රෙගේ කියන්නෙ ගංජා නෙමෙයි... ආද­රය සහ සාමය | සිළුමිණ

රෙගේ කියන්නෙ ගංජා නෙමෙයි... ආද­රය සහ සාමය

 

 

ලංකාවේ රෙගේ සංගීතය ගැන කතිකාවකට මුලපුරන විට අපේ මතකයට නිතැතින් එන්නේ ජය ශ්‍රී. නිවුන් සහෝදරයන් වූ රෝහිත සහ රොහාන් අදටත් ලාංකේය හදවත්වල නොමැකෙන මතකයක්. " පසුගිය වසරේ ජූලීවල ලංකාවෙන් ගියාට පස්සේ රටේ පවතින තත්ත්වය එක්ක ආපහු ලංකාවට එන්න ලැබුණේ නැහැ. ඒ නිසා සෑහෙන කාලෙකට පස්සේ සීත සෘතුව අපිට ඔස්ට්‍රියාවේ ගත කරන්න වුණා. ඉතිං මේ අවුරුද්දේ මාර්තුවල තමයි ආපහු ලංකාවට ආවේ. " අප හා රෝහිත ජයලත් කතාව පටන් ගත්තා.

 

‘ ජය ශ්‍රී‘ වයස් භේද නැතිව එදා සිට අද දක්වා රසික ආදරය නොඅඩුව පවත්වාගෙන ‍යන්නේ කොහොමද ?

අපි ඒක අමුතුවෙන් හදා ගත්තු දෙයක් නෙවෙයි. අපිට ඒක ලැබෙන දෙයක්. අපි මේ ජීවත්වෙන විදිහ, සංගීතය හරහා ලබාදෙන ධනාත්මක දේවල් නිසා වෙන්න ඇති එදා සිට අද දක්වා එක හා සමාන ආදරයක් ලැබෙන්නේ. අපිත් ඒක ගොඩක් ආදරෙන් විඳිනවා. දවසක් සෑහෙන්න වයසක පුද්ගලයෙක් අපිට මුණගැහිලා කිව්වේ ඔහුත් ඔහුගේ දරුවනුත් දරුවන්ගේ දරුවනුත් අපේ රසිකයන් බව. මහලු අයගේ සිට පුංචි දරුවන් දක්වා අපිට ලොකු ආදරයක් ලැබෙනවා.

වැඩියෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ ලංකාවෙන්ද ඔස්ට්‍රියාවෙන්ද?

ලංකාවේ තරම් ඔස්ට්‍රියාවේ අය සමඟ ළඟ සම්බන්ධකම් නොතිබුණාට Reggae & World Music Band එකක් ලෙස අපි ඉදිරිපත්වන නිසා ප්‍රසංගවලට ගියාම රෙගේ සංගීතය අහන්න කැමති මිනිස්සු මොන භාෂාවකින් ගීත ගායනා කළත් අපිව අගය කරනවා. එහෙ වෙනමම රසික පිරිසක් අපිට ඉන්නවා. ජාත්‍යන්තර වේදිකාවක සිංහල භාෂාවෙන් ගීත ගායනා කරන එකම පිරිස අපි වෙන්න ඇති. දෙපැත්තෙන්ම දැනෙන ප්‍රතිචාර වෙනස්. මං හිතන්නේ ලංකාවේ රසිකයන් තමයි අපිට ගොඩක් සමීප.

ලංකාවේ තවමත් රෙගේ සම්ප්‍රදායේ නව නිර්මාණ බිහිවීම අඩුයි ?

