නව ක්‍රීඩාවන්හි අවශ්‍යතාව | Page 2 | සිළුමිණ

නව ක්‍රීඩාවන්හි අවශ්‍යතාව

 

කලකට පෙර එක්තරා රාජ්‍ය පාලකයෙක් සාහිත්‍ය කන්නදැයි සමාජයෙන් විමසීය. එයට සමාජය විසින් පෙරළා පිළිතුරු ලබා දුන්නේ ඔහුගේ එම ප්‍රකාශයේ අනුවණ භාවය දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි. ඔහු එසේ විමසා තිබුණේ මීට දසක ගණනාවකට ඉහත දී වුව ද එය අද ඊයේ සිදු කළාක් මෙන් වර්තමානයේත් දැඩි ලෙස ගර්හාවට ලක්වෙමින් ඇත. එහෙයින් හැඟෙන්නේ එකී අමනෝඥ ප්‍රකාශය අමතක කරන්නට තවමත් අපේ සමාජය සූදානම් නැති බවය.

එහෙත් එකී සමාජ විරෝධය ගැළපෙන්නේ සාහිත්‍යය අරභයා පමණක් නොවේ. එය ක්‍රීඩාව තුළදී ද නිසැක යථාර්ථයකි. මන්ද, සාහිත්‍ය සේම ක්‍රීඩාව ද සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන හෙයිනි. ඇතැම් විට සාහිත්‍ය නොමැති සමාජයක් යම් කාලයක් පැවැතුණ ද ක්‍රීඩාත්මක ක්‍රියාකාරකම් නොමැතිව එක මොහොතක් හෝ පවත්වාගෙන යෑම අසීරු ය.

එය එසේ වන්නේ සමස්ත මානව ක්‍රියාකාරකම් බද්ධව ඇත්තේ ක්‍රීඩාත්මක චර්යාවන් සමඟ වීමය.ඇදීම්, දිවීම්, පැනීම් ආදි සියලු ක්‍රියාකාරකම් ආබද්ධ කළ හැක්කේ ක්‍රීඩාවට ය. ලෝකයේ ක්‍රීඩාව අරබයා සුවිශාල ස්ථානයක් ගොඩනැඟී ඇත්තේ ද ඒ හේතුවෙනි.

එහෙයින් වර්තමානය වන විටත් ලෝකය තුළ විවිධ ක්‍රීඩා නිර්මාණය වෙමින් තිබේ. ඒවා නව ක්‍රීඩාවශයෙන් ගෝලීය සමාජය තුළට හඳුන්වා දෙමින් ඇත. එහෙත් ලෝකය තුළ දැනට ක්‍රියාත්මක ක්‍රීඩා ප්‍රමාණය සලකන කල එලෙස අලුතින් ක්‍රීඩා නිර්මාණය කළ යුතු දැයි ඇතමෙකුට සිතෙන්නට පිළිවන. එසේ සිතන්නවුන් ‘ක්‍රීඩා වැඩි නැද්දැයි’ අසන්නට වුව‍ පෙලඹෙනු නැතැයි කිව නොහැකි ය.

එහෙත් පවතින ක්‍රීඩා ප්‍රමාණවත් යැයි කියා නව ක්‍රීඩා නිර්මාණය වීම නවතාලිය නොහැකි ය. මානව සමාජය ඉදිරිගාමී වන්නේ කෙසේ ද ඒ අයුරින්ම ක්‍රීඩාවේ ප්‍රගමනය සිදුවිය යුතු ය. ඊට අනුරූපීව නව ක්‍රීඩා නිර්මාණයවේ. දැනට පවතින ක්‍රීඩාවන්හි නීති රීති පවා කාලානුරූපව වෙනස්වෙමින් පරිණාමයට ලක්වන්නේ එහෙයිනි.

එලෙසින්ම නූතන සමාජයට ගැළපෙන ආකාරයට නව ක්‍රීඩා නිර්මාණය වීම ද අපේක්ෂා කළ යුතු ය. උදාහරණයකට ‘ස්ත්‍රීන් හා පුරුෂයන් වශයෙන් සමාජය තුළ අසම සැලකිලි නොදක්වා ලිංගික සමානාත්මතාවය ගොඩනැංවෙන ආකාරයේ ක්‍රීඩා වර්තමාන සමාජයට වඩාත් අවශ්‍ය ය. එමඟින් සමාජය ලිංගය අනුව විභේදනය නොවී ඒකමිතිකව සම අයිතීන් සහිතව, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරවිය හැකි ය.

ලෝකය තුළ මලල ක්‍රීඩාවේ මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව හඳුන්වා දෙන්නට මේ වනවිට වත්මන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත්තේ එහෙයිනි. අප මෙවර පුවත්පතේ සාකච්ඡාවට ලක් කරන ‘කෝෆ් බෝල්’ වැනි ක්‍රීඩාවක් මඟින් සිදු කරන්නේ ද එකී සමානාත්මතා අරමුණු සාක්ෂාත් කර ගැනීමට රුකුල් දීමකි. නුදුරු කාලයේ දී අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය මිශ්‍ර ක්‍රිකට් ලෝක කුසලානයක් ආරම්භ කරන්නට තීරණය කළ හොත් එය ද පුදුමයට කරුණක් නොවේ.

එහෙයින් නූතනයේ සමාජගත වන ක්‍රීඩා හෝ ලෝකයේ දිගු කලක සිට පවතින ඇතැම් ක්‍රීඩාවන් සමඟ හෝ රාජ්‍යයන් වශයෙන් අප ද වහ වහා අනුගත විය යුතු ය. ක්‍රීඩා හා සංචාරක ආර්ථික ක්‍රමයක් ගැන අපේක්ෂා තබා ඇති දූපත් රාජ්‍යයක් වශයෙන් අප ප්‍රතිලාභ උදා කරගත හැකි ක්‍රීඩාවන් කෙරේ වැඩි වශයෙන් ආසක්ත විය යුතු ය. විවිධ නීති ඉදිරිපත් කරමින් නොසිට ප්‍රගමනයක් ලැබිය හැකි ක්‍රියාකාරී භාවයක් සහිත ක්‍රීඩාවන් වෙනුවෙන් ලියාපදිංචිය ලබා

දී නීත්‍යානුකූල පිළිගැනීමක් එක් කළ යුතුව ඇත. මේ ඒ සඳහා සුදුසුම කාලය ය

 

Comments