නයින්ට පොළ­ඟුන්ට ආද­රේ ­ක­රන හසන්ති | සිළුමිණ

නයින්ට පොළ­ඟුන්ට ආද­රේ ­ක­රන හසන්ති

 

‘‘දුව සමහර දවස්වල ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම පොත් බෑග් එක මේසය උඩ නොතියා දොර ළඟ බිමින් තියනවා. පොත් බෑග් එක බිමින් තිබ්බේ ඇයි කියලා ඇහුවාම එයා කියන්නේ බෑග් එකේ සර්පයෙක් ඉන්නවා කියලා. මම දවසක් දුව එහෙම කීවාම එයාගේ පොත් බෑග් එක හෙමින් ඇරලා බැලුවා. ඒ බෑග් එක ඇතුළේ තුවාල වුණු නයෙක් හිටියා. තවත් දවසක් දුව පන්ති ගිහිල්ලා මගෙත් එක්කම ගෙදරට ආවා. මම ගේ ඇතුළට ගිහිල්ලා ටිකකින් බලන කොට දුව ගෙදර නැහැ. අපි ආව ත්‍රීවීලර් එකෙන් බහින කොටම එයාට කෝල් එකක් ඇවිත් එයා සර්පයෙක් අල්ලන්න ගිහින්.‘‘ සර්පයන්ට බය නැති දියණියගේ මව පවසන්නේ ආඩම්බරයෙනි.

විවිධ අනතුරුවලට මුහුණදී තුවාල ලබා සිටින නයි පොළොඟුන් වැනි විෂඝෝර සර්පයන් ඇයට තවත් වටිනා ජීවිතයකි. එම සර්පයන් අල්ලාගෙන නිවසට ගෙනැවිත් ප්‍රතිකාර කර මුදා හැරීමට ඇය ඕනෑම මොහොතක සූදානම්ය.

බොහෝ විට පිරිමියකු පවා සර්පයන් ඇල්ලීමට බිය වන බව නොරහසකි. එසේ තිබියදී තවමත් පාසල් ශිෂ්‍යාවක වන හසන්ති භාග්‍යා හිටිබංඩාර දැරියට සර්පයන් ඇල්ලීම සෙල්ලමකි. මොලගොඩ අළුලෙන විහාරස්ථානය සමීපයේ පදිංචි ඇය පින්නවල ජාතික පාසලෙන් වාණිජ විෂය ධාරාව හදාරා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

‘‘මගේ අත්තා සර්ප වෙදකම කරනවා. සර්පයන් දෂ්ට කළාම අත්තා ළඟට බේත් කරන්න එනකොට කාපු සර්පයා මරාගෙන ගේනවා. එහෙම මරාගෙන ආපු සර්පයන් මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා අතපත ගාලා බැලුවා.

මීට අවුරුදු තුනකට විතර කලින් මොලගොඩ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ ටික කාලයක් වහලා තිබුණු අපේ කඩයක් සුද්ද කරනවිට සර්පයන් දෙදෙනෙක් සිටියා. එක්කෙනෙක් ටිකක් සැර පාටයි. මම එයාට යන්න ඇරලා අනිත් එක්කෙනා ගෙදර ගෙනාවා. ඒ වෙනකොට සර්පයන් හඳුනන්නේ නැහැ. මම හිතුවේ පිඹුරෙක් කියලා.

මගේ යාළුවෝ එයාගේ පොටෝ අරගෙන පින්නවල සත්තුවත්තට ගිහින් ඒ පිංතූර පෙන්නලා මේ සර්පයා මොකාද කියලා අහලා. ඊට පස්සේ සත්තුවත්තේ අය ඒ පොළඟෙක් කියලා. සර්පයන් ඇති කරන්න තහනම් කියලාත් කියලා තියෙනවා. පොළඟෙක් කීවාම මමත් බය වුණා.

