සිංහල සාහිත්‍යයේ ලැනරෝල් ලකුණ | සිළුමිණ

සිංහල සාහිත්‍යයේ ලැනරෝල් ලකුණ

 

කඩුවෙල නගරයට ආසන්නයේ ඇති කෙතේවත්තේදී උපත ලද ලැනරෝල් සහෝදරයන් සිවු දෙනාගෙන් තරම් සිංහල සාහිත්‍ය පෝෂණයට මහඟු දායකත්වයක් දුන් අන් කිසිම ලේඛක පවුලක් ලංකාවේ නැති අතර පොත් 150 කට වැඩි ප්‍රමාණයක් මොවුන් සිවු දෙනා විසින් සම්පාදනය කර ඇති අතර ලංකාදීප පත්‍රය හා සිංහල ශබ්ද කෝෂය නිර්මාණය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

 

ප්‍රංශයේ 14 වැනි ලුවී රජ දවස ලංකාවේ 2 වැනි රාජසිංහ රජතුමා ලන්දේසින් සමඟ ගෙන ගිය දිගුකාලීන සටන නිසා හීන වී තිබූ තම යුද බලය වැඩිකර ගැනීමට ප්‍රංශ රජුගෙන් ආධාර පැතීය. රාජසිංහ රජුගේ ඉල්ලීම පිළිගෙන නෞකාධිපති ‘දලාගේ’ යටතේ නාවික භට කණ්ඩායමක් මෙරටට එවීය. එම පිරිසට ප්‍රංශයේ ආදිපාද වරයෙකු වූ නැන්ක්ලැයර්ස් ඩක් ඩී ලැනරෝල් ඇතුළත් විය. 1670 මාර්තු 30 වැනි දින ත්‍රිකුණාමලය වෙරළට සේන්දු විය. ඒ මෙයට වසර 350 කට පෙර ය. එලෙස පැමිණි තානාපති රජු බැහැ දැකීමට මහනුවර රාජධානියට අසු පිටින් ගමන් කිරීම හා බැහැරට ගොස් සිටි රජු එන තෙක් රැඳී නොසිටීම පිළිබඳ උදහසට පත් රජු නැන්ක්ලැයර් ඩක් ඩී ලැනරෝල් තානාපති තැන සිරගත කර වීමට කටයුතු ‍ෙකළේ ය. එකල රජවාසල මඟුල් මඩුවේ අසුපිටින් ගමන් කිරීමට අවසර තිබුණේ මහරජුට පමණකි.

කෙසේ වෙතත් 1687 දී දෙවැනි රාජසිංහයන් මිය ගියෙන් දෙවන විමලධර්මසූරිය රජ බවට පත්විය. නොබෝ දිනකින් ලැනරෝල් තානාපති තැන රජුට දීමට ගෙනා පඬුරු පාක්කුඩම් විමලධර්මසූරිය රජු හමුවී එතුමාට පිරිනැමීමත් තම රටේ විස්තර පැවසීමත් රජතුමාගේ සිත දිනා

සුදු ගම්පල අතපත්තු දිසාවේ නිලමේගේ නිවසේ ජීවත්වීමට ඉඩ සැලසූ අතර කල්යත්ම වැවූඩ කොට්ටමුල්ලේ රාජගුරු පණ්ඩිත මුදියන්සේගේ දියණිය හා විවාහ වී සිංහලයෙකු ලෙස ජීවත්ව ඇත. එම විවාහයෙන් ගැහැනු දරුවන් 3 ක් හා පිරිමි දරුවෙක් ලද අතර ඔහු පසු කලෙක රජුගේ රන් ආයුධ මණ්ඩපයේ මහා ලේකම් තනතුර හෙබවීය. විමලධර්මසූරිය රජු ඇවෑමෙන් ඔහුගේ පුත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (සිංහලයේ අන්තිම රජු) රජ වීමත් සමඟ ඔහු සමඟ ඉතා හිතවත් වූ මහ ලේකම්වරයා ඒ වනවිටත් ‘ලානරෝල්’ යන්න ‘ලැනරෝල්’ ලෙසත් ‘ඩන් ඩි’ යන්න ‘ඩියුක්’ ලෙසත් වෙනස් කරගෙන තිබුණි. එකල මොවුන් විසූ මහනුවර සුහු ගම්පල රජ මහා විහාරයේ විහාරාධිපතීන් වහන්සේ වූයේ කඩුවෙල අන්තදස්සී හිමියන්ය. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා වූයේ ලංකා ඉතිහාසයේ රන් අකුරින් තම නම රැන්දූ වාරියපොළ සුමංගල හිමියන්ය. කඩුවෙල අන්ත දස්සී හිමියන්ගේ පෙලඹවීම මත ද නොදිනතත් රාජ කරුණාධිපති අමරකෝන් මුදියන්සේලාගේ ජේම්ස් ඩියුක් ද ලැනරෝල් පහතරට මුල්ලේරියාවේ කටුගම්පලගේ දෝන ලසියානා ද සිල්වා සමඟ විවාහ වී කඩුවෙල නගරය ආසන්නයේ ඇති කෙතේවත්තේ පදිංචි විය. මෙකල කඩුවෙල සංඛපිට විහාරයේ විහාරාධිපති වහන්සේ වූ බටුගෙදර ඥානාලංකාර හිමියන්ට මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ මහානුභාව සම්පන්න ධාතුන් වහන්සේ නමක් ගල් ගුහාවක සඟවා ඇති බව දැනගන්න ලැබී මහත් වෙහෙසක් දරා එය හිමි කරගෙන 1843 දී කඩුවෙල ධාතු පෙරහර අරඹන ලදී.

