මිනිස්සු සාමාන්‍ය ජීවි­තේදී ඇත්ත හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ | සිළුමිණ

මිනිස්සු සාමාන්‍ය ජීවි­තේදී ඇත්ත හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ

 

 

 

ප්‍රියංකර රත්නායක ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. නිර්මාණශීලී රචකයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්. විෂය පිළිබඳ ප්‍රමාණික අධ්‍යයනයක් දැනුමක් සහ පරිචයක් සහිත මේ විද්වත් කලාකරුවා ඉපදුණේ වේදිකාවෙන්. ඔහු වේදිකාවට එන්නෙ සෝමලතා සුබසිංහයන්ගෙ විකෘති නාට්‍යයෙන්. ටෙලි නාට්‍යයක රංගන කාර්යයට ප්‍රවේශ වෙන්නේ වසන්ත ඔබේසේකරයන්ගේ ‘රෝගියා‘ ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. මේ වකවානුවෙම තමයි ඔහු තිස්ස අබේසේකරයන්ගෙ ‘වන සරණ ‘ ටෙලි නාට්‍යයේ රංගනයට එකතු වෙන්නෙ.

 

ප්‍රියංකර රත්නායකයන්ගෙ තවත් නිර්මාණ භූමිකාවක් තමයි තිර රචනය. ඔහු තිර රචකයකු ලෙස සිය නිර්මාණ ජීවිතය අරඹන්නේ වසන්ත ඔබේසේකරයන් සමඟ. බොහෝ ඇසූ පිරූ තැන් හා සම්භාවනීය මතක ගොන්නක් සහිත මේ නිර්මාණ ශිල්පියා කාලෙකට පසු මෙම කෙටි පිළිසඳර ආරම්භ කළා.

ඔහු සිය අතීත මතක එකින් එක ගොනු කරන්න වුණා. කතාව ඇරඹුණේ ටෙලි නාට්‍යය ගැන වූ අතීත සැමරුම් එක්ක.

"මුල් වකවානුව තුළ රජයට අයත් රූපවාහිනී නාළිකා දෙකක් පමණයි අපට තිබුණේ. ඒ යුගයේ නිර්මාණ වූ ‘වන සරණ ‘ ටෙලි නාට්‍යය කොටස් 25කින් සමන්විත වුණා. සතියට එක් දිනක් විකාශනය වන මේ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයා සූදානම් වෙලා හිටියා. එහෙම සූදානමකින් ටෙලි නාට්‍ය බලන පුහුණුවක් දැන් ප්‍රේක්ෂකයන්ට නැහැ. ඒ දවස්වල ටෙලි නාට්‍ය ආරම්භ වන තේමා ගීතය ආරම්භ වෙනකොට අපි හැමෝම රූපවාහිනිය ඉදිරියට ඇවිල්ලා වාඩි වෙනවා. තිස්ස අබේසේකරයන්ගේ ‘පිටගම්කාරයෝ ‘ සුදත් මහදිවුල්වැව ගේ ‘වනස්පති‘ වගේ ටෙලි නාට්‍යවල මම මුල් කාලයේ රංගනයෙන් සම්බන්ධ වුණේ.

වේදිකා නාට්‍ය ශිල්පියෙක් ලෙස ප්‍රියංකරගේ රංග පෞරුෂය ප්‍රකට වුණු අවස්ථා ගණනාවක් තිබුණා. මෑත කාලයේ දී ප්‍රියන්ත සිරිකුමාර අධ්‍යක්ෂණය කළ ‘මරණය සහ කන්‍යාවිය‘, පූජිත ද මැල් අධ්‍යක්ෂණය කළ ‘අසෙනිමාලි‘ රාජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ‘වීරයා මැරිලා‘ නාට්‍ය ත්‍රිත්වය ඔහුගේ වේදිකා රංගනය අමතක නොවන සේ ප්‍රේක්ෂක හදවත් තුළ තැන්පත් කළා.

