එංගලන්ත වැසියනට එන වෙහෙස දුරලන්න කරන බොබ් විලී පදනමේ සටන | Page 2 | සිළුමිණ

එංගලන්ත වැසියනට එන වෙහෙස දුරලන්න කරන බොබ් විලී පදනමේ සටන

 

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බොබ් විලීස් මිය ගියේ 2019 වසරේ දී ය. ඒ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකට ගොදුරු වීමෙනි. මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත්ව සිටින ඔහුගේ ප්‍රිය බිරිය ලොරෙන් ක්ලාක් විසින් අදාළ රෝගය සම්බන්ධයෙන් සමාජ අවධානය වැඩිදියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටු වීමට කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් බොබ්ගේ සුපිරි සංගීත වීරයා වන අමෙරිකානු ජාතික බොබ් ඩිලන් අරමුදල් තර කිරීමේ වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට ද ක්‍රියා කර ඇත. මේ බොබ්ගේ ආදරණීය බිරිය විසින් සිදු කරන සමාජ ක්‍රියාවලිය සම්බන්ධ කතාවයි.

‘බොබ්ගේ බිරිය ලෝරෙන් ඇගේ ජංගම දුරකථනය බොබ්ගේ සවන මත තබාගෙන උන්නා ය. එයින් වාදනය වෙමින් තිබුණේ ඔහුගේ ප්‍රියතම ගීතය ය. එය ගයමින් සිටියේ ප්‍රියතම සංගීතවේදියා වන බොබ් ඩිලන් ය. එය ‘Positively 4th Street’ වූ අතර එහි අවසන් සංගීත ඛණ්ඩය වාදනය වද්දී බොබ් මෙලොව හැර ගොස් සිටියේ ය.’ ඒ 2019 වසරේ දෙසැම්බරයේ දිනක එංගලන්තය බිහි කළ සුප්‍රකට වේග පන්දු යවන්නා වන බොබ් විලීස් ගේ ජීවිතයේ අවසන් නිමේෂය යි.

බොබ් මෙලෙස මිය ගියේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුකොටගෙන ය. ඒ අන් කවරකුවත් නොව ශ්‍රී ලංකාවට කිසිසේත්ම අමතක නොවන එංගලන්ත කණ්ඩායමේ හිටපු ආරම්භක වේග පන්දු යවන්නා වූ බොබ් විලීස් ය. බොකුටු කොණ්ඩය, උස හා ශක්තිමත් සිරුර මෙන්ම පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන්ට එකල විලීස් යනු හිසරදයකි. වේග පන්දු යවන්නන් රජ කළ හැත්තෑව දසකයේ එංගලන්තය වෙනුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන්ගේ විලෝ පිත්ත මෙල්ල කිරීමට සමත් වූ සමාරම්භක වේග පන්දු යවන්නා වූයේ ඔහු ය.

කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ ඔහු ශ්‍රී ලංකාවට ටෙස්ට් වර්ණ ප්‍රදානය කළ ප්‍රථම ටෙස්ට් තරගයේ දී බන්දුල වර්ණපුරට එරෙහිව පළමු ටෙස්ට් පන්දුව යැව්වේ ය. පුරස්ථි ග්‍රන්ථි පිළිකාව එංගලන්තයේ සෑම මිනිත්තු හතළිස් පහකටම වරක් පුරස්ථි පිළිකා තත්ත්වය හේතුකොටගෙන එක් අයකු මිය යන බව වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වයේ ගොදුරක් බවට පත් වන්නට බොබ් විලීස්ට සිදුවන විට ඔහුගේ වයස යන්තමින් අවුරුදු හැත්තෑවක් විය. මේ අනුව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට එරෙහිව සටන් වදින්නට පිරිමින්ට ශක්තියක් වන්නට බොබ් විලීස් නමින් පදනමක් පිහිටුවා ගැනීම වෙනුවෙන් දැන් ඔහුගේ ආදරණීය බිරිය වන ලොරෙන් විලීස් (එහෙත් පසුව ඈ තම මුල් නම වන ලොරේන් ක්ලාක් යන්න භාවිත කරයි) ඉදිරිපත්ව සිටී.

