පාසල් දෙකක් අතර මොකද්ද මේ යුද්දේ? | Page 2 | සිළුමිණ

පාසල් දෙකක් අතර මොකද්ද මේ යුද්දේ?

විජයාරාම විදුහලේ දෙමව්පියන් සහ  ආදි සිසුන් සිය දරුවන්ගේ  අයිතීන් වෙනුවෙන් ඉකුත් අප්‍රේල්  22 උඩහමුල්ලේදී පවත්වන ලද උද්ඝෝෂණය
විජයාරාම විදුහලේ දෙමව්පියන් සහ ආදි සිසුන් සිය දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ඉකුත් අප්‍රේල් 22 උඩහමුල්ලේදී පවත්වන ලද උද්ඝෝෂණය

දේවි බාලිකා විදුහල වනාහි අනාදිමත් කාලයක පටන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කී පාසලකි. 1953 වර්ෂයේ දේශබන්දු විමලාද සිල්වා මැතිනිය විසින් කාසල් විදියේ කාන්තා විදුහල නමින් ආරම්භ කළ මෙහි උගතුන්, බුද්ධිතුන් පමණක් නොව ජාත්‍යන්තරය ජයගත් විශාල පිරිසක් දේවි විදුහල් මාතාව ගෙන් බිහි වූවෝ වෙති. මෙරට වෛද්‍යවරියන් බහුතරයක්, ප්‍රථම ඉංජිනේරුවරිය, ප්‍රථම පශු වෛද්‍යවරිය, මහාචාර්යවරියන්, විදුහල්පතිනියන් ඇතුළු විශාල පිරිසක් ඒ අතර වෙති. මේ වන විට ජාත්‍යන්තරයේ පවතින දැඩි ඉල්ලුම හා තරගකාරිත්වය හේතුවෙන් රජය විසින් විද්‍යා හා ගණිත අධ්‍යාපනය පුළුල් කිරීමේ ජාතික ප්‍රතිපත්තිමය මාලාවකට පිවිස සිටියි.

වර්තමානයේ විද්‍යා හා ගණිත අංශ දෙක සඳහා සිසුන්ගේ සහභාගීත්වය 35% කට අඩු ප්‍රමාණයක් ගන්නා අර එය 60% දකවා පුළුල් කිරීම ඒ යටතේ අපේක්ෂිතය. ‘STEM Education‘ නැමැති මේ අධ්‍යාපන නියමු ව්‍යාපෘතිය කොළඹ දේවි බාලිකාවෙන් ආරම්භ වන අතර ඒ අනුව දේවි බාලිකාවේ තවත් විද්‍යා හා ගණිත අංශයක් උඩහමුල්ල ශ්‍රි විජයාරාම මහා විදුහලේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ විදුහලේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ සිසුන් 71 දෙනා සුදුසු පාසලකට යොමු කිරීමෙන් පසුව දේවි බාලිකාවේ නව ගණිත හා විද්‍යා අංශය මෙහි ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ද හිමිව ඇත.

අර්බුදයට තුඩුදි ඇති උඩහමුල්ල විජයාරාම විදුහල

කෙසේ වෙතත් මේ පිළිබඳව යම් විරෝධතා රැල්ලක් ඇති වූයේ ගෙවුණු සතියේ සිටය. 1943 වසරේ ජනවාරි මස 26 වැනිදාක දහම් පාසල් ගොඩනැගිල්ලක පළාත් පාසලක් වශයෙන් විජයාරාම විදුහල බිහිවූයේ ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නටය. පසුව කාලයක් ඇවෑමෙන් මේ පාසලට ඇති වූ ඉල්ලුම හේතුවෙන් පන්සල් බිමේ ආරම්භ වූ මේ ගොඩනැගිල්ල ප්‍රදේශයේ දානපතියන්ගේ ඉඩම් පරිත්‍යාගයෙන් වර්තමාන ස්ථානයට ගෙන ගියේ 1962 වසරේදි පමණය. මේ විජයාරාම පාසල නුගේගොඩ මහමායා බාලිකා විදුහලේ පෝෂිත පාසලකි.

මෙහි දරුවන් 6 ශ්‍රේණියෙන් පසුව ඇතුළත් කර ගන්නේ මහාමායා බාලිකා පාසලටය.

