රත්තොටින් සිරුර හමු වූ තලංගම කොන්ත්‍රාත්කරුගේ ඝාතනය | Page 2 | සිළුමිණ

රත්තොටින් සිරුර හමු වූ තලංගම කොන්ත්‍රාත්කරුගේ ඝාතනය

චන්දන ඝාතනය කළ තලංගම, දාඹුගහවත්ත නිවෙස

සුගිය 21 වැනිදා පස්වරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිසියේ ස්ථානාධිපති ජේ.පී.එච්. සිල්වාට දුරකථන ඇමැතුමක් ලැබුණේ රත්තොට, දොඹගොඩ ග්‍රාමයේ ග්‍රාම නිලධාරිවරයෙකුගෙනි. ඒ, ප්‍රදේශයේ කාන්තාවක හරක් බැඳීමට වැවිලි සමාගමකට අයත් භූමියක ලඳු කැලෑවකට ගොස් සිටියදී පිළිස්සුණු මළසිරුරක පාදයක සහ හිස කොටසක් පමණක් දක්නට තිබෙන බව සඳහන් කරමිනි. ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමෙන් පසු රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරින් ක්ෂණිකවම ක්‍රියාත්මක වී අදාළ ස්ථානය සෝදිසි කෙරිණි. ඒ අතරේ මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත එම පිළිස්සුණු සිරුර පිළිබඳව විමර්ශනයට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ මාතලේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයද එක් වූහ.

විමර්ශන නිලධාරීහු පිළිස්සුණු සිරුර වූ අවට ස්ථානය සෝදිසියේදී පිළිස්සී නොගිය කිසියම් ලිපිගොනු තොගයක්ද සොයා ගැනීමට සමත් වූහ.

එම ලිපිගොනු අතර වූ දුරකථන අංකයකින් බත්තරමුල්ලෙ, ජයන්තිපුර ස්ථානයක් පිළිබඳව අනාවරණය විය. ඒ අනුව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර ඇතුළු නිලධාරි කණ්ඩායමක් බත්තරමුල්ලෙ අදාළ ස්ථානය සොයා ගියහ. ඒ නිවෙසේ කුලී පදනම මත සිටි පුද්ගලයා අලුත් අවුරුද්දට පෙර ඒ ස්ථානයෙන් ඉවත්ව තලාහේන, දාඹුගහවත්ත පටුමඟේ නිවෙසකට කුලී පදනම මත ගොස් ඇති බවට හෙළි විණි. 

එසේම එම පුද්ගලයා ගැන වැඩිදුරටත් හෙළි වූයේ ඔහු 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නමැත්තෙක් බවයි. ද 1975 වසරේදී වැල්ලවායේ ඉපදී හැදිවැඩුණු වැල්ලවාය, ඇතිලිවැව ස්ථිර පදිංචිකරුවකු වන ඔහු දූදරුවන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලක අයෙකි. අවිවාහකයකු වූ චන්දන 2009 වසරේ සිටම තාවකාලිකව කොළඹ ප්‍රදේශයේ වෙසෙමින් මහා පරිමාණයෙන් වාරිමාර්ග ජලනළ එළීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක නිරතවූ අයෙකි. ඔහුගේ සේවා ස්ථාන කිහිපයක්ම රටපුරාම ස්ථාපිතව තිබිණි. කොතෙක් ව්‍යාපාර කළද ගුප්ත දිවියක් ගතකර තිබූ චන්දන සතුව එතරම් වත්කමක්ද නොවූ බව හෙළි විණි.

මාතලේ පොලිස් නිලධාරීන් සමඟ මෙකී පුද්ගලයාගේ අතුරුදන් වීම සහ පිළිස්සුණු සිරුර පිළිබඳ විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංකගේ උපදෙස් මත තලංගම පොලිස් නිලධාරින්ද එක්විණි. ඒ අනුව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්ගේ උපදෙස් මත තලංගම පොලිස් නිලධාරින් හා මාතලේ පොලිස් නිලධාරින් එක්ව දාඹුගහවත්ත නිවෙස පරීක්ෂාවකට ලක්කෙරිණි. එම නිවෙස පිළිබඳව සිදුකළ සියුම් විමර්ශනයේදී එහි කාමරයක තැන තැන ලේ පැල්ලම් කීපයක් තිබෙන ආකාරය දිස්විණි.

