ල - ළ වරදන තවත් යෙදූම් | සිළුමිණ

ල - ළ වරදන තවත් යෙදූම්

සති කිහිපයක් පුරා ‘හරි වහරින්‘ විමැසෙන්නේ ‘ල‘ යෙදිය යුතු තැන්හි වරදවා ‘ළ‘ යොදා ලියනු ලබන වදන් ය. තවත් එ වන් වදන් ගණනාවක් ම ඇති හෙයින් අදත් එයින් කිහිපයක් විමැසිල්ලට ලක් කරමු. කිසි දු පොතෙක පතෙක හෝ භාෂා ව්‍යවහාරයෙහි හෝ නො දක්නා ලැබෙන ව්‍යාජ භාෂා රීති ඇතැම්හු අනුගමනය කරති. ඇතැම් ගුරුවරු සිය සිසුනට ද ඒ උගන්වති. අමූල වූ එ බඳු රීති කලිනුදු ‘හරි වහරින්‘ දක්වනු ලැබිණ. තව ද එ බඳු රීතියක් නම් ‘හ‘ පූර්ව කොට (දන්තජ) ‘ල‘ නොයෙදෙති යි ද (මූර්ධජ) ‘ළ‘ ම යෙදෙති යි ද යන්න යි.

 

මේ ව්‍යාජ රීතිය පිළිපැදීම නිසා වරදවන වදන් බෙහෙවි. ‘කෙහෙළි‘ යනු ඉන් එකක් වේ. මෙහි (මූර්ධජ) ‘ළ‘ යෙදීම ඉඳුරා වැරැදි වේ. (දන්තජ) ‘ල‘ යෙදීම ම නිවැරැදි ය.

කොඩිය යන අරුතැති ‘කෙහෙලි‘ යන නාම ප්‍රකෘතිය දෙ විදියෙකින් වර නැඟේ. ඉන් එක් විදියක් නම් ‘ය්‘ ආගම වීමෙන් (අමුතුවෙන් පැමිණීමෙන්) ‘කෙහෙලිය‘ - කෙහෙලියෙන් - කෙහෙලියට‘ ඈ විසින් වර නැඟීම යි. අනෙක් විදිය නම් ‘ලි‘ යන්නෙහි ‘ල්‘ ව්‍යඤ්ජන අක්ෂරය ද්විත්ව වී ‘කෙහෙල්ල - කෙහෙල්ලෙන් - කෙහෙල්ලට‘ ඈ විසින් වර නැඟීම යි.

‘කෙහෙලි‘ යනු ප්‍රාණවාචී වැ ‘කෙහෙල්ලා‘ ආදි වශයෙනුදු යෙදෙන බව පුරාතන සාහිත්‍යයෙන් පෙනී යයි.

සවනත පත සුනිල් - පැහැ කිඳු දඬු නෙතන තල

සරහන මල් කෙහෙල්ලා - සර යැ වියත නොහැකියෙම්

යන කව් සිළුමිණි පැදිය එයට නිදසුනෙකි. මෙහි (දන්තජ) ‘ල‘ ම යෙදෙන බවට එ ද සාධකයෙකි. එ පැදියෙහි මල් කෙහෙල්ලා නම් අනංගයා යි.

සිංහලයෙහි ‘කෙහෙලි‘ යන්නට අනුරූප වැ සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහිත් ‘කදලි‘ යනු යෙදෙයි. එහි දු (දන්තජ) ‘ල‘ ම යෙදීම සිංහල වචනයෙහි දු ‘ලි‘ යෙදෙන බව වඩාත් තහවුරු කරයි. කදලි යනු කෙහෙලි අරුතෙහි මෙන් ම කෙහෙල් (රඹ) අරුතෙහි ද එක සේ යෙදේ.

‘සැකිළි‘ යනු ත් මෙ සේ වරදවා ‘ළ‘ යොදන වදනක් වේ. ඇටසැකිළි වැනි යෙදුම්හි මේ වරද බෙහෙවින් යෙදෙනු දැකිය හැකි ය. මෙහි නිවැරැදි යෙදුම නම් ‘සැකිලි‘ යන (දන්තජ) ‘ල‘ සහිත වදන යි.