එහෙත් පසුගිය වසරේ සිට මහමායා විදුහලේ එක් ගොඩනැගිල්ලක් භාවිතයට නුසුදුසු බවට ඉංජිනේරු නිර්දේශයක් ලැබී තිබුණ හෙයින් ඒ පාසලේ පන්ති 13 ක්ද පවත්වා ගෙන ගොස් ඇත්තේ විජයාරාම විදුහලේය. අක්කර හතරහමාරක භූමි භාගයකින් යුතු මේ පාසලේ සියලු පහසුකම් වලින්ද අනුන වන අතර කාලීනව සිසුන් 2000 ක් පමණ අධ්‍යාපනය ලැබූමේ විජයාරාම විදුහලේ අද ඇත්තේ සිසුන් 71 දෙනෙකි.

මේ වන විට මේ හරහා ගොඩනැඟෙමින් පවතින විරෝධතා දෙපැත්තකින් පැමිණෙන අතර සමහරු පවසන්නේ දේවි බාලිකාව ඉදිරි දිනක දැනට පවත්නා ස්ථානයෙන්ද වෙනස් වන බවකි. එසේම විජයාරාම විදුහල් සිසු දෙමවුපියන් හා ආදාළ පිරිස් මීට තදින්ම විරෝධය ප්‍රකාශ කරමින් පවසා සිටින්නේ තම දරුවන්ගේ පාසල උදුරා නොගන්නා ලෙසයි. මේ සම්බන්ධව අදහස් දැක්වීමට අප වත්මන් විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනිමට කටයුතු කළ ද ඇය ඊට ප්‍රතිචාර දැක්විමට මැළි විය. කෙසේ වෙතත් මේ පාසලේ මූලාරම්භය සපයන සිරි විජයරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අමුණුමුල්ලේ ජිනරතන හිමියන් පවසන්නේ රටේ විශාල ප්‍රභූ පිරිසකගේ අධ්‍යාපනයට මූලාරම්භය සැපයූ මේ පාසල එසේ ඉවත් කර නොගන්නා ලෙසයි.

“එදා සිසුන් 2000 ක් පමණ මේ පාසල් අධ්‍යාපනය ලැබුවා. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා, වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි, උපාලි කොඩිකාර වැනි දේශපාලඥයන් මේ පාසලින් අධ්‍යාපනය ආරම්භ කළ අය. වැසී යන තැනට පත්වූ මේ පාසලේ ඉන්නේ සිසුන් 71 දෙනයි. දේවි බාලිකාවේ උසස් පෙළ පන්ති දෙකක් මෙහාට ගේන්න යනවා. මෙහි ඉන්න සිසුන් රාජගිරිය මහ විදුහලට දානවලු. ඒත් අපි කියන්නේ මේ දරුවෝ ඉවත් කරන්න එපා කියලා. ඒ වගේම මොන දේ වුණත් මේ ප්‍රදේශයේ දරුවන්ව මේ පාසලට අතුළත් කිරීම කළ යුතුයි. ඒ වගේම මේ පාසලේ නම වෙනස් නොවිය යුතුයි. ඒත් බලධාරීන් මේ ඉල්ලීම් තුනටම නිහඬයි. මේ පිටුපසු ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි දන්නැහැ, මෙය දේවි බාලිකා ඉඩම වෙන කටයුත්තකට පවරා ගැනීමේ උත්සාහයක්ද කියලා.

දැනටමත් මහමායා විදුහලේ ගොඩනැගිල්ලක් අබලං වීම නිසා එහි සිසු පිරිසක් මෙහි ඉගෙන ගන්නවා. ඒ පාසල හෝ මෙසේ අනුබද්ධ කළා නම් අපේ මෙවන් විරුද්ධත්වයක් නැහැ.....“ ඒ පූජ්‍ය අමුණුමුල්ලේ ජිනරතන හිමියන්ය.

කෝට්ටේ පාසල් කිහිපයක්ද වැසී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි පවසමින් එම පාසල්වල ගොඩනැගිලිවලට වෙනත් ආයතන ස්ථානගත කිරිමේ වෑයමත් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජ.වි.පෙ නාගරික මන්ත්‍රි අරෝෂ අතපත්තු පවසයි. මොරගස්මුල්ල ශ්‍රී සෝභිත විදුහල, උඩහමුල්ල විජේරාම විදුහල, ගංගොඩවිල රේවත රාජකීය විදුහල, ඔබේසේකරපුර සිරි පැරකුම්බා විදුහල, ඔබේසේකර පුර හින්දු විදුහල මෙසේ වැසී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි බලධාරීහු පෙන්වා දෙන බව ඔහු පවසයි.