එම පදනමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම වෙනුවෙන් පසුගියදා අසූ වැනි වියට එළැඹි සුප්‍රකට සංගීතවේදී බොබ් ඩිලන්ගේ සහය ලබා ගැනීමටත් ඔහු මෙම පදනමේ ගෞරවනීය අනුශාසක වශයෙන් නම් කිරීමටත් ලොරේන් කටයුතු කර තිබේ.

මේ අනුව බොබ් ඩිලන් නමැති සුප්‍රකට අමෙරිකානු සංගීතවේදියා මෙන්ම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැලඳ ජීවිතය ගලවා ගත් ටිම් රයිස් ද බොබ්ගේ බිරින්දෑ පිහිටු වූ අරමුදල සමඟ එක්ව කටයුතු කරති.

බොබ් ඩිලන්ට ලිපියක් ලියා මෙම පදනමට ඔහුගේ සහය ලබා ගැනීමට කටයුතු කර තිබුණේ ටිම් රයිස් විසිනි. එම ලිපිය බොබ් ඩිලන්ගේ කළමනාකරු ජෙෆ් රොසෙන්ට යොමු කර තිබූ අතර ටිම් එහි මෙසේ සටහන් කර තිබුණේ ය. ‘හිතමිත්‍ර ජෙෆ්, මම ටිම් රයිස්. ජේසුස් ක්‍රිස්ට් සුපර්ස්ටාර්, එවිටා සහ ද ලයන් කිංග්........... හි සම රචකයා වෙමි.

එසේම එම ලිපිය තුළ ක්‍රිකට් ක්‍රීඩකයකු හා මිනිසකු වශයෙන් ඔහු තුළ පැවැති සුවිශේෂී භාවය සම්බන්ධයෙනුත්, බොබ් ඩිලන්ට දැක්වූ කැමැත්ත පිළිබඳත් සටහන් කරන්නට අමතක කර තිබුණේ නැත. එසේම අවුරුදු දහසයේ දී තම මිත්‍ර ක්‍රිකට් ක්‍රීඩකයා සිය නම වෙනස් කර ගනිමින් බොබ් ඩිලන්ගේ නම සිය නමට ඈඳා ගැනීමට කටයුතු කළ බවද ටිම් එම ලිපියේ දැක්වීමට අමතක කර තිබුණේ නැත. එවැනි තත්ත්වයන් යටතේ බොබ් විලීස් ගේ බිරිය විසින් ආරම්භ කරන්නට තීරණය කර ඇති පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට එරෙහි පදනම වෙනුවෙන් ඔහු එක් කර ගැනීමේ අපේක්ෂාවන් දක්වා තිබුණේ ය.

මේ ආකාරයේ ඉල්ලීම් විවිධ අවස්ථාවලදී බොබ් ඩිලන් හට ඉදිරිපත් වී තිබුණද මෙවර එංගලන්තයෙන් සිදු කළ මෙම ආරාධනයට එකඟත්වය දැක්වීමට ඔහු ක්ෂණයෙන් කටයුතු කළේ ය. ඒ අනුව ටිම් විසින් ක්ලාක්ට මේ බව දුරකථනයෙන් දැනුම් දී තිබුණේ බොබ් ඩිලන් ඊට කැමැත්ත පළ කර ඇති බව දන්වමිනි.

‘ඒ බව ඇහුවාම මම ගොඩාක් සතුටු වුණා.’ යැයි කියන්නේ බොබ්ගේ ප්‍රිය බිරිය ලොරෙන් ය. ‘මට විශ්වාසයි, මේ බව දන්නවා නම් බොබ් අනිවාර්යයෙන්ම සතුටට පත්වෙනවා වගේම පුදුමයට පත්වෙනවා කියලා.’ ඈ පවසන්නී ය.

ක්ලාක් හා බොබ් වසර තිහක පමණ ඇසුරකින් පසුව යුග දිවයට එළඹෙන්නේ 2014 වසරේදී ය. එහෙයින් ඈ තුළ ඇත්තේ දැඩි කනගාටුවකි.