‘සැකිලි‘ යනු වර නැඟීමේ දී බොහෝ විට ‘ල්‘ ද්විත්ව වෙයි. එ හෙයින් ‘සැකිල්ල - සැකිල්ලෙන් - සැකිල්ලට‘ ආදි රූප නිපැදේ. ‘ස‘ ම ‘හ‘ බවට පත් වීමෙන්, නැත හොත් ‘ස‘ වෙනුවට ‘හ‘ ආදේශ වීමෙන් ‘හැකිලි‘ යනු ද ‘හැකිල්ල - හැකිල්ලෙන් - හැකිල්ලට‘ ආදිය ද නිපැදේ.

අසු වැ පියබඳුන් පිය රැව් හැකිල්ලේ

පයැ‘දැ යා නො හී මහ වේ මුළුල්ලේ

ආදි තිසර සන්දේශ පද්‍යයෙහි ‘හැකිල්ලේ‘ යනු යෙදේ. එහි ‘හ්‘ ද ඉවත් වීමෙන් ‘ඇකිලි‘ යනු ද යෙදී ඇත්තේ ය.

‘සැකිලි‘ යන්නෙන් දාමය හෙවත් දම (දම්වැළ) යන අරුත ලැබේ. ඇට සැකිලි යන්නෙහි දාමයෙකින් මෙන් එකට බැඳුණු ඇට සමූහය ගැනේ. හැකිලි යන්නෙන් ‘මාංචු‘ යන අරුත ද ගැනේ. දම්වැළ වරදකරුවන් බැඳීමට ගන්නා හෙයින් යැ යි සිතිය හැකි ය.

සැකිලි යනු හා අනුරූප වැ පාලියෙහි ‘සංඛලිකා‘ යනු යෙදේ. එහි දු (දන්තජ) ‘ල‘ යෙදෙන සැටි සැලැකුව මනා ය.

මෙ ලෙස නිතර වරදවන තවත් වදනක් නම් ‘කිහිළි‘ යනු යි. ‘කිහිළිකරුව‘ වැනි වදන් ලිවීමේ දී මේ වැරැදි යෙදුම යෙදෙනු දැකිය හැකි ය.

මෙහි ලා නිවැරැදි වනුයේ (දන්තජ) ‘ල‘ සහිත ‘කිහිල‘ යනු යි.

‘කිහිලි‘ යනු වර නැඟෙනුයේ අගැ ‘ල්‘ ද්විත්ව වීමෙන් ම ය. එ නම් ‘කිහිල්ල - කිහිල්ලට - කිහිල්ලෙන්‘ ආදි වශයෙනි. මෙහි ‘ලි‘ විනා ‘ළි‘ නොයෙදෙන බවට එ ද සාධක වේ.

කිහිලි යන්නෙහි මූල රූපය ‘කිසිලි‘ වේ. ‘ස‘, ‘හ‘ වීමෙන් ඒ කිහිලි වේ. මේ අරුතෙහි ‘කැස‘ යනුත් පැරැණි වහරෙහි යෙදුණු බව

තැසින් බොනුයේ තැසුබු

යන සිදත් සඟරා කියමනින් පෙනේ. කිහිල්ලෙන් (දිය) පානය කරනුයේ තැසුබු හෙවත් තැස්බෑවා යනු එහි අරුත යි.

කිහිලි යන්න හා සම අරුතින් සංස්කෘතයේත් පාලියේත් ‘කච්ඡ‘ යනු සමාන වැ යෙදේ. එ වුව ද, ඇතැම් මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවෙක දක්නා ලැබෙතියි ප්‍රාචීන භාෂාඥයන් පවසන ‘කච්ඡලි‘ යන්න සිංහලයෙහි ‘කිහිලි‘ යන්නට වඩාත් සමරූප බව කිව හැකි ය.

Comments