‘එකම විසඳුම එන්නත්කරණයයි’ | සිළුමිණ

‘එකම විසඳුම එන්නත්කරණයයි’

ප්‍රථමවරට කොවිඩි 19 වයිරසය හඳුනා ගත්තේ චීනයේ වූහාන් නගරයෙනි. මේ වන විට මේ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වී ඇත. මේ කොවිඩ් 19 වයිරසය ඇති කිරීමට ප්‍රධාන වන්නේ සාර්ස් කොවිඩ් 2 වයරසයේ ප්‍රභේදයක් වන B/ 117යි. එනම් මේ කොවිඩ් 19 රෝගය ඇති කරන සාස් වයිරසයේ ප්‍රෙභ්දයක් වන B/ 117යි. මෙම චීනයේ වාර්තාවූ මාතෘ වයිරසය වන wild type වයිරසයට වඩා වෙනස් වන අතර එය ජාන විකෘතිතාවයක් නිසා ප්‍රථමවරට එංගලන්තයෙන් හඳුනා ගැනෙයි. මෙහි මවු අවස්ථාව ලෙස wild type වයිරසය ලෙස හැඳින්වේ. මෙය ලොව පුරා විවිධ ප්‍රදේශවල විභේදනයන්ට ලක් කරමින් විකෘති ප්‍රභේද නිර්මාණය කර ඇත. මේ විකෘති ප්‍රභේද මිනිසුන්ට අහිත කර ලෙස බලපානු ලබන මට්ටමට පැමිණි විට රෝග ලක්ෂණ ඇති කරයි.

මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම, එසේ නැතිනම් හඳුනා ගැනීමේ හැකියාවන්ට බාධා කරන අවස්ථාව වන විට සහ ඒ වයිරසයෙන් යම්කිසි ප්‍රදේශයක වැඩිපුර පැතිරීම සිදුවූ විට අපි එය ලොව ප්‍රධානතම වයිරසයක් ලෙස හඳුන්වන variant of confern (වීඕසී) නමින්ද හඳුන්වන ප්‍රධානතම වයිරසයකි. මේවන විට එවැනි ප්‍රභේද අඩුම තරමින් පහක් පැතිරී ඇත. එහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් වන අතර ඊට අමතර තවත් ප්‍රභේද දෙකක් පැතිරෙමින් පවතී. මේ ප්‍රධාන ප්‍රභේද වාර්තා වන්නේ දකුණු අප්‍රිකාව බ්‍රසීලය එංගලන්තයෙනි. එංගලන්තයේ බී 117,දකුණු අප්‍රිකාවේ බී 1 351, බ්‍රසීලයේ පී 1 , ප්‍රධාන වශයෙන් ව්‍යප්තව ඇත. ඊට අමතරව කැලිෆොනියාව ආශ්‍රිත තවත් ප්‍රභේද දෙකක් වෙයි. අපි ඒ variant හඳුන්වනු ලබනුයේ බී 1 427 සහ බී 1 429 ලෙස යි.

මේවායේ පැතිරීමේ හැකියාව සාමාන්‍ය වයිරසවලට වඩා වැඩිවෙයි. ඊට අමතර බී 117 යන එංගලන්ත ප්‍රභේදයේ රෝග ලක්ෂණ වැඩි අතර පැතිරීම ද වැඩි වෙයි. මියයාම හැකියාවද වැඩි වෙයි. මෙය එංගලන්තයේ ආරම්භ වුවත් ලෝකයේ රටවල් රාශියක මේ වනවිට පැතිරී ඇත.

මේ ලංකාවේ පැතිරෙමින් පවතින මේ නව වයිරසය ලොව පුරා බොහො රටවල්වල පැතිරී ඇති අතර ලොව පුරා වැඩි මරණ සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ මේ ප්‍රභේදයයි. එයට හොඳම උදාහරණය එංගලන්තය සහ ඉන්දියාවයි. පැතිරීම වැඩි වන විට රෝග ලක්ෂණ වැඩි වෙයි. එමෙන්ම මිය යන ප්‍රමාණය ද වැඩි වෙයි. එහිදී මහජනතාව ලෙස අපි ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මෙය ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන වසංගතයක් නිසා ආසාදිතයන්ගෙන් බෝවීම වැඩි වෙයි. මේ වනවිටත් බෝවීම වැඩි වී ඇත. රෝග ලක්ෂණ නැතිනම් බෝවීමේ හැකියාව සාපේක්ෂව බොහෝ විට අඩුයි.

