මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට තැත් කළ ඉන්දීය යාත්‍රා 11ක උත්සාහය වළකියි | Page 2 | සිළුමිණ

මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට තැත් කළ ඉන්දීය යාත්‍රා 11ක උත්සාහය වළකියි

 
අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන්  මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද ( 04) දින නාවික හමුදාවට හැකි විය.
 
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දීය ධීවර යාත්‍රා  11ක් නාවික හමුදා මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය.
 
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව  දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත. තවද, නීති විරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටී.

Comments