එම විවාහයෙන් ලැබුණු පිරිමි දරුවන් 4 දෙනා වික්ටර් ඩියුක් ද ලැනරෝල්, ජුලියස් ඩියුක් ද ලැනරෝල්, සැමුවෙල් ඩියුක් ද ලැනරෝල්, කුලසිංහ ඩියුක් ද ලැනරෝල් නම් විය.

වැඩිමහල් වී.ඩී. ද ලැනරෝල් පොත් සියයකට වඩා ලියා ඇති ලේඛකයෙකි. ඒ අතර ඉතිහාසය පොත්, ළමා පොත්, කවි පොත් පමණක් නොව සන්දේශ කාව්‍යයන් පවා ලියා ඇති අතර මාර්ටින් වික්‍රමසිංහයන්ට පමණක් දෙවැනි වන ලේඛකයෙක් ලෙස ප්‍රකටය. කොල්ලුපිටිය ජනරජ පාසලේ විදුහල්පතිවරයා ලෙසත් සිංහල බෞද්ධයා, පත්‍රවල කතුවරයා ලෙසත් කටයුතු කළ මෙතුමාගේ ළමා කතා අතර ඇලඩින්ගේ පුදුම පහන, මහදැනමුත්තා ගෝලයෝ පිරිස, අන්දරේ හා රජවාසල කවටයෝ, සින්බැඩ් නැවියා, වෙස්සන්තර කාව්‍ය, වැනීසියේ වෙළෙන්දා, පවුලේ වාසනාව, උපාසක බළලා, මගේ පුත්‍රයා, මහත්මා ගාන්ධි ආදර්ශ කථා, කැකිල්ලේ රජ්ජුරුවෝ, කථා මල්දම ආදී කෘති 50 කට වැඩිය. එමෙන් ම කවිත්‍රයා, ළමා කවි කලඹ, සිංහල කාව්‍ය, ගොයම් කවි, මලාවි සංදේශය, ලැනරෝල් කවි දහස, සිංහල ජන කවි, පෙම් හැර, දෑ කවි කලඹ, බටහිර මානික්‍ය, තොවිල් කවි, හපන්කම්, මෝඩකම් හා පුරසාරම්, අමල් බිසෝ, කුමාර ශික්ෂා පියසිරිගේ පාසල් සමය, මසුරු සිටාණෝ, විදුර පණ්ඩිතයෝ, අතීතය කතා රත්නය, යට ගිය දවස, සිල් මෝළ, මිහිරි වදන් ආදී පොත් ද ලියූ මෙතුමා ඉතිහාසය පිළිබඳව ද මනා අවබෝධයකින් සිටි බව පෙනේ.

කඩුවෙල සංඛපිටි විහාරය සමඟ මනා සම්බන්ධයක් ගොඩ නඟා ගෙන සිටි අතර එහි සධාතුක ධාතු පෙ‍රහරේ විදුලි ආලෝකය විවෘත කිරීම තම බිරිය අතින් සිදුකිරීම චාරිත්‍රයක් ලෙස බාරගෙන තිබුණි.

ලංකා ඉතිහාසය, ලංකා පුරාවෘත්ත වැනි ඉතිහාසය ග්‍රන්ථ ද මදුරු සංදේශය, මලාවි සංදේශය තරුණයන් වෙනුවෙන් මගේ පෙම්වතිය, ඉරණම, මහල් රැවුල, තරුණ සාමය, ස්ත්‍රිය, පවුලේ වාසනාව, කුඩුම්බි රාක්ෂයා, උමතු තරුණයා, පත්මාවතී කුමරිය, ආලය මගේ දේශපාලන ජීවිතය වැනි පොත් 25 ක් පමණ ජාතියට දායාද කර ඇති අතර 1923 දිනමිණ පත්‍රය පළවූ ‘උපාසක මහත්තයා’ කෙටිකතාව ලංකා ඉතිහාසයේ ප්‍රථම කෙටි කතාව ලෙස සම්මානයට පත්ව ඇති අතර එය ද වී.ඩී. ද ලැනරෝල් ශූරීන්ගේ නිර්මාණයකි. 1977 මිය යනතුරුම කඩුවෙල කොතලාවල පදිංචිව සිටි මෙතුමා විවාහ ගිවිසගෙන තම පෙම්වතියට පෙම්හර නමින් පොතක් ලියා පිළිගැන්වූ ප්‍රථම පෙම්වතා වී.ඩී. ද ලැනරෝල් මහතා ය.