“වේදිකාව නළුවකුට රංගනය හදාරන්න පාසලක් වගේ. අඛණ්ඩ පුහුණුවක් තුළ චරිතයක් ගලාගෙන යන ආකාරය අභ්‍යාසයක් විදියට හදාගන්න අපිට ඉඩක් ලැබෙනවා. ඒත් ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයකදී අපි කිසියම් රංගනයක යෙදුණත් එය රූපගත කිරීම් අවසානයේදී අපි අමතක කරල දානවා. වේදිකාවේ අපි ගොඩනඟන චරිතයක් එහෙම අපි අමතක කරන්නෙ නෑ. අපි ඒ චරිතය තුළ නිරන්තරයෙන්ම පෝෂණයක් ලබනවා. මෙවැනි වේදිකා නාට්‍ය පුහුණුවක් ලබන රංගන ශිල්පියකුට රූපවාහිනී මාධ්‍ය හෝ සිනමාවේ රංගනයක යෙදීම කිසිසේත්ම අපහසුවක් වන්නේ නෑ. අද සිනමාව හා රූපවාහිනියෙ සාර්ථක රංගනයක යෙදෙන බොහෝ දෙනෙක් වේදිකා මාධ්‍යයේ පුහුණුව ලැබූ අය. වේදිකාවේ අභ්‍යාස ලැබූ නළු නිළියන් සමඟ වැඩ කරන්නට ලැබෙන ආධුනික කෙනකුට වුණත් ඔහුන්ගෙන් උකහා ගන්න බොහෝ දේවල් තියෙනවා."

ප්‍රියංකර රත්නායක රංගන ශිල්පියා රාමුවකට කොටු කරන්න බැරි රංගන ශිල්පියෙක්. මේ ස්ථාවරය ගොඩනඟා ගන්න කෙනකුට පහසු නැහැ. ඔහුට ඒ ගැන තිබෙන්නෙ මෙවැනි අදහසක්.

."අර්ධ නාගරික පසුබිමකයි මම හැදී වැඩුණේ. ඒ නිසා ග්‍රාමීය පරිසරයක වගේම නාගරික වටපිටාවක ජීවන චරිත උකහා ගන්න ඉඩකඩ ලැබුණා. නිර්මාණයක දි අපි චරිතයක් ගොඩනඟා ගන්නකොට අපි අපේ අත්දැකීම් තුළට යනවා. රඟපෑම උගන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. රඟපෑම ඉගෙන ගන්නවා කියන්නේ අප විසින් මේ කරන අභ්‍යාසයට.

මේ දිනවලත් ටෙලි නාට්‍ය පනහකට වඩා විවිධ නාළිකාවල විකාශනය වෙනවා. ඒ අතරින් ගුණාත්මක ටෙලි නාට්‍ය දෙකක් හෝ තුනක් තමයි අපි දකින්නේ. එවැනි පිටපතක රංගනයක් සඳහා අධ්‍යක්ෂවරයකු තෝරා ගන්නේ පිටපතට එහා ගිය චරිතයක් හඳුනගන්න පුළුවන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්. පිටපත ඉක්මවා ගිය රංගනයක යෙදෙන නළුවෙක් කියන්නේ සියුම් සහ ගැඹුරු සිතීමක් තියෙන අයෙක්. අපි උත්සහ කරන්න ඕනා පිටපතේ ඒ චරිතය තුළ නොලියවුණු කොටස සොයාගන්න.

චරිතයක් ගොඩනඟද්දි අධ්‍යක්ෂවරයාගෙ භූමිකාව ඔහුට ඔහුගේ රංගන කාර්ය සඳහා පිටුබලයක් වූ ආකාරය ගැන අප විමසුවා. ප්‍රියංකර එතනදි මතක් කළේ තිස්ස අබේසේකරයන් සමඟ වැඩ කරන විට ඔහු ලබපු අත්දැකීම.

“ පිටපත වගේම අධ්‍යක්ෂවරයා එතැනදි විශේෂයි. අධ්‍යක්ෂවරයා ලබා දෙන එක ඉඟියකින් අපිට බොහෝ දේවල් හිතන්න පුළුවන්. තිස්ස අබේසේකරයන් ඇතැම් අවස්ථාවල සාහිත්‍ය කෘතියක් ගැන වගේම බටහිර සිනමා කෘතියක් ගැන අපිට මතක් කරනවා. අප ඒ නිර්මාණ පරිශීලනය කරනවා. එවැනි අධ්‍යයනයක් එක්කයි රංගනයේ යෙදුණේ. ඒ අභ්‍යාසයත් සමඟයි ඔහු ඉල්ලන චරිතය ගොඩනැඟුණේ.

