හල්දුම්මුල්ලේ ගම් තුනක් යළි ජීවය ලැබූ වගයි | Page 2 | සිළුමිණ

හල්දුම්මුල්ලේ ගම් තුනක් යළි ජීවය ලැබූ වගයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට වෙලංවිට ප්‍රදේශයට ගිය අවස්ථාවේ ජනතාව සමඟ පිළිසඳරක යෙදෙමින්.

- පරිගණකයක් දැකලා නැති සිසු දරුවන්ට දැන් ඩිජිටල් පන්ති කාමර
- ගම් තුනක ජනතාවට ජලය විදුලිය සමඟ ජංගම දුරකථන පහසුව

අපේ රටේ ලක්ෂ 182 ක් වූ ග්‍රාමීය ජනතාවගේ ජන දුකට ඉක්මන් විසඳුම් ඔවුන්ගේම අදහස් අනුව ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ක්‍රියාවට නංවන ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන දැන් මුළු ලොවටම ආදර්ශයක් වී තිබේ.

වසර ගණනාවක් තම ගම්වල තිබූ ගැටලුවලට කවදාවත් විසඳුමක් නොලැබෙනු ඇතැයි සිතූ ජනතාවට දැන් ඒ ප්‍රශ්න විසඳා දීම නිසා ඔවුන්ට නව ජීවන ගමනක් වෙතට අවතීර්ණ වීමට අවස්ථාව ලැබී තිබේ.

විශේෂයෙන් මාර්ග, විදුලිය, අධ්‍යාපන හා වෙනත් යටිතල පහසුකම් පිළිබඳ ගැටලුවලට මේ ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහනෙන් දැන් රටේ ගම්මාන 40 කට පමණ ප්‍රතිලාභ ලැබී තිබේ. 

ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන මුලින්ම ආරම්භ කළේ 2020 සැප්තැම්බර් 25 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රදේශයක් වන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. ඒ අනුව ජනපති මුලින්ම ගියේ හපුතලේ සිට කිලෝමීටර් 20 ක් දුරින් පිහිටි වෙලංවිට අක්කර සියය හා කුමාරතැන්න ප්‍රදේශයට ය.

ඒ ගම්වල ජනතාව විඳි දුෂ්කරතාවලට ජනපති දුන් විසඳුම් දැන් ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව ඔවුන්ට දැන් අලුත් මාර්ග අධ්‍යාපන, විදුලිය හා ජල පහසුකම් ලැබී ඇත.

පාසල් දරුවන්ට ළඟදීම ඩිජිටල් පරිගණක පහසුකම් සහිත පාසල් ගොඩනැඟිල්ලක් ලැබේ. මෙතෙක් ඒ ගම්වල ජනතාවට ජංගම දුරකථන පාවිච්චි කිරීමට අපහසුතා තිබිණි. ඒ සඳහා දැන් නව දුරකථන කුලුනක් ඉදි වේ. වෙලංවිට සිට නිකපොත තලාහේන දක්වා කිලෝමීටර් 18 ක අලුත් මාර්ගයක් මෙන් ම එහි ගමන් කිරීමට බස් රථ 3 ක් ලැබී ඇත. ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ඔවුන්ට දැන් ලැබී ඇත.

2020 සැප්තැම්බර් 25 වැනිදා කුමාරතැන්නට ගිය ජනපති මුලින්ම දුටු අලි කැඩූ සරත් රණතුංගගේ නිවස වෙනුවට දැන් යුද හමුදාව මඟින් අලුත් නව නිවසක් ඉදිකර ඇත. රාජ්‍ය ආයතන 19 ක් මේ ප්‍රදේශයේ අලුත් සංවර්ධන ව්‍යාපෘති 19 ක් ක්‍රියාවට නංවා තිබේ. ඒ සියලු කටයුතු නිසා මේ ගම්වල පදිංචි පවුල් 219 ක 900 ක පමණ ජනතාවට මෙන් ම එහි යන එන අයට ඉමහත් සෙතක් ලැබුණු බව ප්‍රදේශවාසීහු පවසති.

