර සිටින අතර මේ දිනවල ඔවුන්ගේ වෙළඳාම් කටයුතු පිළිබඳ සොයා බැලුවෙමු.

මරදාන පාර, වෙසක් කූඩු සාදා විකුණන අසංක ද සිල්වා (42) පවසන්නේ මේ වසර දෙක තුන කිසිදු ආදායමක් නොමැති බවයි. මහ රෝහල අසල චීන සමාගමක පෙදරේරුවකු වශයෙන් සේවය කළ අසංක ජීවත් වන්නේ මව හා පියා සමඟිනි. ඔහු අලෙවි කරන්නේ කාඩ්බෝඩ් හා සෙලෝපේන් වලින් සැදූ වෙසක් කූඩුය. ඉස්සර නම් වෙසක් කාලෙට ඔහු ළඟ හත් අට දෙනෙක් වැඩ කළත් දැන් පවුලේ අය සමඟ පමණක් කූඩු සාදන්නේ අලෙවිය අඩු නිසාය. අඟල් 8ක කූඩුවක් සෑදීමට ඔවුන්ට ගතවන්නේ විනාඩි 5කි. කාඩ්බෝඩ් කූඩුවට අවශ්‍ය මූලික සැකැස්ම කලින්ම මුද්‍රණය කරන්නේ අච්චුව සකසා දීමෙන් පසුවය. මේ ඔහුගේ හඬයි.

“වෙසක් කූඩු හදන්න අමුද්‍රව්‍ය වෙනමම ගේනවා. කූඩු හදන අයට කීයක් හරි දෙනවා. ඉස්සර අපේ වත්තේ සේරම වෙසක් කූඩු අලවනවා. ඒත් දැන් අලෙවිය හරිම අඩුයි. සමහර කූඩු අපි රු. 110ට ගෙනැත් රු. 150ට විකුණනවා. මේ සැරේ අමුද්‍රව්‍ය හුඟාක් ඉතුරුයි. ලබන වසර වෙද්දි වේයෝ, කැරපොත්තෝ කාලා විනාශ වෙනවා. බෞද්ධ කොඩි 100ක් විකුණගන්න බැරිවුණා. ඉස්සර වෙසක් කූඩු පිහිටෙන් සේරගෙම බඩ කට පුරවනවා. දැන් මගේ බඩ පිරෙන්නෙත් වතුරෙන්.“

ඔහුගේ මව මේරි සින්නතම්බි (70) දෙමළ ජාතික වුවත් විවාහ වී ඇත්තේ සිංහල බෞද්ධ සුනිල් ද සිල්වා සමඟය. වෙසක් කූඩුවක් විනාඩි කිහිපයකින් සාදා නිම කිරීමට ඇයට හැකියාවක් ඇත. මෙදා ගෙදර වැඩ කරන අතර දිනකට වෙසක් කූඩු 15ක් පමණ සැදුවත් වෙනදාට කූඩු 100 විතර හදන්නේ මුළු දවසම එයට කැප කරන නිසයි. ඔවුන් කූඩු හදන්නේ මුදල් පොලියට ලබාගෙනය. වෙනදාට පාරේ ගමන් කරන අය, පාසල් දරුවන් හා ආයතනවලට කූඩු අරන් ගියත් මෙවර අලෙවිය ඉතා සුළු ප්‍රමාණයක් බව ඇය ද පැවසුවාය.

“මහත්තයා බෞද්ධ නිසා ගෙදර බුදුන් වඳිනවා. ඉඳහිට කොච්චිකඩෙත් යනවා. සැමියා කලින් වැඩ කළේ නගර සභාවෙ. දැන් අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. හරිම අමාරුවෙන්.“

මරදාන පන්සල්වත්තේ පදිංචි කේ.පී. විමලසිරි (73) ත්‍රී රෝද රථ රියදුරු රැකියාව කරන අතර සංචරණ සීමා නිසා ඔවුන්ට එම රැකියා කරගත නොහැකි වීම නිසා කිරුළපනෙන් කූඩු ගෙනත් විකුණූ අතර විශාල ලාභයක් නොලැබූ බව කියයි. වෙසක් කූඩු මිලදී ගැනීමට ජනතාව එක්රැස් වන නිසා පොලිසියෙන් බාධා කිරීමේ සිදුකරන බවද ඔහු පැවසීය.

“මම අඳුනන කෙනෙක් කිරුළපන වෙසක් කූඩු හදනවා. ත්‍රීවිල් දුවන්නත් බැරි නිසා කූඩු ගෙනත් විකුණුවා. රු. 200ට ගෙනත් රු. 50ක් ලාභයක් තියාගෙන රු. 250ට දුන්නෙ. පාරේ යන එන අයයි, අහල පහල අයයි ගත්තා.“

ඊළඟට මා ගියේ දෙමටගොඩ වනාතමුල්ල සීමාවේ කුඩා කඩයක් පවත්වාගෙන යන, වෙසක් කූඩු තනා විකුණන ඇම්.ජී. රූපාවතීගේ (60) නිවසටය.

