හොඳ නිර්මා­ණ­යක් කියන්නේ අපට අපිව පෙනෙන කැඩ­ප­තක් | සිළුමිණ

හොඳ නිර්මා­ණ­යක් කියන්නේ අපට අපිව පෙනෙන කැඩ­ප­තක්

 

 

මේ අතීත කාමයෙන් කියැවෙන කතාවක් නොවෙයි. එක් වකවානුවක ලෙස්ටර් ජේම්ස් පිරිස්, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, වැනි පරිණත නිර්මාණකරුවන්ගේ සලකුණු සටහන් වූ උසස් නිර්මාණාත්මක භාවිත සහිත දේශීය ටෙලි නාට්‍ය කලාවක් තිබුණා. අප ඒ අතීතය තවමත් වින්දනය කරනවා.

 

ඒ වගේම ඔවුන් පෙන්නු මඟ එළිපෙහෙළි කරගෙන දැනුම්වත් ගමනක් යන තරුණ නිර්මාණකරුවන් අතළොස්සක් දැන් අප අතර ඉන්නවා. අප අද සංවාදයට ප්‍රවේශවන ප්‍රියන්ත ප්‍රනාන්දු එවැනි නිර්මාණකරුවෙක්. උසස් වින්දන කලාපයක් වෙත ප්‍රේක්ෂකයා රැගෙන යන රූපවාහිනී මාලා නාටක අතළොස්ස අතර ‘සකර්ම‘ ටෙලි නාට්‍යය විශේෂයි.

‘සකර්ම‘ ටෙලිනාට්‍ය නිර්මාණය වන්නෙ ශාන්ති දිසානායකගේ පරඬැල් නවකතාව ඇසුරින්. කාලයකට පස්සේ එළි දකින උසස් වින්දනීය පරාසයක් විවර කරන මේ නිර්මාණය ගැන කතා කරන්න අප ප්‍රියන්ත ප්‍රනාන්දුව හමු වුණා.“

නවකතාවක් ටෙලි නිර්මාණයක් බවට පරිවර්තනය කිරීම මහා ආයාසයක්. ධාරා දෙකක යන නිර්මාණ මාධ්‍ය දෙකක් එම නිර්මාණ දෙකටම හානියක් නොවී එකමුතු කිරීම විශාල ආයාසකර අත්දැකීමක්. අපි එතැනින් ප්‍රියන්ත සමඟ සංවාදය ආරම්භ කළා.

“ නවකතාවකින් ටෙලි නාට්‍යයක් නිර්මාණය වෙද්දි නවකතාවම ටෙලිනාට්‍යයක් බවට පරිවර්තනය වන්නේ නෑ. මේක මාධ්‍ය දෙකක්. පොතක් කියැවීම පෞද්ගලික අත්දැකීමක්. ටෙලි නාට්‍යයක් බලනකොට ඒක සාමුහිකව කරන රසවිඳීමක්. අවසානයේ නිර්මාණය වින්දනය කරන රසික ප්‍රජාව එකිනෙකට වෙනස්. ඒ ඉලක්කයට යනතුරු මේ මාධ්‍ය දෙකේ වෙනස් ස්වභාවය අවබෝධ කරගෙනයි නිර්මාණය ගොඩනඟන්න ඕන.“

ඔහු කතාවට ප්‍රවේශ වුණා. “ ඔබට ‘සකර්ම‘ නිර්මාණය කරන අදහස ඇති වෙන්නෙ කොහොම ද?.“

“ශාන්ති දිසානායක මහත්මියගේ ‘පරඬැල්‘ නවකතාව මට ලැබෙනවා. එය ටෙලි නිර්මාණයක් කෙරෙන පිටපත සකස් කරන්න කලින් ලොකු සංවාදයක් ඇති වෙනවා. තිර පිටපත ලියන්නෙ ලාල් වසන්ත. මේ මාධ්‍ය දෙක අතර තියන ගැඹුරු වෙනස එකමුතු කරන්න හදනකොට දරන්න අවශය පිරිවැය සහ වෙහෙස මම දැන් ඔබට කියන්නම්.“

“ මේ කතාව දිව යන්නේ නුග ගහක් අසල පිහිටි නිවෙසක් මුල්කරගෙන. නව කතා රචිකාවගේ මනසේ චිත්‍රනය වුණු පරිසරය ඇය අතින් ලියැවෙන්නෙ වැකි කීපයකින්. ඒත් තේමාවට පාදකවන නුග ගහක් අසල පිහිටි නිවෙසක් සොයා ගැනීම ඉතාම දුෂ්කර ව්‍යායාමයක් වුණා. ඒ නිසා මූලිකවම සියලු දර්ශන තලයන් අලුතෙන්ම කලා අධ්‍යක්ෂණය යටතේ සැලසුම් සකස් කරමින් ගොඩනඟන්න සිදු වුණා. ඒ සඳහා ලක්ෂ 30 ක් පමණ වැය කරන්නට සිදු වුණා. එය තමයි මේ මාධ්‍ය දෙකේ යථාර්ථය. “ ප්‍රියන්ත කියනවා.