අපි එයාව යන්න ඇරියා. ඒත් එයා යන්නේ නැතිව ගෙදරට ආවා. ඒ පොළඟා මගේ අතේ තියාගෙන ගත්ත පිංතූරයක් සමාජ මාධ්‍යවල ගියා. ඒක දැකලා සජිත් කුමාර අයියා මට කතා කළා. ඔහු තමයි මට සර්පයන් අල්ලන්න මට කියලා දුන්නේ.

හසන්ති භාග්‍යා මේ වන විට නයි අසූ පහක් පමණ අල්ලා නිදහස් කර ඇත. පසුගිය මාර්තු විසි හත්වෙනිදා එකම දවසේ නයි නව දෙනෙක් ඇල්ලුවා. සර්පයෙක් ඉන්නවා කියලා කීව ගමන්ම මම යනවා. විනාඩියක්වත් ඉන්නේ නැහැ.

පරක්කු වුනොත් කවුරු හරි සර්පයාව මරනවා. ඉස්කෝලේ ගෙනියන බෑග් එකේ දාගෙන මම සර්පයාව ගෙදර ගේනවා. මම නයි තමයි ගොඩක් අල්ලන්නේ. දැන් මේ පැත්තේ කවුරුවත් සර්පයන් මරන්නේ නැහැ. මෙච්චර කාලෙකට මට සර්පයෙක් දෂ්ට කරලා නැහැ.

හුඟාක් සර්පයන් විෂ නැහැ. සුළු විෂ සත්තු ගෙනත් ගෙවල් ළඟ තිබෙන අක්කර විසි හතරක වන වගාවට නිදහස් කරනවා. උග්‍ර විෂ අය දමන්නේ බොලගම රක්ෂිතයට. මේ සර්පයන් පින්නවල සතුන්වත්තට දුන්නත් එහි සර්පයන්ට වෙනම තැනක් නැහැ. දුර්ලභ සර්පයෙක් නම් දෙහිවල සතුන්වත්තට ගෙනියනවා.“ හසන්ති පවසන්නේ සතුටිනි.

“මිනිස්සුන්ට උදවු කරන්න මිනිස්සු ඉන්නවා. සතුන්ට උදවු කරන අය සමාජයේ හරිම අඩුයි. මම ඉල්ලන්නේ සර්පයන්ට ඒ අයගේ පාඩුවේ ඉන්න ඉඩදෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ. මේ දැනුම තිබෙන ගොඩක් දෙනෙක් ඒක තව කෙනෙක්ට කියලා දෙන්න කැමැති නැහැ.

උග්‍ර විෂ සතුන්ට වඩා අපට වැඩිපුරම හමුවන්නේ නිර්විෂ සර්පයන්. නමුත් මේ ගැන සමාජයේ වැටහීමක් නැති නිසා සර්පයකු දකින විට මරන්න පෙළඹෙනවා. මේ සර්පයන් පිළිබඳව පාසල් දරුවන්ට උගන්වා ඒ මඟින් හෝ සමාජය දැනුම්වත් කරන්න අවශ්‍යයි.

මගේ 076-7335313 දුරකතන අංකයට කතා කළොත් මම ඕනෑම වෙලාවක සර්පයෙක් බේරාගන්න ඉදිරිපත් වෙනවා.‘‘හසන්ති භාග්‍යා (හසී) දැරිය තිර හඬින් පවසයි.

හසන්තිගේ පියා ප්‍රදීප් රවීන්ද්‍ර කුමාර හිටිබංඩාර යුධ හමුදා සේවාවේ යෙදී සිටින්නෙකි. ඔහු තම දියණියගේ මෙම අපූරු හැකියාව පිළිබඳව පවසන්නේ මෙබන්දකි.

“දුවට නොතේරෙන කුඩා කාලයේ ඉඳලාම අපි මෙයාගේ සමහර වැඩ ගැන කල්පනාවෙන් සිටියා. එයා සතුන් සර්පයන් ගැන නිතරම නිරීක්ෂණය කළා. මෙයාගේ සර්පයන් සමඟ වැඩ මම දැනගත්තෙත් පිංතූර වලින්. පාසලේ අධ්‍යාපන කටයුතු සමඟ දුව සර්පයන් ගැනත් ඉගෙන ගන්නවා.