“ මේ පාසලේ මීට කලින් සිසුන් 2000 ක් පමණ සිටියා. නමුත් බලධාරින් මේ පාසල් වැසෙන්නට කටයුතු කළා. මෙයත් පාසල් අඩු කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක්ද කියා අපි දන්නේ නැහැ......“ ඒ ජවිපෙ නාගරික මන්ත්‍රි අරෝෂ අතපත්තුය.

එහෙත් සිසුන්ට අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ රජයේ අරමුණ අනුව මේ කටයුත්ත ජාතික ප්‍රතපත්තියක් ක්‍රියාවට නැංවීමක් බව අදාළ බලධාරීහු පෙන්වා දෙති.

දේවි බාලිකාවට වසරකට විද්‍යා හා ගණිත සඳහා උසස් පෙළට සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලුම් පත්‍ර 2500 ක් ලැබෙන අතර එයින් පාසලේ සිසුන් හැරුණු විට අමතරව ඇතුළත් කිරිමට හැකි වන්නේ සිසුන් 200 කට පමණි.

නමුත් නුගේගොඩ විජයාරාම පාසලේ නව විද්‍යා අංශය ස්ථාපිත විමෙන් අනතුරුව අමතර පන්ති 6 ක් පමණ ආරම්භ කළ හැකි බවයි, දේවි බාලිකාවේ විදුහල්පතිනිය වන ප්‍රදීපා සමරසිංහ පවසන්නේ.

විජ­යා­රාම විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පූජ්‍ය අමු­ණු­මුල්ලේ ජින­ර­තන හිමි,   පාර්ලි­මේන්තු මන්ත්‍රී මධුර විතා­නගේ, අධ්‍යා­පන ලේකම් මහා­චාර්ය  කපිල සී. පෙරේරා, කොළඹ දේවි  විදු­හ­ල්ප­තිනි ප්‍රදීපා සම­ර­සිංහ සහ  ජවිපෙ නාග­රික මන්ත්‍රි අරෝෂ අත­පත්තු

“වසරකට උසස් පෙළ කරන 245,000 ක සිසුන්ගෙන් උසස් පෙළ විද්‍යා හා ගණිත අධ්‍යාපනය ලැබීමට ඉල්ලුම්පත් 65,000 ක් පමණ ලැබෙනවා. නමුත් පාසල්වල පවත්නා තත්ත්වය අනුව 30%-35% අතර පිරිසකට පමණයි ඒ අවස්ථාව හිමි වන්නේ. රජයේ අපේක්ෂාව මේ පිරිස 50%-60% දක්වා වැඩි කිරීමයි. ඒ අනුව පහසුකම් ඇති පාසල්වල එම අංශ වැඩි දියුණු කිරිම සිදු වෙනවා. එහි නියමු ව්‍යාපෘතිය තමයි අපේ පාසලින් ආරම්භ වන්නේ. එ අනුව නුගේගොඩ විජයාරාම විදුහලේ මේ පාසලේම අතිරේක විද්‍යා අංශය ආරම්භ වෙනවා. එහි අමතර පන්ති 6 ක් පමණ ආරම්භ කිරීමට හැකි වෙනවා.එසේම අපේ පාසලට අඩුපාඩුවක්ව පවතින ක්‍රීඩා පිටියක අවශ්‍යතාවයත් සම්පූර්ණ වෙනවා. මෙය දියුණු රටවල භාවිතා කරන අධ්‍යාපන ක්‍රමවේදයක්. මේ සඳහා අපේ පාසලේ විද්‍යා අංශ ප්‍රධානීන් අතුළු පාසල් සංවර්ධන සමිතියෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.....“

කිසිම අවස්ථාවක වර්තමානයේ දේවි බාලිකාව තිබෙන ස්ථානය වෙනසක් නොකරන බවට තමන් පොරොන්දු වන බවත්, විජයරාම විදුහලේ දැනට සිටින සිසුන්ට පහසුකම්වලින් සපිරි පාසලක් ලබා දෙන බවත්, මහමායා විදුහලේ අබලන් වූ ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත්කර ඒ පාසල ජාතික පාසලක් කිරීමට කටයුතු යොදන බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සි. පෙරේරා සිළුමිණට පැවැසීය.