සකර්ම රූපගත වෙන්නෙ නවගත්තේගම ගල්ගමුව වැනි දුෂ්කර පළාත්වල. නිර්මාණයට සුදුසුම රංගන ශිල්පීන් කාර්මික ශිල්පීන් නිර්මාණ ශිල්පීන් දායක කරගෙන නොසෑහෙන වෙහෙසක් දරලා තමයි "සකර්ම" ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නනෙ. මේ ආයාසකර නිර්මාණ ඵලය හරහා ඔහු සමාජයට දායක කරන්න උත්සාහ කරන්නෙ කුමක් විය හැකි ද?.

“ මේ ටෙලි නිර්මාණය මඟින් මම සාකච්ඡාවට ගන්නේ අපේ ජන සමාජය පවතින මානව සබඳතා.

මිනිස්සු වේගවත් ගමනක යන බව පේනවා. මනුෂ්‍යත්වය පිටුදකිමින් යන මේ ගමනේ අවසානය ඛේදවාචකයක්.

දැන් මේ සමාජයට අවශ්‍ය වෙන්නේ එකිනෙකා පිළිබඳ ගෞරවය සහ හැඟීම් බෙදා හදා ගන්නා වටපිටාවක් නිර්මාණය කරන්නේ කොහොමද යන සංවාදයයි.

‘සකර්ම‘ ටෙලිනාට්‍ය හරහා අපේ ජන සමාජයේ කිසියම් හරස්කඩක් සාකච්ඡාවට ලක් වෙනවා. මෙය පවතින සංස්කෘතික වටපිටාවට පමණක් සීමා වන්නේ නැහැ. මිනිසුන් කොතෙන්ට ද මේ ගමන් කරන්නේ.?

වර්තමානයේ ලෝකය පුරාම පවතින වසංගත තත්ත්වය නිසා අපට අපේ ජීවිත දිහා ආපහු හැරී බලන්න හොඳ අවස්ථාවක් ලැබුණා. කිසියම් නිර්මාණයක් කියන්නේ විටෙක කැඩපතක් වගේ. ඒ තුළින් ඔබේ සහ අපේ රුව දකින්න ඉඩ ලැබේවි. ඒ නිසා ‘සකර්ම‘ හරහා මතුකරන්න උත්සාහ කළ චරිත එදා වගේ අදත් හෙටත් අප අතර ජීවමාන විය හැකියි.

ඒ සමාජ සත්තාව නිර්මාණාත්මක සංවාදකයට අරන් එන්න ප්‍රියන්ත භාවිත කරන ශිල්ප ක්‍රමයත් ඉතාම නිර්මාණශීලී එකක්.

“ මේ නිර්මාණයෙන් මම උත්සාහ ගන්නවා ප්‍රේක්ෂකයා කේන්ද්‍රීයව චරිත කියවගන්න. එතනදි කැමරාව ප්‍රේක්ෂකයා බවට පත් කරන්න මම උත්සාහ කරනවා. මේ නිර්මාණයේ සමස්ත දර්ශනයන්ගෙන් සියයට හැටක් පමණ ගොඩනැඟෙන්නෙ මේ මූලධර්මය මුල් කරගෙන. මුළු නිර්මාණය තුළම මේ රිද්මය රඳවා ගැනීම තමයි මගේ අභිප්‍රාය. “

විශේෂයෙන්ම රූපගත කිරීම්වලදී කැමරාවේ චලනය හේතුඵල සම්බන්ධතාවකින් ගොඩනඟන්නට මට අවශ්‍යයයි. කිසියම් දර්ශනයක සංකේතාර්ථ මතුකරගන්න ඕන. ඒ වගේම චරිත තුළ ගොනුවන සිතුවිලි අංශු මාත්‍රයක් පවා නිර්මාණයකදී දනවන්න ඕන. ඒ සඳහා සියුම් තැන් කළමනාකරණය කරගන්න අවශ්‍යයයි. මෙහි දී කතාවෙන් මතුවෙන රිද්මය රංගන ශිල්පීන් තුළ සමබරව පවත්වාගෙන යාම අභියෝගයක්. මේක මුල් අවස්ථාවෙදි රංගන ශිල්පීන්ටත් අපහසුවක් වුණාට පසුව ඒ රටාවට අනුගත වෙනවා. ඒ රිද්මයට ආවට පස්සේ වෙනස් හැඩයක් සහිත නිර්මාණයක් ගොඩනඟන්න අධ්‍යක්ෂවරයාට හැකි වෙනවා.“