තිස්ස අබේසේකරයන්ගේ ‘පිටගම්කාරයෝ‘ ටෙලි නාට්‍යය මෑතකදී විකාශනය වුණා. එය නැවතත් මම නැරඹුවා. මට දැනුණු දේ තමයි මේ රඟපාන්නේ මම ද කියලා. මට පුදුමයක් ඇති වුණා ඒ තරම් දෙයක් මම කළා ද කියලා. ඒ කාලේ හැටියට මම ඒ චරිතයට එකතු කරපු දේවල් ගැන අද මං ගොඩාක් සතුටු වෙනවා."

බොහෝ විට චරිතයක් දිග පළල බලන්න පෙලඹෙන එක සාධකයක් තමයි පිටපතේ ලියවිලා තියෙන දෙබස්. ඒත් සමහර චරිත දෙබස්වලින් ලියවිලා නැති තරම්. මේ අත්දැකීම ගැන ඔහුගෙන් අපි විමසුවා.

“රඟපෑම කියන කාරණය ගත්තොත් එතැනදි වචන වලට ඉඩකඩ ලැබෙන්නේ හතරෙන් එකකට. ඉතුරු හතරෙන් තුනම නිර්වාචිකව ගොඩනැඟිය යුතුයි.

ප්‍රශාන්ත මනම්පේරි ගේ ‘හිතුමතේ ජීවිතයේ‘ චිත්‍රපටය වගේම තේජා ඉද්දමල්ගොඩ ගේ ‘ආශාවරී‘ චිත්‍රපට දෙකේ මට පහුගිය දවස්වල රඟපාන්න ලැබුණා. ඒ වගේම සුනිල් කොස්තා කළ ‘can you hear me‘ ටෙලි නාට්‍යයෙත් ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සකර්ම‘ ටෙලි නාට්‍යයෙ රඟපෑවා. මේ නිර්මාණවල ඉතාමත් සීමිත දෙබස් ප්‍රමාණයක් තමයි තිබෙන්නෙ.

මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී වචන තමයි බොරුම ටික. මිනිස්සු සාමාන්‍ය ජීවිතයේ කතා කරන්නේ ගොඩක් වෙලාවට බොරු. අපි ඇත්ත හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ. පිටපතක නොලියවුණු දේ තියෙන්නේ හැංගිලා. ඒ හැඟීම් මතු කර ගන්න එක තමයි අසීරුම රංගනය.

‘සකර්ම‘ටෙලි නාට්‍යය මේ දිනවල විකාශනය වනවා. මේ ටෙලි නාට්‍යයේ පියාගේ භූමිකාව විශ්වාසනීයම ගොඩනඟන්න දක්වපු වෙහෙස ගැනත් අපි අවසන් වශයෙන් කතා කළා.

" මේ ටෙලි නාට්‍යය නිර්මාණය වන්නේ ශාන්ති දිසානායකගේ ‘පරඬැල්‘ නවකතාව ඇසුරෙන්. ප්‍රියන්ත ප්‍රනාන්දු මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. මට ප්‍රතිනිර්මාණය කරන්න තිබුණෙ කොලනියක ජීවත්වන ගැමියකුගේ භූමිකාවක්. දරුවන් පස් දෙනකුගේ පියෙක්. මේ කොලනි ආශ්‍රිතව ජීවත්වන බොහෝ දෙනෙක් වෙනත් ප්‍රදේශවල ඔවුන්ට ආවේණික සංස්කෘතීන්ට අනුගතව ජීවත් වූවන්. මෙහි චරිත ඉතාමත් සංකීර්ණයි. අධ්‍යක්ෂකවරයා මේ කෘතියට සාධාරණයක් ඉෂ්ට කරන්න මහත් පරිශ්‍රමයක් දැරුවා. ඇතැම් දර්ශනයන් රූගත කරද්දී තිස් හතළිස් වතාවක් පවා රූපගත කිරීම් කළා. මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් දවස් සියයකට වඩා සිදුවුණා. මගේ රංගනය වෙනුවෙන් දින හතළිහකට වඩා වෙන් කරන්න මට වුණා. තෘප්තිමත් වැඩක්.

Comments