නමුත් මේ රෝග ලක්ෂණ වැඩි නිසා කිවිසුම් මගින් බාහිර වාතයට වයිරසය නිරාවරණය වීම වැඩියි. එසේ වනවිට පැතිරීම වැඩියි. පැතිරීම නිසා ගැටලු විශාල ලෙස ඇතිවිය හැකියි. මහජනතාව ලෙස අපි හැමවිටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට හුරුවිය යුතුයි. අත්‍යවශ්‍ය කාරණාවට හැර නිවෙසින් බැහැර නොවිය යුතුයි. හොඳින් වැසෙන සේ මුහුණු ආවරණයක් පැළදිය යුතුයි. දෑත් විෂබීජහරණ ද්‍රාවණ මඟින් නිතර විෂබිජහරණය කරගත යුතුයි. දෑත් හොඳින් සබන් යොදා සේදීම හැකි සෑම තැනකදීම කළ යුතුයි. සංචරණ සීමා ඉතාමත් සීමීත කරගත යුතුයි. නගරයෙන් නගරයට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට දිගු ගමන් සීමා කළ යුතුයි. ආවරණය වූ කාමරවල ගැවසීම නතර කළ යුතුයි. මීටර දෙකක පරතරය පවත්වා ගත යුතුය. මේ මූලික ක්‍රමවේදයන්ට අනුගත වී ක්‍රියා කිරීමයි මේ වයිරසය පාලනය කරගැනීමට ඇති මූලිකම ක්‍රමවේදය.

මේ වනවිට අප තහවුරු කර ඇති කරුණු අනුව මේ නව වයිරසය කොළඹ, බොරලැස්ගමුව, කුරුණෑගල ව්‍යාප්ත වී ඇත. ඊට අමතරව දැනට අපිට ලැබී ඇති වාර්තා අනුව ගාල්ල සහ කළුතර ද පැතිරී ඇති බවට සැක පහළ කළ හැකිය. එය තහවුරු කිරීමේ පරික්ෂණ අපේ විද්‍යාගාරයේ සිදුකරමින් පවතී. නමුත් තහවුරු කිරීමට යම් කාලයක් ගත වන බැවින් තහවුරු කරන තෙක් නොසිට ස්වයං පාලනයකින් කටයුතු කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් වෙයි. එයට හේතුව මේ වයිරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිරීමයි.

මෙවැනි වයිරසයක් ඇති විට සාමාන්‍ය පීසීආර් මගින් විකෘති යක් ඇතැයි ඉගි කෙරෙන අතර එය හදුන්වන්නේ S/ GENE ය හදුණා ගත නොහැකිවීම තුළිනි. එය S GENE ජාන පරික්ෂයෙන් අසමත්වීම ( GENE TARGET FALIURE - ජාන ඉලක්ක අසමත් වීම ) තත්ත්වය ලෙස හඳුනාගනු ලබයි. සාමාන්‍ය පීසිආර් පරික්ෂාවක කොවිඩ් 19 ඇති කරනු ලබන සාස් කොවිඩ් 2 වයිරසය හඳුනා ගැනීමට ප්‍රධාන වන වයිරසයේ මූලික ලක්ෂණ සහිත ජාන කිහිපයක් හඳුනා ගනු ලබයි. එවැනි ජාන හඳුනා ගැනීමේදී ඇතැම් පීසි ආර් කට්ටලවල S / GENEය හදුනා ගැනීමට නොහැකි වීම තුළින් S ජානයේ විකෘතියක් ඇතැයි විද්‍යාගාරවලට මූලික අදහසක් ලබා ගත හැකිය. ඉන්පසුව මේවා ජාන විශ්ලේෂක පරික්ෂණ මඟින් තහවුරු කිරීම සිදු කරයි. අප විශ්වවිද්‍යාලයේ ඇති විද්‍යාගාරය එවැනි තහවුරු කිරිම කළ හැකි ලංකාවේ එකම විද්‍යාගාරයයි. ඒ අනුව මෙම සාමාන්‍ය පිසීආර් පරික්ෂණවල S/GENE හඳුනාගත නොහැකි සාම්පල ජාන විශ්ලේෂණ මඟින් අධ්‍යයනය කර B/ 117 කාණ්ඩයට අයත් සාස් කොවිඩ් 2 වයිරසය (එංගලන්තයේ ආරම්භ වූ) වයිරසය බව හැදින්වේ.