ඔහු කියන්නෙ රූපයට වඩා එපිටින් ඇති මානයක් රූප රාමුවක් තුළට ගොනු කරගැනීම සඳහා දරන නිර්මාණාත්මක වෑයමක් ගැන. ප්‍රියන්ත තවදුරටත් ඒ ගැන කියන්නෙ මේ විදිහට.

“කිසියම් ටෙලි නාට්‍යයක රංගන ශිල්පියෙකුට දෙබසකින් ප්‍රකාශ කරන්න පුළුවන් සීමාවක් අපි දකිනවා. එය තීව්‍ර කිරීම හෝ යටි අර්ථයක් මතුකිරීමට නම් පසුබිම් සංගීතය හා තේමාත්මක සංගීතය පෙළක් ලෙසට භාවිතයට ගන්න අවශ්‍ය වෙනවා. ඒ හරහා ප්‍රේක්ෂකයාට නිර්මාණය දැනෙන අවකාශය පුළුල් වෙනවා.“

“මෙතනදි විශේෂ දෙයක් කිව යුතුයි. රූපගත කිරීමේදී රූප රාමු පිටුපස මැවෙන ධ්වනිය මතු වෙන්න රූප රිද්මය තුළ ඉඩක් තියෙන්න ඕන. සංස්කරණයේදී ඒ ඉඩ සංගීත නිර්මාණ ශිල්පියා සමඟ එක්ව පිරවෙන විට රූප රාමුවක අර්ථය ප්‍රබල වෙනවා.“

ප්‍රියන්ත ප්‍රනාන්දු

 

ප්‍රියන්ත කියන මේ ශික්ෂිත නිමාව කිසිසේත්ම පහසු දෙයක් නොවෙයි. සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් සූක්ෂමව භාවාත්මක හැඟීම් ප්‍රකාශනය පිළිබඳ ඔහු ගත්තු උත්සාහය පිළිබඳ ඔහු තෘප්තිමත්.

“ ඔව්. එත් ඒ වෙනුවෙන් අතිරික්ත වෙහෙසක් දරන්න අපි හැමෝටම සිදුවුණා. රංගන ශිල්පීන් දර්ශන කීපයක් නිම කළාට පස්සේ මගේ රිද්මය අවබෝධ කරගන්න පහසු වෙනවා. එතෙක් ඔහුන්ට මාව හිසරදයක් වෙන අවස්ථාත් තිබුණා. සමස්ත නිර්මාණය ගොඩනැඟෙන්නේ ඒ අවශ්‍ය පුංචි දේටත් අපි යොදන අවධානයත් එක්ක. විශේෂයෙන්ම මගේ නිර්මාණයකට වෘත්තීය මට්ටමේ නළු නිළි පිරිසක් සහභාගී කර ගැනීමට මම වැඩි අවධානය යොමු කරන්නෙත් මේ කාරණය නිසා. එතකොටයි ටෙලි නිර්මාණයක ගෞරවය ආරක්ෂා වෙන්නේ.“

අවසාන වශයෙන් ඔහු මේ නිර්මාණ කර්තව්‍යයේ දී අසීමිත විශ්වාසයකින් යුතුව ඔහු හා එක්වන නිෂ්පාදකවරයාව ඔහු සිහි කරනවා.

‘යුග විලක්කුව‘ ආදී ටෙලි නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළ චන්දන පී ලියනගුණවර්ධන. ඔහුට මගේ කෘතවේදී බව කියන්න ඉඩ දෙන්න.“

‘සඳ විනිවිද‘ හා ‘ඉලන්දාරි හැන්දෑව‘ ටෙලි නිර්මාණ කළ නිර්මාණකරුවා ගැන එදා අපි උනන්දුවෙන් කතා කළා. ඔහු වැඩක් කරයි කියන විශ්වාසය දැනුම්වත් රසිකයන් පිරිස තුළ තිබ්බා. ඉතින් ඔහු ඒ වැඩේ කරලා. එය විචාරශීලීව වින්දනය කිරීම රසික ඔබේ කාර්යයක්.

 

Comments