ජූලියස් ලැනරෝල් මහතා සිංහලය රජ බස විය යුතු බවට සමාජ ගත කළෙන් ජේ.ආර්. ජයවර්ධන එය රාජ්‍ය මන්ත්‍රණ සභාවට එක් කර සම්මත කරගත් අතර එම කොමිටියේ ලේකම් තනතුරට පත්වූයේ ද ජූලියස් ලැනරෝල් මහතා ය. සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ ප්‍රථම කතුවරයා වූ එතුමා මහාචාර්ය ගයිගර් යටතේ ඒ සඳහා සුදුසුකම් ලැබීය. ලිහිල් සිංහල භාෂාව යොදාගනිමින් පොදු ජනතාව අතරට පුවත්පත් දැනුම ලබාදීම සඳහා ලංකාදීප පුවත්පත ආරම්භ කරන ලද්දේ ද ජූලියස් ලැනරෝල් මහතා ය. තරුණ බෞද්ධ සංගමයේ අභිධර්ම පරීක්ෂණ විභාගය ආරම්භ කරමින් දහම් දැනුමෙන් ජනතාව සන්නද්ධ කළ මෙතුමා සිංහල බෞද්ධ පත්‍රයේ කළමනාකරු වශයෙන් අනගාරික ධර්මපාල තුමා සමඟ දැඩි බැඳීමක් ඇති කරගෙන තිබුණි. රාජ නායක නිල නිවස අරලියගහ මන්දිරය ලෙස නම් කරන ලද්දේ ද මෙතුමාය‍.

මහානායක හිමිවරුන් පත් කිරීමේදී ආණ්ඩුකාරවය (ජනපති) වෙත ගොස් අත්පත්‍ර ලබාදීමේ ක්‍රමය වෙනුවට ආණ්ඩුකාරවරයා හාමුදුරුවන් වෙත ගොස් අත්පත්‍ර පිළිගැන්වීම මෙතුමාගේ යෝජනාවකි.

කොළඹ ආනන්ද විදුහලේ වසර 32 ක සේවය අවසන් කරන්නේ එහි මධ්‍යම පාඨශාලාවේ ප්‍රධානාචාර්ය වරයා වශයෙන් ඒ. කුලසිංහ ලැනරෝල් කොළඹ ආනන්ද විදුහලේ වසර 32 ක සේවය අවසන් කරන්නේ එහි මධ්‍යම පාඨශාලාවේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් ඒ. කුලසිංහ ලැනරෝල් ශූරීන් ය‍. 1902 කඩුවෙල උපන් මෙතුමා පුවත්පත් කලාවේදියෙක් වශයෙන් පමණක් නොව උගතෙක් ලෙස ප්‍රකට ය. නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විදුහලේ විදුහල්පතිවරයා ලෙසත් 1930 ගණන්වල උසස් ඉංග්‍රීසි පාසල්වල සිංහලෙන් ඉගැන්වීමේ ක්‍රමය හඳුන්වා දුන් මෙතුමා ඒ සඳහා මනා කැපවීමකින් කටයුතු කෙළේය‍. 1959 කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම විභාග අධිකාරිවරයා වූ මෙතුමා The pride සිංහල දරුවා, රම්‍ය කථා, සදහම් මග, කථා පෙරහර නාට්‍ය පත pigeons of the wings, portrait of the budhdha, origin of singhall, culture, river in the jungle, kularathna of ananda කෘති පළ කරන ලදී. ලංකාදීප පුවත්පතේ වසර 25 ක්ම ළමා පිටුවේ සංස්කාරවරයා ලෙස ඔහු කටයුතු කළේ ය.

සිංහලෙන් ලියවී ඇති හොඳම සංචාරක කෘතිය ලෙස පිළිගැනෙන ‘වන නදිය’ පොතේ කතුවරයා වන සැමුවෙල් ලැනරෝල් ත්‍රිකුණාමලය දක්වා මහියංගනයේ සිට ඔරුවකින් මහවැලි ගඟ හරහා ගමන් කර එහි ඇති ස්වභාව සෞන්දර්යය හා මිනිස් ජන ජීවිතය පිළිබඳ මොනවට ලියා ඇත. තවත් පොත් 10 කට වඩා ලියා ඇති ඔහු ලියූ පුරාණ ඉන්දියාව නැමැති කෘතියට පෙරවදනක් ලියමින් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එතුමා ඇවිදින පුස්තකාලයකට සම කර ඇත.

මෙලෙස වසර 350 කට පෙර ලක්දිවට පැමිණි ප්‍රංශ අධිපති නැන්ක්ලැයර්ස් ලැනරෝල් ගේ පරපුරේ පිරිස ලංකාවේ සිංහල සාහිත්‍ය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවය අන් කිසිවෙකු සිංහල සාහිත්‍ය වෙනුවෙන් කරන ලද සේවයට වත් සමකළ නොහැක.

 

Comments