අපි වුණත් රෙගේ සංගීතය විතරක්ම කරන සංගීත කණ්ඩායමක් නෙවෙයි. අපි වෙනස් සංගීත ශෛලීන්වල නිර්මාණ කරලා තියෙනවා. නමුත් මිනිස්සු අපිව වැලඳගෙන තියෙන්නේ රෙගේ සංගීතය නිසා. නිකම් ඔහේ කරන්නම් වාලේ රෙගේ කරන්න බැහැ. ඒක ගැන හදාරලා හදවතින් කරන්න ඕනේ. එතකොටයි හොඳ නිර්මාණයක් බිහිවෙන්නේ. ලංකාවේ ටික දෙනයි ඉන්නේ රෙගේ සංගීතයෙන් නිර්මාණ කරන. ඒ වුණාට ඉස්සරට වඩා පිරිසක් මෙහි නියැළී ඉන්නවා. ලංකාවේ හැමෝම වගේ ඇලුම් කරන සංගීත ශෛලියක් නොවන නිසා වෙන්න ඇති නිර්මාණ අඩුවෙන් බිහිවන්නේ.

ඔබටම ආවේණික විලාසිතා හා ජීවන රටා පවත්වාගෙන යන්න පෙලඹුණේ ඇයි?

අපි ජීවත් වෙන්නේ අපිට කැමති, පහසු විදිහට. කවුරුත් අනුකරණය කරන්නේ නැහැ. අපි වේදිකාවේ කරන ඉදිරිපත් කිරීම් වුණත් එහෙමයි. අපිට ආවේණික විදිහටයි අපේ ඇඳුම් පැලඳුම් පවා අපිම සකස් කරගන්නේ. මම දන්නේ නැහැ අපි දෙන්නා වගේ දෙන්නෙක් අතීතයේ සිට මේ දක්වා සිටියද කියලා. අද ගොඩක් මිනිස්සු කරන්නේ අනුකරණය. නමුත් විය යුත්තේ තමන්ගේම අනන්‍යතාවක් පවත්වාගෙන යාමයි.

රෙගේ සංගීතය හා බැඳුණු සංස්කෘතිය සමාජයේ ප්‍රතික්ෂේප වීම්වලට ලක්වෙනවා?

රෙගේ කියන්නේ ආදරය හා සාමය බෙදාගන්න සංගීත ශෛලියක්. රෙගේ කියන්නේ ගංජාවත්, මත්ද්‍රව්‍යවත් කොළ කහ රතු පාටවල්වත් නෙවෙයි. රස්තාෆාරයි කියන දේ අධ්‍යාත්මික ජීවන ක්‍රමවේදයක්. හැබැයි මේ දේ අද විලාසිතාවක් වෙලා වාණිජකරණය වී සමාජගත වෙලා තියෙන්නේ වැරදි විදිහට. අන්න ඒ නිසයි සමාජයේදී ප්‍රතික්ෂේප වීම්වලට ලක්වෙලා තියෙන්නේ. නිසි දැනුම්වත් බවක් නොමැති කමෙන් අපේ මිනිස්සු මේ දිහා බලලා මනින්නේ බාහිර පෙනුමෙන්. නිසි දැනුමකින්, විශ්ලේෂණයකින් යුතුව හැමදේ ගැනම බලන්න ඕනේ.

‘ජය ශ්‍රී‘ සංගීත කණ්ඩායම ගැන මතක් කළොත් ?

‘ජය ශ්‍රී‘ කියන්නේ මමත් මල්ලීත් විතරක් නෙවෙයි. ‘ජය ශ්‍රී‘ කියන්නේ ලොකු සංගීත කණ්ඩායමක්. ආසියාව, යුරෝපය, අප්‍රිකාව කියන මහද්වීප තුනකින්ම සාමාජිකයන් ඉන්නවා. ලංකාවෙන් ඉන්නේ මමත් මගේ මල්ලී රොහානුත්, බයිලා චක්‍රවර්තී එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගේ මුනුපුරෙක්වන සුමල් මල්ලීත් විතරයි. අපි කණ්ඩායමක් ලෙස ගොඩක් කල් වැඩ කරනවා. විවිධ රටවල විවිධ සංගීත රස මුසුවෙන නිසා වෙනස් නිර්මාණ කිරීමේ හැකියාව ලැබෙනවා.