“STEM Education හරහා රජයේ අපේක්ෂාව උසස් පෙළ විද්‍යා ගණිත හදාරන සිසු පිරිස 60% දක්වා ඉහළ නැංවීමයි. ඒ අනුව තමයි හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් තාක්ෂණවේදය පාසල් පද්ධතියට හඳුන්වා දුන්නේ. එදා උසස් පෙළ විද්‍යා ගණිත හදාරන සිසුන් සිටයේ 25% යි. කලා සිසුන් 53%යි. වාණිජ සිසුන් 23% යි. අද විද්‍යා, ගණිත හදාරන සිසුන් ඉන්නේ 30-35% ක පමණයි. රටක් වශයෙන් ඉදිරියට යන්න නම් අපි මේ පිරිස වැඩි කළ යුතුයි.

දේවි බාලිකා විදුහල සුරැකිමේ සංවිධානය පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව

වර්තමානයේ ප්‍රධාන කාන්තා පාසලක් වන දේවි බාලිකාවට විද්‍යා ගණිත උසස් පෙළ සඳහා වසරකට ඉල්ලුම්පත් 2500 ක් ලැබුණත් එයින් ඇතුළත් කර ගත හැකි වන්නේ 200 ක් පමයි. නමුත් තව සිසුන් ඇතුළත් කිරීමට දේවි බාලිකාවේ ඉඩ පහසුකම් මදි. මේ නිසා ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ දායකත්වයෙන් විජයරාම විදුහල දියුණු කර එහි වත්මන් දේවි විදුහල්පතිනියගේ පාලනය යටතේ නව විද්‍යා පන්ති දෙකකුත්, ගණිත පන්ති හතරකුත් ආරම්භ කරනවා.

මේ නිසා දේවි බාලිකා විදුහලේ නාමයෙන් තවත් සිසුන් 220 කට උසස් පෙළ ගණිත හා විද්‍යා විෂයන් හැදැරීමට අවස්ථාව හිමි වෙනවා. එසේම විජයාරාම විදුහලේ මෙතෙක් සිටින සිසුන්ව අපි වෙනත් පාසලකට අනුයුක්ත කරනවා සේම වසර දෙකක් යන තෙක් මේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට අදාළ අංශ අපිට පොරොන්දු වී තියෙනවා. ඒ වගේම මේ පාසලේ කොටසක් වශයෙන් ඉගෙනුම් ලබන මහාමායා විදුහලට මම පෞද්ගලිකව ගියා. ඉදිරියේදි මහාමායා විදුහල ජාතික පාසලක් බවට පත් කිරිමටත්, ඒ පාසලට ගැටලුවක්ව පවතින ගොඩනැගිල්ල අලුත්වැඩියා කර දෙන්නටත් අපි පොරොන්දු වුණා. මෙවැනි සංකල්ප ලෝකයේ අලුත්ම ප්‍රවණතා. ඉදිරියේදි ඉල්ලුමට අනුව මේ කටයුතු ඉදිරියට ගෙන යාමට අපි බලාපොරෝත්තු වෙනවා.....“ ඒ අධ්‍යාපන ලේකම්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කාර්යයට අතහිත දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේය. “දේවි බාලිකා විදුහල දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් නොකරන බව වගකීමෙන් දැනුම් දෙනවා.

මේ වැඩසටහනට දේවි බාලිකාව තෝරා ගත්තේ හොඳ විනයක් තියෙන හොඳ දැක්මක් තියෙන නමට පමණක් නොව වචනයේ පරිසමාප්තියෙන්ම ජනප්‍රිය පාසලක් නිසා. විජයාරාම විදුහලේ අක්කර 2ක ක්‍රීඩා පිටිය ගොඩනැගිලි දෙස කවුරුත් බැලුවේ නෑ.මම ඒ ස්ථානයට යන විට විදුහල හොඳටම ජරා වාස වෙලා.

ඒ නිසා මම ඒ ගැන ජනාධිපතිතුමාට, අධ්‍යාපන ඇමතිතුමන්ට, ආණ්ඩුකාරතුමන්ට කතා කරලා ඒ විදුහල ජාතික පාසලක් බවට පත් කිරීමට කටයුතු කළා. මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරල දරුවන් 2000 ක් මේ පාසලට පහසුවෙන්ම ඇතුළත් කළ හැකියි.“ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අදහසයි.

ඡායාරූප- සමීර අබේසිංහ, නුගේගොඩ සමූහ

Comments