“ජනපති ගම සමඟ පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාම‍යේ චාරිකාවක නිරත විය.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්වල ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 25 වැනි දින ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන ජනාධිපතිතුමා විසින් ආරම්භ කෙරිණ.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ලේ වෙලංවිට මෙම කුමාරතැන්න සංවර්ධන වැඩසටහනේ පළමුවැන්න විය. ජනතාව පෙන්වා දුන් සහ එහිදී හඳුනාගත් ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපතිතුමා අදාළ බලධාරීන් වෙත පවරනු ලැබීය. මාස 07 කට පසු එහි ප්‍රගතිය සොයා බැලීම පිණිස ජනාධිපතිතුමා පසුගියදා එහි ගියේය.

ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කෙරිණ.

ජනපතිගේ උපදෙස් පරිදි හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක්කිරීම එදින සිදු කෙරිණි. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08 ක් ඔස්සේ බස් රථ දෙක ධාවනය නිසා මෙතෙක් පැවැති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ.

වෙලංවිට ග්‍රාමයේ විදුලි අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවතිණ. එහි දිග කි.මී. 6 කි. විදුලි වැට දැන් ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කර ඇත.

අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේ ජනතාවටම පවරා තිබේ. එක් කිලෝමීටරයකට එක් අයකු බැගින් මාසිකව රුපියල් 7500 ක දීමනාවක් ලැබෙන සේ පුද්ගලයන් 06 දෙනෙක් ඒ සඳහා පත්කර සිටිති.

අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවල විදුලි සැපයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 54 කි. නිවාස 83 කට තෙමසක් තුළ විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

වැඩ අවසන් හා ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒවා කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සමඟ ගමේ පොදු ජන ජීවිතය මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලැබීම පිළිබඳව මහ සංඝරත්නයේ සහ ජනතාවගේ බලවත් ප්‍රසාදය ජනපති වෙත පිරිනැමිණ‍.

බණ්ඩාරවෙල නගර සැලැස්ම සහ හපුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

මේ පිළිබඳව කරුණු දැක්වූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ. රණතුංග පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිය ප්‍රථම “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන මඟින් වෙලංවිට, අක්කරසියය හා කුමාරතැන්න ගම්වලට පැමිණීම නිසා දැන් ඒ ගම්වල යටිතල පහසුකම් රැසක් මෙතෙක් නොවූ විරූ අන්දමට වැඩි දියුණු වි ඇති බවයි. 

ප්‍රාදේශීය ලේකම්වරිය පවසන පරිදි වෙලංවිට පවුල් 147 ක් ද අක්කර සියයේ පවුල් 72 ක් සිටිති. කුමාරතැන්න ගම පිහිටියේ ද වෙලංවිට ග්‍රාම නිලධාරි වසම ඇතුළතය. ගම්මිරිස් හා අතිරේක බෝග මෙන් ම වී ගොවිතැන කරන ඔවුහු වැඩි පිරිසක් අඩු ආදායම් ලාභීහු වෙති.

ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ අක්කරසියය වෙලංවිට මාර්ගය දැන් අඩි 12 කට පුළුල්කර කාපට් අතුරා ඇත. ඊට අමතරව බොරලු ගුරු පාරක් ලෙස අඩි 8 ක් පළලට තිබූ වෙලංවිට - කුමාරතැන්න මාර්ගය දැන් අඩි 12 කට පුළුල් කර කාපට් අතුරා ඇත. ඒ අනුව දැන් අක්කර සියය සිට වෙලංවිට දක්වා කිලෝමීටර් 12 ක් දුර මාර්ගයේ බස් රථ තුනක් ධාවනය වීමට ද කටයුතු පසුගියදා ආරම්භ විය.