ලෙඩ රෝගවලට බෙහෙත් කරනවා. අපේ අත්තාගේ ගෙදර පින්නවල අලි අනාථාගාරය ළඟමයි තිබිලා තියෙන්නේ. මුල් කාලයේ උඩරටට රේල් පාර හදනකොට අලින්ගෙන් වැඩ අරගෙන තියෙනවා. ඒ අලින්ට බේත් කරලා ගාල් කරලා තිබුණු අලිවත්ත තමයි පසුකාලෙක අලි අනාථාගාරයට අරගෙන තිබෙන්නේ. අපේ අත්තාගේ පවුලේ සත්ව වෙදකම පාරම්පරිකවම තිබිලා තියෙනවා. දැන් ඒ හැකියාව දුවටත් තියෙනවා. දවසක් දුව පිඹුරෙක් කියලා නොදැන පොළ‍ඟෙක් ඇති කළත් අපි ඒකට බාධා කළේ නැහැ. පොළඟා හවස පහ හමාර හය වෙනකොට දුව හිටිය උඩ තට්ටුවට පඩිපෙළ දිගේ යනවා.

දුව මටත් නයි අල්ලන්න කියලා දුන්නා. දුව ගෙදර නැති වෙලාවට මමත් අහල පහල ගෙදරකට නයෙක් ආවොත් යන්න හිතාගෙන මේ වැඩේ ඉගෙන ගත්තා .මේ වෙනකොට මමත් නයි දෙදෙනෙක් බේරාගෙන තියෙනවා.ජීවිත දෙකක් බේරාගන්න ලැබීම ගැන මටත් තිබෙන්නේ පුදුම සතුටක්.‘‘හසන්තිගේ මව ඒශිකා සඳමාලි වීරසිංහ පවසන්නීය.

‘‘සර්පයන් අල්ලන එක ඕනෑම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්.හැබැයි බය නැතිවෙන්න ඕනෑ.

මේ නංඟිව සමාජ මාධ්‍යවල පොළඟා සමඟ දාලා තිබුණු ඡායාරූපවලින් හඳුනා ගත්තා. බොහෝ දෙනෙක් නොදන්නාකම නිසා නිර්විෂ සර්පයන්ව මරා දමනවා. විෂ සහිත සර්පයන් වුණත් අල්ලලා කැලේට නිදහස් කරන්න අපි කටයුතු කරනවා. මේ වනවිට එකසිය දහඅට දෙනෙක්ට මම මේ ශිල්පය උගන්වලා තිබෙනවා.

ඒ අතර හාමුදුරු නමක්ද සිටිනවා. මේ ගැන ඉගෙන ගන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් මගේ 071-3103852 දුරකතන අංකයට කතාකළොත් උගන්වන්න පුළුවන්.‘‘ හසන්තිට සර්පයන් පිළිබඳව කියාදුන් හොරණ, සජිත් කුමාර (සජී)පවසයි.

‘‘අපේ පවුලේ සර්ප විෂ වෙදකම අවුරුදු ගණනාවක සිට පැවත එන පාරම්පරික වෙදකමක්. සර්පයෙක් කෑවාම සතා මරාගෙන එන්න ඕනෑ නැහැ.

මේ වෙදකම ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැතිවෙයි කියලයි මට දුක තිබුණේ. ඒත් මේ දුව ඉස්කෝලේ යන ගමන්ම ඒක ඉගෙන ගත්තා. දැන් බය නැතිව ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා.

සර්ප වෙදකම විතරක් නෙවෙයි එයා සර්වාංග වෙදකමත් කරනවා.

ඇය මගෙන් පස්සේ නැතිවෙන්න නොදී මේ වෙදකම එයා ඉදිරියට ගෙනියන බව මට විශ්වාසයි. ‘‘හසන්තිගේ අත්තා වන සර්ප විෂ වෙදැදුරු ජී. පී. වීරසිංහ පවසන්නේ මහත් සතුටිනි.

Comments