දැනට මේ වයිරසය මෙරට පැතිරෙමින් පවතින ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශ සම්බන්ධයෙන්ද අප පරික්ෂණ කරමින් පවතී. මහජනතාව ඉතාමත් ආරක්ෂාකාරිව සිටිය යුතු සේම රටපුරා ව්‍යාප්තිය වළකාලීම ඉතා වැදගත් වෙයි. මින් පෙර B1 /411 ප්‍රභේදය මෙරට පැවැති අතර එය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් වීමට තවම කාලයක් ගතවී නැත. ඇතැම් පරික්ෂණවලදී ඒ ප්‍රභේදය ද තවම හමු වෙයි. සාමාන්‍යයෙන් එම පැවැති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ආවේණික ප්‍රභේදයකි. කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය අනුව ඉදිරි කාලය තුළදි එංගලන්ත ප්‍රභේදය මෙරට ප්‍රමුඛත්වය ගනු ඇත. මේ එංගලන්ත ප්‍රභේදයේ ජාන විකෘතිතා රැසක් වෙයි.

විශේෂයෙන් එම විකෘතිතා සෑදෙන්නේ එක්ස් ප්‍රෝටීනය ආශ්‍රිතවයි. ප්‍රධාන වශයෙන් 69- 70 යන DELETION- තත්ත්වය වෙයි. N/ 501 Y යන MUTATION -විකෘතිය S-PROTEIN ආශ්‍රිතව වෙයි. එවැනි විවිධාකාර තත්ත්වයන් රැසක් S- ප්‍රෝටිනය ආශ්‍රිතව වෙයි. ඒ S-ප්‍රොටිනය කොරොනා වයිරසයේ අන්තර්ගත වන අතර එම ප්‍රෝටීනය උල්හැඩයක් ගනී. උල් සහිත S- SPIKE PROTEIN යේ ඇතැම් විකෘති හරහා වයිරසය මිනිසාගේ ශරිරයේ ස්වසන මාර්ගයේ සෛලවල තදින් බැඳීම මේ නව ප්‍රභේදයේ විශේෂත්වයයි. එනම් N / 501 Y විකෘතිය එවැන්නකට උදාහරණයකි. මේ N / 501 Y විකෘතිය නිසා මෙම වයිරසයට මිනිසාගේ ශරිරයේ ස්වසන මාර්ගයේ තදින් බැඳීමෙන් ඇලි සිටියි.

මේ තද බැඳීමක් ඇති වයිරසය පෙනහැල්ලේ සෛලවලට ඇතුළු වීමේ හැකියාව වැඩියි. අනෙක් ප්‍රභේදවලදි ලොකු බැඳිමක් නොවන නිසා තද බැඳීමක් නැති නිසා වයිරස සමහර අවස්ථාවලදි ස්වසන මාර්ගයේ ඇතුළට නොයා පවත්වා ගැනීමට හැකියාව පවතී. නමුත් මේ වයිරසය තදින් බැඳීම නිසා සෛලවලට එක වයිරසයක් පමණක් නොව වයිරස් කිහිපයක් සේ එක්විය හැකියි. සෛල තුළට අන්තර්ග්‍රහණය වී සෛල ප්‍රමාණය විභේදනය වී වයිරස ප්‍රමාණය වැඩිවිය හැකියි. ඒ නිසා යම් පුද්ගලයකුගේ වයිරස ප්‍රමාණය වැඩි නිසා එම පුද්ගලයාට මේ වයිරසය මඟින් කරන හානිය වැඩියි. එතැනදී රෝග ලක්ෂණ මතු වෙයි. රෝග ලක්ෂණ මතු වන විට රෝගය පවතින රෝගියෙක් වඩා වැඩි වයිරස් ප්‍රමාණයක් එළියට පිට කරයි. මේ වයිරසය වඩා වැඩියෙන් පැතිරීමට ප්‍රධාන හේතුව එයයි.

මේ ප්‍රභේදයේ වඩා වැඩියෙන් පවතිනුයේ S- ජානයේ ඇති විකෘතිතාවෙනි. මෙහිදි පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ද වෙනස් වෙයි. සාමාන්‍යයෙන් දින තුනක් සහ දින හතක් ඇතුළත රෝග ලක්ෂණ මතු වෙයි. ඉන් පසුව යම් යම් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මත සංකූලතාවයන් මතුවීම සිදු වෙයි. බොහෝවිට වැඩිපුර රෝග ලක්ෂණ නොපෙන්වා නියුමෝනියා රෝගීන් හමුවන අවස්ථා වෙයි. සුළු මට්ටමින් ඇඟට අපහාසුතා පවතින අවස්ථාවලදී වුවද එසේ විය හැකියි. මුලික සංකල්ප වන මා ඉහත සඳහන් කළ පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිපැදිම් මඟින් රෝගය බෝවීම වළකාලීමක් හැකිවෙයි.