“මේ පිළිබඳව කරුණු දැක්වූ හල්දුම්මුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර පවසන්නේ කුමාරතැන්න කනිටු විද්‍යාලයට ඩිජිටල් පරිගණක පහසුකම් සහිත පාසල් ගොඩනැගිල්ලක් ඉදිවෙන බවයි.

“මේ ප්‍රදේශයට දැන් ජංගම දුරකථන තරංග පහසුකම් ලැබෙනවා අඩුයි. ඒ නිසා ජනපති ගමනේ ප්‍රතිඵලයක් ලෙස මේ ගම් සඳහා ඒ පහසුකම් ලබාදීමට සන්නිවේදන කුලුනක් ඉදිකිරීම දැන් ආරම්භ කර තිබෙනවා.

“මේ ගම් තුනටම ජලය ලබාදී තිබෙනවා. පවුල් 68 කට විදුලිය ලබාදුන්නා‍. ජනාධිපතිතුමා මෙවර ගමට ආපු අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ගම්මාන 11 ක පාසල් 11 කට පොත්පත් ලබා දුන්නා. ඊට අමතරව දැන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වටා කිලෝමීටර් 40 ක් දිග අලි විදුලි වැටක් ඉදිවෙනවා. ඒ අනුව අක්කරසියය - වෙලංවිට හා කුමාරතැන්න ගම්මානයේ අලි විදුලි වැට ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.” සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර පවසන්නීය.

‘ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රථම අදියරේ ප්‍රගතිය පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රතිලාභිනියක් වන අක්කර සියය පදිංචි චිත්‍රා නෙළුම් ලියනාරච්චි පවසන්නේ තම ජීවිත කාලයට කවදාවත් තම ගමට ලැබේවි යැයි නොසිතූ පහසුකම් රැසක් ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන නිසා තම ප්‍රදේශවාසීන්ට ලැබුණු බවයි.

“අක්කරසියය ඉදන් වෙලංවිටට ත්‍රිරෝද රථයක් යන්න ඉස්සර රුපියල් 600 ක් විතර ගත්තා. දැන් අපට ඒ ගමන රුපියල් 23 කින් යන්න බස් තිබෙනවා. මේ ගම්වල කෘෂි නිපැයුම් හපුතලේට බණ්ඩාරවෙලට ගෙනයන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා අඩු මිලට පිට වෙළෙන්දෝ ඇවිල්ලා අරන් ගියා. දැන් ඒවා බස් එකේ දාගෙන වුණත් අරන් ගිහිල්ලා වැඩි මිලක් ගන්න පුළුවන්. දැන් නිකපොත තලාහේන හන්දියේ ඉදන් වෙලංවිට පාර කිලෝමීටර් 18 ක් විතර කාපට් කරලා කලින් ඒ හරියේ ත්‍රීවිල් යන්න විතරයි පළල තිබුණේ‍. දැන් බස් යනවා. අපට විතරක් නෙමේ ගම් 7 – 8 ක පවුල්වලට මේ සංවර්ධනය ලොකු සතුටක්. ජනාධිපතිතුමා මේ පැත්තට ආවේ නැත්නම් මේ සතුට මේ දියුණුව මේ සංවර්ධනය අපට ලැබෙන්නේ නෑ. ඒ පිළිබඳව අපි දහස් වාරයක් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා” ඇය පවසන්නීය.

මේ අනුව නගරයත් ගමත් යා කරන හා නගරයේ පහසුකම් ක්‍රමයෙන් ගමේ ජනතාවට දෙන ‘ජනපති ගම සමඟ පිළිසඳර’ වැඩසටහන අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවලට නව අරුණාලෝකයක් ලබාදෙන ජනතා හිතකාමී වැඩපිළිවෙළකි. ඒ අනුව එයට උපකාර හා සහාය දැක්වීම නිලධාරි, බලධාරි හා පුරවැසි හැමගේ යුතුකමකි.

Comments