‘ඔහු මගේ හොඳ යහළුවෙක් වෙලා සිටියා. ඔහුගේ අවමංගල්‍යය මෙහෙය වූ තැනැත්තා මට ඔහු ගැන වචන තුනකින් හඳුන්වා දෙන්න කිව්වා. එවිට මම කිව්වේ බොබ් කියන්නේ ලජ්ජාශීලි, හාස්‍ය නංවන, අධිෂ්ඨානශීලියකු ලෙසයි. අපි දෙන්නා ඒ කාලේ ඔහුගේ ප්‍රියතම ස්ථානවල වාඩි වෙලා කාලය ගත කරනවා.

දකුණු දිග ලන්ඩනයේ බාර්න්ස් හි ඇතැම් ස්ථානවල ඔහු කාලය ගෙවා දමන්න කැමතියි. දැන් ඒ බංකුව උඩට වෙලා මම දවසේ වැඩි කාලයක් ගෙවා දමනවා.’ ලෝරෙන් පවසන්නී ය.

තේම්ස් නදිය පිස හමන සීතල සුළං පහර විඳ ගනිමින් බොබ්ගේ මතකයන් සමඟ ලොරේන් ඒ බංකුව මත දිග ඇදී සිටින්නී ය. ‘මම රෙදි කඩක්, වතුර බෝතලයක්, කෑම ටිකක් අරගෙන එතැනට යනවා. ගිහින් කුරුලු වසුරු තියේ නම් පිස දාලා බංකුවේ වාඩි වෙලා කාලය ගෙවා දමනවා. එතැන බොබ් වැඩිපුරම ගැවසෙන්න කැමති වුණු තැන.’ ඈ පවසන්නේ හද පිරි ශෝකයෙනි.

මේ අතර ඇය බොබ්ගේ ජීවිතය සම්බන්ධයෙන් ‘ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ මහත්මයෙක්’ යන තේරුම සහිතව කෘතියක් පළ කර ඇත. ලොව සුප්‍රකට ප්‍රකාශන සමාගමක් වන ඇමේෂන් සමාගම විසින් එය මුද්‍රණය කර ඇති අතර, එය එම සමාගම පළ කළ කෘතින් අතර දෙවැනියට විශාලතම අලෙවියක් සහිත කෘතිය ලෙස ද සැලකෙයි.

එම කෘතිය මඟින් උපයන මුදල්ද පුරස්ථි පිළිකා ඇති වීමේ අවදානම සම්බන්ධයෙන් වන අරමුදල තර කිරීමට යොදා ගැනීමට නියමිත ය.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව දැනට මහා බ්‍රිතාන්‍ය තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇති පිළිකාව සේ සැලකෙයි. එය පියයුරු පිළිකා තත්ත්වයටත් වඩා ඉදිරියට ගොස් ඇත. ‘බොහෝ දෙනෙක් පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ මොකකටද කියලා දන්නෙවත නැති තරම්. ඒ නිසා ඔවුන් දන්නේ නෑ එය පිළිකා තත්ත්වයකින් ආසාදනය වුණ හොත් තමන් මිය යාවි කියලාවත්. අපිට අවශ්‍ය වන්නේ එම තත්ත්වය ගැන දැනුවත් කරලා සමාජයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවම කරන්නයි.’ බොබ් විලීස්ගේ බිරිය පවසයි.

‘ආණ්ඩුව පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සම්බන්ධව සිදු කරන වාර්ෂික පර්යේෂණ වෙනුවෙන් පවුම් මිලියන හැත්තෑ පහක් යොදවනවා. කෙසේ නමුත් එය ප්‍රමාණවත් නෑ. ජාතික වශයෙන් මෙම රෝගය නිවාරණය පිණිස වැඩසටහනක් නෑ. රෝගය හඳුනාගත හැක්කේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව සිදු කරන විශේෂ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමකින් පමණයි. නමුත් ඒකත් සියයට සියයක් විශ්වාස නෑ.

මොකද ඒ පරීක්ෂණයට බොහෝ දෙනෙක් යොමු වන්නේ අවසානයට නිසා.’ ඒ ඇය දරන මතය ය.