ඇත්ත වශයෙන්ම මේ වනවිට විද්‍යාගාර ඇති සියලු ප්‍රදේශවල උපරිම ධාරිතාවෙන් පරික්ෂණ කටයුතු කරනු ලබයි. එමෙන්ම පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සෑම මසකට වරක් ජාන විශ්ලේෂණ පරික්ෂණ පැවැත්වීම සිදු වෙයි. හැම පරික්ෂණයේදීම හඳුනාගත් දෙයක් නම් පළමු වැනි රැල්ලේදී ලොව පුරා තිබු ප්‍රභේද මෙරට පැතිරීම සිදුවිය. එයට හේතුව විදෙස් ගත පිරිස පැමිණීමයි. එවර මැදපෙරදිග ආශ්‍රිත ප්‍රභේද දක්නට ලැබිණි. ඉන්පසුව විදෙස්ගත සංචාරකයන්ගේ ප්‍රභේද පහව ගොස් රට තුළම ප්‍රභේදක් නිර්මාණය විය. එනම් එය බී1/ 411 යන ප්‍රභේදය ලෙස මතු විය. විශේෂයෙන්ම එය බ්‍රැන්ඩෙක්ස් සහ පෑලියගොඩ පොකුරෙන් ආරම්භ විය. පසුගිය සති දෙක දක්වාම 95% වැඩි ප්‍රමාණයක් පැතිරී තිබුණේද එම ප්‍රභේදයයි. මේ ප්‍රභේදය 95% වාර්තා වීම සිදුවූයේ අපේ රටේ පමණකි. මෙහි විශේෂත්වය රෝග ලක්ෂණ අඩු වීමයි. එය පහව යමින් මතුවෙමින් පවතින එංගලන්ත ප්‍රභේදය කෙසේ මෙරටට පැමිණියේද අපිට නියම වශයෙන් වාර්තා කළ නොහැකියි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ සාම්පලයක් මඟින් මේ වයිරසය ප්‍රථම වතාවට අපට හමුවිය. අප්‍රේල් 8වැනිදා ලැබුණු එම ප්‍රභේදය අපි ඒ අවස්ථාවේදිම වාර්තා කරනු ලැබීය. ඒ වාර්තා කිරීමෙන් පසුව පළමු පෙළ ආශ්‍රිතයන් පරික්ෂණවලට ලක් කෙරිණි. ඒ අයගෙන් සාම්පල් අටක් පරික්ෂා කළද ඉන් පරිබාහිරව බොරලැස්ගමුව ප්‍රදේශයෙන් පරික්ෂණ කළත් මේ ප්‍රභේදය එම ප්‍රදේශයෙන් හමු නොවිණි. බොහෝවිට එම ස්ථානයටද වෙනත් ස්ථානයකින් පැමිණියා විය හැකියි. නමුත් මේවනවිට රෝගය පාලනය කිරීම හැර මේ ප්‍රභේදය පැමිණියේ කෙසේද යන කරුණ වඩා වැදගත් නොවෙයි. මෙය පැතිරිම වැළැක්වීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. විශේෂයෙන් අපේ පරික්ෂණවලින් යම් ප්‍රදේශයක මේ රෝගය ඇත්නම් අපි එම ප්‍රදේශ දැනුම් දීමට ක්‍රියා කරන්නේද ඒ ඒ ප්‍රදේශවල වැඩිදුරටත් ප්‍රවේසම් විය යුතු ව ඇති නිසායි. වසංගතයකදි කොතරම් දුරට පර්යේෂණ සිදු කළත් ප්‍රමාණවත් නොවෙයි. පීසීආර් වැඩි කළද මේ සියලු කාර්යයට වඩා කළ යුතු ප්‍රධානතම දේ වන්නේ පැතිරීම වැළැක්වීමයි. එයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශ විසින් කඩිනමින් ගෙන ඇත. හැකි ඉක්මනින් ජනතාව ඒ සඳහා අනුගත වී කටයුතු කිරීම කළ යුතු ප්‍රධානම කාර්යයයි.

පසුගිය දිනවල අවුරුදු සැමරීමේදි සිදු වූ යම් අතපසුවීම් නිසා සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් අනුගත නොවීම මෙවැනි වයිරසයක් පැතිරීමට ප්‍රධාන හේතුවකි. විවිධාකාර අනවශ්‍ය රැස්වීම්, මුව ආවරණ නොපැළදීම වැනි තත්ත්ව, මීටරයේ පරතරේ තබා නොගැනීම වැනි දේ නිසා මෙවැනි ප්‍රභේදයක් එකවර එකම මොහොතේ රට පුරාම පැතිරීමට ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම මෙය මින්පෙර අපි නුදුටු තත්ත්වයකි. සෞඛ්‍ය අංශ නිතර දැනුම්වත් කිරීම් කළත් ඒ පිළිපැදියයුතු කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකිරීම මෙය කඩිනමින් ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් විය.