පසුව එම නිවෙස කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ නිරීක්ෂණයටද ලක්විය. ඒ අනුව පොලිස් නිලධාරින්ගේ සැකය වූයේ රත්තොට පුළුස්සා තිබූ මළසිරුර එම නිවෙස තුළදී ඝාතනය වූ පුද්ගලයාගේ විය හැකි බවටයි. එහෙත් ඝාතනයේ සැකකරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීය.

ඒ අතර පසුගිය 23 වැනිදා අනුරාධපුර බස් නැවැතුම්පළ අසල තිබී නිල් පැහැති මෝටර් රථයක් අනුරාධපුර පොලිසිය විසින් සොයා ගැනිණි. ඒ පිළිබඳව අනුරාධපුර පොලිසිය සියලු පොලිස් ස්ථාන දැනුවත් කෙරිණි. රත්තොට සහ මාතලේ පොලිස් නිලධාරින්ද අනුරාධපුරයට ගොස් එම මෝටර් රථය ගැන සොයා බැලීය.

පසුව මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සොයා බලද්දී එය චන්දන තිලක්ගේ නැඟණියට අයත් බවටද හෙළි විණි. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ, එම රථය තම සහෝදරයා වන චන්දන තිලක් පසුගිය කාලයේ පාව්චිචි කළ බවයි. එසේම එම රථයේද තිබී ලිපිගොනු කිහිපයක් හමුවිණි. එම ලිපිගොනුද රත්තොට පිළිස්සුණු සිරුර අසල වූ ලිපිගොනුවලට සමාන විය.

එසේම චන්දනගේ දුරකථනයද පසුගිය 17 වැනිදා සිට ක්‍රියා විරහිතව තිබූ බවත් ඔහු 17 වැනිදා සිට අතුරුදන්ව ඇති බවත් පොලිසියට හෙළි වූහ. මෙලෙස අතුරුදන්ව සිටි චන්දන පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ඔහුට නුවර, දන්තුරේ සහ කොළඹ ප්‍රදේශවල පෙම්වතියන් දෙදෙනෙක්ද සිටි බවටද හෙළි විණි. දන්තුරේ පෙම්වතිය සමඟ චන්දන වසර 19ක ප්‍රේම සබඳතාවක් පවත්වා තිබිණි. එහෙත් හමුවී තිබුණේ වසරකටම දෙතුන් වරක් පමණි. කෙසේ හෝ චන්දන ඇය විවාහ කරගැනීමට සිටි බවකි. තවද චන්දන පාර්ලිමේන්තු සේවයෙහි නිරත කාන්තාවක සමඟද ප්‍රේම සබඳතාවක් පවත්වා තිබිණි. එසේම චන්දන වැල්ලවායේ ව්‍යාපාර කටයුතුවල නිරත වද්දී කෝටි ගණනක මුදල් වංචාවක්ද සිදු කිරීම නිසාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද අත්‍යවශ්‍ය පුද්ගලයෙක්ව සිටි අයෙකි.

කෙසේ හෝ රත්තොටදී හමුවූ සිරුරු කොටස් චන්දනගේ යන්න තිර ලෙසටම ඉදිරි විමර්ශන සඳහා දැනගැනීමේ අටියෙන් චන්දනගේ මව සහ පියා පසුගිය 27 වැනිදා මාතලේ රෝහලට කැඳවා තිබුණේ ඩීඑන්ඒ පරීක්ෂාවක් සඳහායි. එසේ චන්දනගේ අතුරුදන් වීමත්, රත්තොටදී හමුවූ පිළිස්සුණු සිරුරත්, අනුරාධපුරයෙන් හමුවූ මෝටර් රථය පිළිබඳවත් මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වෙමින් පොලිසිය කඩිනම් විමර්ශනයක් සිදුකරමින් සිටියදී පසුගිය 27 වැනිදා පුද්ගලයකු පැමිණ තලංගම පොලිසියට බාර වූයේය. ඔහු 27 හැවිරිදි හඟුරන්කෙත ප්‍රදේශයේ සඳමල් නමැත්තෙකි. හමුදාවෙන් පලාවිත් පසුව පොදු සමාව යටතේ ඉවත්ව සිටි සඳමල් තලංගම පොලිස් නිලධාරින් ඉදිරියේ සියල්ල වමාරන්නට වූයේය.