ප්‍රදේශයෙන් වෙසක් කූඩු තැනීමේ අමුද්‍රව්‍ය මිලට ගන්නා ඇය වෙසක් එකට මාසයකට පමණ කලින් කූඩු තැනීමට පටන් ගනී. වැඩිපුරම හදන්නේ අටපට්ටම් කූඩුය. රු. 100ට රු. 150ට කූඩුවක් අලෙවි කරයි. ඇයට වෙසක් කූඩු තැනීමට කියා දී ඇත්තේ ඇගේ පියා විසින් වන අතර දැනට ජීවතුන් අතර නැති පියා ගැන සිහියට නැගෙන විටත් රූපාවතීගේ දෙනෙතේ කඳුළු කැට රූරා වැටෙයි.

“අපි නැති කාලෙක රස්සාවක් කරලා කාපන් කියා තමයි තාත්තා ඉගැන්නුවේ. කොරෝනා හින්දා මේ සැරේ ටිකයි හැදුවේ. ටිකයි විකුණුනේ. මිනිසුන්ට ගන්න සල්ලිත් නෑ. ඉස්සර කම්පැනි වලිනුත් එනවා. වෙසක් එකටත් රට වහලා නිසා කවුරුත් ආවෙ නෑ.“ ඈ පැවසුවාය. ඇගේ පුතා ක්‍රිෂාන් හර්ෂණ ද (24) ඈ සමඟ කඩේ වැඩට උදව් වන අතර වෙසක් කූඩු ද අලෙවි කරයි.

“මම කොන්ත්‍රාත් වැඩ කරන්නේ. මේ දවස්වල වැඩ නැති නිසා අම්මට උදව් වෙනවා. අටපට්ටම් හදන්නත් ඉගෙන ගත්තේ අම්මගෙන්. උණ බට වෙසක් කූඩු තමයි අපි හදන්නේ. විනාඩි 25 විතර යනවා කූඩුවක් හදලා ඉවර කරන්න.“

දෙමටගොඩ දුම්රියපළ අසල බේස්ලයින් පාරේ කහවලගේ ප්‍රියංකා කුමුදුනී (52) ස්වයං රැකියාවක් ලෙස බෞද්ධ කොඩි, වෙසක් කූඩු, පාසල් කොඩි හා අවමඟුල් කොඩි සාදා අලෙවි කරන්නීය. “වෙසක් කාලෙට මාස 2ට කලින් ඉඳලා වෙසක් කූඩු හදන්නේ. මහත්තයා නැතිවෙලා. පුතාලා දෙන්නයි, දුවයි, ලේලියි අපි සේරම එකතුවෙලා වැඩ කරනවා. දවසකට කූඩු තුන්හාරසීයක් විකුණුනා. කූඩුවක් රු. 250 ක් 300 ක් වෙනවා.

මගේ තාත්තා තමයි මේ ව්‍යාපාරය මුලින් පටන් ගත්තේ. තාත්තා තමයි ලොකුම බෞද්ධ කොඩිය හැදුවේ. අපි පිටරටට, රජයට, ත්‍රිවිධ හමුදාවට නිදහස් දිනයට අවශ්‍ය විවිධ කොඩි ලබා දෙනවා. ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, චීන කූඩුත් අපි ගෙනත් විකුණුවා.“

දෙමටගොඩ බේස්ලයින් පාර දීපදුන්තරා බෞද්ධ කොඩි, වෙසක් කූඩු අලෙවිහලේ හිමිකාරිනී කේ. දීපිකා හේමමාලි (51) ගේ ව්‍යාපාරයට දැනට වසර 30 පමණ වේ. ඈ කොඩි මැසීම ඇරඹුවේ කුප්පි ලාම්පු එළියෙන් පාගන මැෂිමෙනි. බෞද්ධ කොඩි, ජාතික කොඩි, පිටරට කොඩි, වෙසක් කූඩු, පාවාඩ, උඩුවියන්, බුදුරැස් මාලා, සුළු පිරිකර, අටපිරිකර, බල්බ්වැල් ආදී සියලුම වෙසක් සැරසිලි වර්ග ඇගේ කඩයේ ඇත. ඇගේ සැමියා මියගොස් ඇති අතර පුතුන් තිදෙනා ඇයට සහාය වෙයි. උණබට වලින් සැදූ කූඩු මෙන්ම කාඩ්බෝඩ් කූඩු ද ඈ සතුය. ඇය සිළුමිණට මෙසේ කීවාය.