තවදුරටත් පැතිරීම වැළැක්වීම රටේ ජනතාවගේ වගකීමකි. සියලුම අංශ සංතෘප්ත වෙමින් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවක මේ රෝගය නැවත හිස එසවීමක් විය. මෙවැනි අවස්ථාවකදී නැවත පැතිරීමේදි රටට දැරිය හැකි ධාරිතාවක් වෙයි. දියුණු හෝ නොදියුණු ඕනෑම රටක් මෙවැනි ව්‍යයසනයන්ට ලෑස්ති වී නැති බව අපි දනිමු. රටකට සාමාන්‍ය තත්ත්වයකදී අවශ්‍ය ප්‍රමාණයකට පමණක් රෝහල් හෝ ඕනෑම පහසුකමක් සකස් කර ඇත. මෙවැනි බලාපොරොත්තු රහිත වසංගතයකට අපි සියලු දෙනා මුහුණ දෙන පළමු අවස්ථාව නිසා ඒ සඳහා කිසිදු රටක සුදානමක් නොතිබිණි. මෙහිදී රටක් ලෙස ඉතා විශාල වගකීමක් ජනතාවට මේ අවස්ථාවේ ඇත. මෙය අනිවාර්යෙන්ම සෞඛ්‍ය අංශවලට පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයකි.

මේ ගැටලුවට එකම පිළිතුර එන්නත්කරණයයි. මේ ප්‍රභේද එන්නත්වලට හොඳින් ප්‍රතික්‍රියා දක්වයි. විශේෂයෙන් OXFORD ASTRAZENECA VACCINE වැක්සිනය B 1- 117 ප්‍රභේදය සඳහා ඉතා හොඳින් ප්‍රතික්‍රියා දක්වයි. ඒ වැක්සිනයට ප්‍රතිචාර දක්වන නිසා එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයන්ට රෝග ලක්ෂණ හැර දරුණු රෝග ලක්ෂණ මතුවී මියයාම ඉතා අවමයි. එන්නත්කරණය සම්පුර්ණ කිරීමට අඩුම තරමින් මෙරටට මාස තුනක කාලයක් ගත වෙයි. මේවනවිටත් පෙරට වඩා පස් ගුණයකින් පමණ පීසීආර් පර්යේෂණ සිදුකරනු ලබයි.මෙය විශාල කාලයක් නොවෙයි. ඒතෙක් අපි ප්‍රවේශම් විය යුතුයි. දැනට සෞඛ්‍ය අංශ දැනුම්වත් කර ඇති නිසා වැක්සීනය ලැබුණ වහාම එය ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. මේ ගැටලුවට එකම පිළිතුර එන්නත පමණයි. එංගලන්තය මේ දරුණු වයිරසයෙන් පිඩාවිඳ දැන් එය පරාජය කරමින් සිටියි.

ඒ උදාහරණය අපිට වඩා වැදගත් වෙයි. ඒඅනුව අපි කටයුතු කළ යුතුයි. අපි කළ යුතු වන්නේ වෙනත් රටවල් සාර්ථකත්වයට පත්වූ මොඩලය හඳුනාගෙන ඒ අනුව යෑමයි. ඊශ්‍රායාලය වැනි එන්නත් වූ රටවල් සියල්ල ජයග්‍රහණය කර ඇත. එංගලන්තය වුවත් මෙය සිදුවූ විට රටම වසා දැමීමක් නොකළ අතර, ජනතාවට නිසි මාර්ගෝපදේශ සඳහා මඟ පෙන්වීය. ඒ රටවල මිනිසුන් මාර්ගෝපදේශ පිළිපැදීම සිදුකරනු ලැබිණි. අප ද පුද්ගල සහ සමාජ වගකීම මේ අවස්ථාවේ තේරුම් ගත යුතුයි. මාර්ගෝපදේශ අනුව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එන්නත්කරණය කරමින් මාස තුනක් පමණ වනවිට රට යථා තත්ත්වයට පත් කරගැනීමට හැකියාව ඇත. ඒවන විට අපේ සමීපතමයන් සියල්ල මරණයට පත්වී සිටියයොත් අපි පරාජයට පත්වෙයි. ඒනිසා නිසි මාර්ගෝපදේශ අනුව ක්‍රියා කිරීමෙන් අපි අපේ වගකීම ඉටු කළ යුතුයි.

 

Comments