“සර්... මං මේ කිසිම දේකට සම්බන්ධ නැහැ. මම චන්දනව දැක්කෙත් එදාම තමයි... මේ හැමදේම කළේ ජයරත්න... ඔහු නිසයි මමත් මේ අපරාධයට පැටළුණේ...“

එලෙස පවසමින් සඳමල් කළ පාපෝච්චාරණය නිසාවෙන් එතෙක් පොලිස් නිලධාරින් පඹගාලක පැටළී තිබූ බොහෝ කරුණු එකිනෙක නිරාවරණය වූයේය. එහෙත් මෙකී අපරාධයේ ප්‍රධාන සැකකරු තවම සැඟවී සිටින්නේය. සඳමල් පොලිසියට කී කතාන්දරය මෙලෙසිනි.

ජලනළ එළීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරය කළ චන්දනගේ කුරුණෑගල ව්‍යාපාර ස්ථානය බාරව සිටියේ මාතලේ ප්‍රදේශයේ අයෙකු වන ජයරත්නයි. ඔහුද හමුදාවෙන් පලාවිත් පොදු සමාව යටතේ ඉවත්වූ අයෙකි. හමුදාවේද මිතුරු වූ සඳමල් සහ ජයරත්න ගජමිතුරන්ය. පසුගිය අවුරුදු දිනවල කුරුණෑගල සේවා ස්ථානයේ සිටි ජයරත්න, සඳමල්ට ඇමැතුමක් දුන්නෙ කුරුණෑගල සේවා ස්ථානයට පැමිණෙන ලෙස පවසමිනි. එහි පැමිණි සඳමල්ට, ජයරත්න කීවේ,

“මචං... මට පඩි ගන්න 17 වැනිදා චන්දන හම්බවෙන්න යන්න තියෙනවා.... තලංගමට... එනවද උඹත් මගේ තනියට යන්න...“

අනතුරුව දෙදෙනා 17 වැනිදා සවස් වෙද්දී චන්දන තිලක්ගේ නව සේවා ස්ථානය පවත්වාගෙන යන දාඹුගහවත්ත නිවෙසට පැමිණියේය. සඳමල් පවසන්නෙ ජීවිතයේ පළමුවරට එදින චන්දන දුටු බවයි. ඒ මොහොතේ චන්දන සහ ජයරත්න අතර මුදල් ප්‍රශ්න මත ගැටුමකට මුල පිරූ බවත් එම ගැටුම කෙළවර වී තිබුණේ ජයරත්නගේ ඉණේ සඟවාගෙන තිබූ පිහියකින් චන්දනගේ ගෙළ කැපීමත් සමඟිනි.

පිහි පහර කෑ චන්දන කෙසේ හෝ ජයරත්නගෙන් මිදී කාර්යාල කාමරයට රිංගා දොර වසා ගැනීමට තැත් කළත් ජයරත්න, මිතුරු සඳමල්ට අණ කර තිබුණේ,

“සඳමල් අල්ලගනින් මුගේ කකුල් දෙකෙන්... නැත්නම් මම තෝවත් මරනවා...“ එම තර්ජනයට බියවූ සඳමල්, චන්දනගේ දෙපයින් අල්ලා ගැනීමත් සමඟ නැවතත් ජයරත්න විසින් චන්දනගේ ගෙළ සිඳීමත් සමඟ ඔහු අවසන් හුස්ම හෙළු බව සඳමල් පවසන්නට වූයේ කළ පව් වමාරමිනි. පසුව දෙදෙනා එක්ව මළසිරුර නාන කාමරයට ගෙන ගොස් දමා දොර වසා චන්දනගේ මෝටර් රථයද රැගෙන ගොස් තිබුණේ කුරුණෑගලටයි. ඒ වන විට වේලාව රාත්‍රී හතට පමණ වී ඇත.