“ජාතික කොඩි, බෞද්ධ කොඩි, පාලම්කොඩි, චෛත්‍ය කංචුක, බුදුරැස්මාලා, මුතු කුඩ නෙළුම් මල්, අපල කොඩි, කොඩිවැල්, උඩුවියන්, පාවඩ, අවමංගල්‍ය කොඩි, සියලුම පාසල් කොඩි අපි නිපදවනවා. දුර පළාත්වල අයත්, පාරේ යන එන අයත් ගන්නවා. බෞද්ධ කොඩි රු. 20 සිටම තියනවා. වෙනදට අපි ළඟ 10 දෙනෙක් විතර වැඩ කරනවා. කොරෝනා නිසා මෙවර 5 දෙනෙක් වගේ ඉන්නේ. දිරිය කාන්තාව, අබිමන් කාන්තාව ලෙස මා සම්මාන පවා ලබලා තියනවා.“

ඇගේ 25 හැවිරිදි පුත් එම්.එස්. ඩිල්ෂාන් මවට උදව් කරන අතර මෙසේ කීය.

“මම පෞද්ගලික ආයතයක රැකියාවක් කරන්නේ. ඒ අතර වෙසක් කාලෙට අම්මට උදව් කරනවා. ලංකාවේ හැම පළාතකින්ම මෙහෙට එනවා බෞද්ධ කොඩි, වෙසක් කූඩු හා බෞද්ධ උපකරණ මිලදී ගන්න. මෙවැනි ව්‍යාපාරයක් ලැබුණේ පෙර පිනකට කියලයි අම්මා නිතරම කියන්නේ.“

කිරුළපන වෙළඳ සංකීර්ණයද වෙසක් කූඩු අලෙවියට නම දැරූ තැනකි. කිරුළපන පොලිසිය මායිමේ පාර අද්දර වෙනදා දක්නට ලැබෙන නෙක වර්ණ වෙසක් කූඩු එකක්වත් දක්නට නොවීය. වෙළඳ සංකීර්ණය අසලින් වත්ත ඇතුළට ගොස් පටු මාවතක මැද දක්වා ගිය විට පෙනී ගියේ ඒ හැම ගෙයක්ම වෙසක් කූඩුවලින් සරසා ඇති බවයි. මේ ගමේ බොහෝ දෙනෙක් වෙසක් කූඩු ව්‍යාපාරයට සම්බන්ධ වී සිටී.

කිරුලපන චමින්ද පෙරේරා (46) සිළුමිණට මෙසේ කීය.

“කිරුලපන පොළ ඉදිරිපිට අපේ කඩ 17 විතර තියනවා. අපේ තාත්තලාගේ කාලේ ඉඳලා තමයි මෙහෙ වෙසක් කූඩු වෙළඳාම කෙරෙන්නේ. කොට්ටාවෙ එක්කෙනෙක් හැරුණුකොට මේ ගමේ අය තමයි මෙතන විකුණන්නේ.

ඉස්සර වෙසක් කාලෙට හොඳට බිස්නස් තිබුණා. දැන් අවුරුදු 3ක ඉඳලා වෙළඳාමක් කරගන්න විදිහක් නෑ. කූඩුවක් රු. 200 - 250 තමයි වික්කේ. ඔෆිස් වලට, ගෙවල් වලට වගේම අපෙන් අරන් විකුණන අයත් කූඩු ගෙනිච්චෙ නෑ. වෙසක් දවසේ ඉතුරු කූඩු හුඟක් නිකං දීලා ඉතුරු ඒවා ගිනිතියලා පිච්චුවා.

මම ගෝල්ෆේස් එකේ සරුංගල් විකුණනවා.

ත්‍රිවිල් එකක් දුවනවා. උණබට ලී මෝලෙන් අරන් තමයි කූඩු හදන්නේ. ඔහොම ගියොත් රස්සාවත් එපා වෙනවා.

මේ අවුරුද්දෙ හදලා ලබන අවුරුද්දේ විකුණන්න කියලා වෙසක් කූඩු තියාගන්න බෑනේ ගෙවල්වල ඉඩක් නෑ.“ ඔහු කථා කළේ මහත් කලකිරීමෙනි.

කිරුලපන චමින්ද පුෂ්පකුමාර (46) රැකියාවක් ලෙස කරන්නේ ත්‍රිරෝද පැදවීම වන අතර ‍වෙසක් කාලෙට කූඩු හදා විකුණයි. මෙවර විකුණා ගැනීමට හැකි වූයේ ඉතා සුළු කූඩු ප්‍රමාණයක් බවත් පැවසූ ඔහු ඉතිරි තොගය මා හට පෙන්වූයේය.

“2019 අවුරුද්දෙ පාස්කු ප්‍රහාරය නිසා බිස්නස් නැතිවුණා. ගිය සැරෙත් මේ සැරෙත් කොරෝනා නිසා රටවහලා. වෙළඳාමක් කරගන්න තිබුණේ දින කීපයයි. මිනිස්සුන්ට එන්න විදිහකුත් නෑ සංචරණ සීමා නිසා. සමහරුන්ට සල්ලි නෑ.

මේ නිසා මේ වතාවෙත් වෙසක් කූඩු හදලා විකුණන අය අසරණ වුණා. මෙහෙම ගියොත් මේ රස්සාවත් මිනිස්සුන්ට එපාවෙයි.“

 සටහන හා ඡායාරූප - නිශානී හේරත් බන්නැහැක

 

Comments