2003 දී රටවල් හැත්තෑ ගාණක සංගීත කණ්ඩායම් 160කට වැඩි ගාණක් අතුරින් ජය ශ්‍රී Band එක World Music Award එක දිනා ගන්නවා. ඉන්පසුවයි මුළු ලෝකයක් අපිව හඳුනාගෙන ලොකේ දක්ෂතම සංගීත ශිල්පීන් සමඟ වැඩ කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ.

මෑතකදී අලුත් නිර්මාණයක් අහන්න දකින්න ලැබුණේ නැහැ නේද ?

අපි කරපු නිර්මාණ ගොඩක් තියෙනවා. අවුරුදු 2කට කලින් " Love" කියලා Album එකක් කළා අපේ අලුත්ම සින්දු 15 ක් එක්ක. ඒක වෙබ් අඩවි හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම Spotify, Apple Music ඔස්සේත් අහන්න පුළුවන්. ගුවන්විදුලි නාළිකාවල අපේ අලුත් ගීත ප්‍රචාරය වෙනවා අඩුයි. නමුත් අපි ස්තූතිවන්ත වෙනවා අපේ පරණ ගීත හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්. අලුත් ගීත ප්‍රසංග වේදිකාවල නම් අපි ගායනා කරනවා. රයිනි නංගි එක්ක අපි අලුත් ගීතයක් කළා " හදවත කීරීගසයි " කියලා. චාමර ජනරාජ් පීරිස්ගේ ටෙලි නාට්‍යකටත් ගීතයක් කළා " සාරංගනා " කියලා. ළඟදීම ඔබට ඒක අහන්න දකින්න ලැබෙයි.

Youtube හරහා රෝහිත හා රොහාන් අලුත් වැඩක් පටන් අරන් තිබුණා?

අපේ රසිකයෝ සංගීතයෙන් විතරක් නෙවෙයි අප එක්ක සම්බන්ධ වෙන්නේ. ලෝකේ වටේ සංචාරය කරලා විවිධ මිනිස්සු මුණගැහිලා ගත්තු අත්දැකීම්, ඉගෙන ගත්ත දේවල් අපි අනිත් අය එක්ක බෙදා ගන්නවා. පරිසරය ,යෝගා, මනස සැහැල්ලු කරන අභ්‍යාස , භාවනා ක්‍රම , ධනාත්මකව හිතන විදිහ, මානසික පීඩනයකදී කොහොමද ඒ අවස්ථාවල කටයුතු කරන්න ඕනේ යන දේවල් ගැන අපි ඔස්ට්‍රියාවල වැඩමුළු කරනවා. ප්‍රාර්ථනාව සමාජයට යහපතක් කිරීම...

පසුගිය දවසක ඔබ දෙපළ සංචාරක ව්‍යාපාර කටයුත්තකට යොමු වෙලා හිටියා?

අවුරුදු ගාණකට කලින් මාරවිල වෙරළ තීරය ආසන්නයේ අපි ඉඩමක් අරන් පුංචි බංගලාවක් හා විලා එකක් හැදුවා ලංකාවට ආවම අපිටත් අපේ හිත මිතුරන්ටත් කාලය ගත කරන්න. අපි හිතුවා සංචාරකයන්ටත් මෙහි කාලය ගත කරන්න අවස්ථාව ලබාදෙන්න. " Sri Beach Bungalows & Villa" නමින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය අරන් මාරවිල ප්‍රදේශයේ ලස්සන ගස්කොළන්වලින් පිරුණු නිස්කලංක පරිසරයක එය පවත්වාගෙන යනවා. නිදහසේ ඉන්න කැමති කෙනෙක්ට ගෙදර වගේ ඉන්න හොඳ තැනක්.

‘ජය ශ්‍රී‘ වයසට යන්නේ නැද්ද?

අපිට ටිකක් වයසයි. අපිව තාමත් තරුණ විදිහට පේන්නේ අපි ජීවත් වෙන විදිහ සහ අපේ ජීවිත රටාවල තියෙන ධනාත්මක දේවල් නිසා. සතුටින් ශක්තිමත්ව ඉන්න තාක් කල් හැමෝම තරුණයි. වයස කියන්නේ අංකයක් විතරයි.

 

Comments