කුරුණෑගලට ගොස් චන්දනගේ එහි වූ සේවා ස්ථානයෙන් පිරිසුදු වී වෙනත් ඇඳුම් හැඳි දෙදෙනා එම ස්ථානයේ වූ ලිපිගොනුද රැගෙන නැවත පැමිණ තිබුණේ දාඹුගහවත්ත නිවෙසටයි. ඒ වන විට පසුදා එනම් 18 වැනිදා අලුයම 1ට පමණ වී ඇත. දාඹුගහවත්ත නිවෙසට පැමිණි දෙදෙනා පාන්දර හතර පමණ වන තෙක් එම නිවෙසේ වූ ලේ පැල්ලම් ආදිය බිත්ති සූරමින් පිරිසිදු කර තිබුණේ කිසිවකු හෝ දකිතැයි බියෙනි. අනතුරුව චන්දනගේ සිරුර ඔහුගේම ඇඳ ඇතිරිල්ලකින් ඔතා කාර්යාලයේ කටයුතු සඳහා රැගෙන ආ පරිගණක සම්බන්ධ කරවන වයර්වලින් ගැටගසා චන්දනගේ ඇඳෙහි මෙට්ටයෙහි කවරය ගලවා ඊට මළසිරුර දැමූ බව සඳමල් කීවේය.

එම සිරුර ඔහුගේම රථයේ ඩිකියට දමාගත් දෙදෙනා 18 වැනිදා පෙරවරුව වෙද්දී ගොස් තිබුණේ මාතලේ නගරයටයි. කිසිදු අරමුණක් නොමැතිව මාතලේ නගරයට ගිය දෙදෙනා එහි උද්‍යානයක් අසල රථය නතරකොට රාත්‍රිය උදාවනතෙක්ම ගතකර තිබිණි. රාත්‍රිය උදාවුණු සැණින් ක්‍රියාත්මක වූ දෙදෙනා රත්තොට, දොඹගොඩ ප්‍රදේශයට ගොස් තිබුණේ අතරමඟදී ඉන්ධන පිරවුම්හලකින් කෑනයකට රුපියල් 1500ක පෙට්‍රල්ද රැගෙනයි. සඳමල් පවසන්නෙ සිරුර පිළිස්සූ ස්ථානයට ගෙන ගොස් එම ස්ථානයේදී පෙට්‍රල් දමා සිරුර පුළුස්සද්දී රැගෙන ගිය චන්දන සතු සියලු ලිපිගොනු සහ දෙදෙනා හැඳ සිටි ඇඳුම්ද ගලවා ගින්නට දැමූ බවයි.

කිසිවක් නොවූ සෙයින් රථයට නැඟි දෙදෙනා පසුව අනුරාධපුරයට ගොස් අනුරාධපුර බස් නැවැතුම්පොළ ආසන්නයේ රථය නතරකොට බස් රථයකට නැඟී දෙදෙනාගේ ගම්බිම් බලා වෙන්ව ගිය බව සඳමල් තලංගම පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කෙරිණි. කෙසේ හෝ එදා රාත්‍රියේ දෙදෙනා එක්ව ගින්නට දැමූ එක් ලිපිගොනුවක් දෙදෙනාටම නොදැනී ගින්නට නොවැටීමෙන් වැළලෙන්නට ගිය ඛේදනීය තවත් එක් මිනිස් ඝාතනයක සුලමුල දින කීපයක් තුළදීම අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විණි. මෙකී අපරාධය පිළිබඳ මාධ්‍ය පළවීමත් සමඟ තමන් පොලිසියට බාරවීමට සිතූ බව සඳමල් පැවැසුවත් මෙකී අපරාධයේ ප්‍රධාන සැකකරුවා තවමත් පලා ගොස් සැඟවි සිටි.

මෙකී ඝාතනයේ විමර්ශන මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සහ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංකගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රුක්, රත්තොට පොලිස් ස්ථානාධිපති ජේ.පී.එච්. සිල්වා සහ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති සුගත් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංකර, උපපොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර, පොලිස් සැරයන් 48874 රුවන්, කොස්තාපල්වරුන් වන 65283 සරත්, 85207 උබේසේකර, 84768 කුමාර, 88333 රත්නායක සහ 12489 නවරත්න යන නිලධාරිහු සිදු කරති.

Comments