එවැනි මතයකට පැමිණීමට ඇයට සිදුව ඇත්තේ මුත්‍රා ආසාදනයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බොබ් විලීස් වෛද්‍යවරයා මුණගැසී තිබුණද ඔහු පුරස්ථි පිළිකා තත්ත්වයකින් පෙළෙන බව වෛද්‍යවරයා විසින් හඳුනාගෙන තිබුණේ නැති වීම නිසාය. ‘වෛද්‍යවරුන් ට මාස හතරක් යනතුරු රෝගයක් තිබෙන බවට සොයා ගන්නත් බැරි වුණා. ඔවුන් පුරස්ථි ග්‍රන්ථි ප්‍රතිදේහ පරීක්ෂාවට බොබ් යොමු කළ යුතු යැයි නිවැරැදිව නිශ්චය කර ගත්තෙත් නෑ.’ බොබ්ගේ බිරිය චෝදනා කරන්නී ය.

‘ඒත් අවසානයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් පවතින බව දැනගන්න ලැබුණා. අන්තිමට අපි මුත්‍රා හා වකුගඩු ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හමුවෙන්න තීරණය කළා.

වෛද්‍යවරයා කිව්වේ මේකෙන් ජීවිත තර්ජනයක් නෑ. කිසිම ප්‍රතිකාරයක් නොමැතිව වසර තුනක සිට පහ දක්වා ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා කියා. නමුත් ඔවුන් ඔහුට කිරීමට ඇති සියලු ප්‍රතිකාර සිදුකරමින් දැඩි පීඩනයක් ලබාදුන්නා. රෝගය වැලඳුණාට පස්සේ ඔහු ජීවත් වුණේ වසර තුනයි මාස අටක් පමණයි.

බොබ් යළිත් පුරස්ථි ග්‍රන්ථියේ විශේෂ ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක් කළා. නමුත් ඒ වෙනකොට කාලය ඉක්මවලා ගිහිල්ලා. මාස හතරකට ඉස්සෙල්ලා ඒ පරීක්ෂණය කළා නම් ඔහුට ජීවත් වෙන්න අවස්ථාවක් තිබුණා. නමුත් ප්‍රතිකාර ගන්න යොමුවද්දී වෛද්‍යවරු දැනගෙන හිටියේ නෑ කුමන රෝගයක් සමඟ බොබ් සටන් කරනවාද කියලා. ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් වෙලා හිටියෙත් නෑ. මෙවැනි තත්ත්වයක් උඩ අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ පුරස්ථි පිළිකාවලට වැට බඳින්න, ඒවා නවත්වා ගන්න ක්‍රමවේදයක් ඇති කරන්නයි.’ ඇය පවසන්නීය.

‘මේ රෝගය ගැන කිසි කෙනෙක් තුළ නිවැරැදි අවබෝධයක් නෑ. ඔබට එය වැලඳෙන තුරු ඔබ එය දන්නේ නෑ. නමුත් ඒක මිනිස්සුන්ගේ වරදක් නොවෙයි. ඔවුන් වැරැදි අවබෝධයකිනුයි ඉන්නේ. කාලය විසින් රෝගී තත්ත්වයන් සමහන් කරාවි යැයි ඔවුන් සිතනවා. එය එහෙම නෙවෙයි. අන්තිමට මට බොබ්ව අහිමි වුණා.’ ඈ පවසන්නේ ටෙස්ට් කඩුලු 325 ක් දවාගත් එංගලන්තය බිහි කළ සුපිරි වේග පන්දු යවන්නා කඩිනමින් ජීවිතය හැරයෑම සම්බන්ධව හටගත් ශෝකයෙනි.

ඈ මෙලෙසින් අරගලයක් ආරම්භ කර ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව, බොබ් විලීස්ට සිදුවූ අනර්ථයට සෙසු පුද්ගලයන්ටද කෙදිනක හෝ මුහුණ දීමට අවස්ථාව සලසා නොදීමට ය. ‘බොබ්ගේ හැරයෑම මම අනුමත කරන්නෙ නෑ. නමුත් මට ඔහුගේ නම සදාකාලිකව ජීවත් කරවන්න අවශ්‍යයි. ඔහුගේ නම මඟින් අවධානය ඉහළ නංවලා තවත් මිනිස් ජීවිත කීපයක් හෝ බේරා දෙන්න අවශ්‍යයි.’ ඈ කියන්නී ය.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments