මහජන මුදල් කෝටි 132ක් වැනසූ රාජගිරියේ බිල්ඩිම | Page 2 | සිළුමිණ

මහජන මුදල් කෝටි 132ක් වැනසූ රාජගිරියේ බිල්ඩිම

ප්‍රවීණ සිනමා නිළියකගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් වර්ග අඩි ලක්ෂයක පමණ ප්‍රමාණයකින් යුතු හා වාහන 100 ක් පමණ එකවර ගාල් කිරිමේ පහසුකමින් යුතු කෝට්ටේ ශ්‍රි ජයවර්ධන පුර මාර්ගයේ අංක 288 දරන ස්ථානයේ පිහිටි මහල් 10 කින් සමන්විත ගොඩනැගිල්ල පිළිබඳ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහ රැසක් මැවීමට සමත්විය. තවමත් ඒ කතාබහ නිමාවක් වී නොමැත. යහපාලන රජය කාලයේ අති විශාල මුදල් යටකරමින් කුලියට ලබාගත් මෙම ගොඩනැගිල්ල කෝප් කමිටු, ජනාධිපති කොමිසන් හා පාර්ලිමේන්තු ඇතුළු ස්ථාන රැසක මහත් ආන්දෝලනයට තුඩු දුන්නක් විය. එහෙත් තවමත් එහි උණුසුම මැකී ගොස් නැත්තේ පසුගියදා සිදු කළ අලුත්ම ගණනය කිරීම් වලට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය මෙම රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට ( රුපියල් කෝටි 132 ) වැඩි මුදලක් ගිල දමා ඇති බවකි.

- ගොඩනැගිල්ල ඉදි කිරීමේ සිටම ගැටලු තියෙනවා
- හිමිකරුට බාර දුන් ආරක්ෂණ තැන්පතු මුදල වූ රුපියල් කෝටි 7 කට ආසන්න මුදල නැවත ලබා ගන්න වෙලා

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය මෙම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇති අතර, ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම පසුගිය 6 වැනිදා එහි හිමිකරුට මෙය බාර දී ඇති බව සැලය. ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට බාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වූ රුපියල් කෝටි 7 කට ආසන්න මුදල ඔහුගෙන් නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද වාර්තා වෙයි. ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එම මුදල අඩු කරගෙන තැන්පතු මුදලේ ඉතිරි කොටස ලබා ගැනීමට නියමිත අතර, එවැනි අලාභයක් සිදුවී ඇද්දැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් ලබාගැනීමටද නියමිත බව වාර්තා වෙයි. නමුත් යම් විදියකින් හෝ එ් තැන්පතු මුදල ලබා දීම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද බලධාරින් සූදානම්ව සිටින බවට පසුගියදා මාධ්‍ය වාර්තා කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට ගෙන ගියේ 2016 වසරේ දීය. එසේ කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යෑමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත්තේ 2015 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදීය. කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ ගොඩනැගිල්ල යථාවත් කර ගැනීමට සිදුවූ හෙයින් අමාත්‍යාංශය මාස අටක පමණ කාලයක් තිස්සේ ඒ ස්ථානයට රැගෙන යෑමට නොහැකි වූ බව කාටත් නොරහසකි. දේශපාලන උණුසුමක් පැවැති මේ ගොඩනැගිල්ල සඳහා මාස අටක කාලය වෙනුවෙන් ද කුලී මුදල් ගෙවා තිබූ බව එදා කියවිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ලබා ගත් මේ ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය ලක්ෂ 245 ක් විය. පසුගිය රජය කාලයේ මෙය භාවිතයට ගෙන නොතිබුණද ඒ වෙනුවෙන් මාස 11 ක කාලයක් රුපියල් කෝටි 27 ක මුදලක් ගෙවා ඇති බව සැලය. එහෙත් මේ මාස 11 ක් තිස්සේ ගොඩනැගිල්ලට ඇවැසි පරිදි ඉදිකිරිම් සිදුකර නොතිබුණ බවද පවසයි. එදා මේ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් කෝටි 50 ක් වියදම් කරමින් මෙම ගොඩනැගිල්ලට අවශ්‍ය ගෘහ භාණ්ඩ පමණක් නොව විදුලි සෝපානයක්ද සවි කළ බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති කොමිසමේදි කෘෂිකර්ම අමාත්‍යාංශයෙ නිලධාරිනියක් පවා එදා පවසා සිටියේ නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල ලබා ගත් බවකි. එනම් නව ගොඩනැගිල්ලට රජයේ තක්සේරුව වූයේ රුපියල් මිලියන 13.5ක් වුවත් ඊට වැඩි මුදලකට එනම් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල කුලියට ගත් බවකි.

කෙසේ වෙතත් මෙම බිල්ඩිමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බව බොහෝ දෙනාගේ අදහසයි. මේ ගොඩනැගිල්ල ගන්න ටෙන්ඩර් කැඳවා නැති බවත්, කෝටි 210 ක් වතුරේ ගිය බවත් පසුගිය කාලයේ වාර්තා විය. මේ ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැති බවත් මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක්ද කර නැති බවත් ජනාධිපති කොමිසමේදී ලැබුණු සාක්කි අතර විය. එසේම බදු ගිවිසුමක් අත්සන් කළ යුත්තේ වසර තුනක කාලයක් සඳහා වුවත් මේ ගොඩනැගිල්ල සඳහා වන ගිවිසුම වසර පහක කාලයක් සඳහා අත්සන් කර ඇති බවද හෙළි විය. සිවුවන සහ පස්වැනි වසරවලදී බදු මුදල සියයට පහළොවකින් වැඩිකිරීමට එකඟ වී ඇති අතර කිසි ලෙසකින්වත් වසර පහ ගතවීමට පෙර ගිවිසුම අවලංගු කිරීමට නොහැකි බවට කොන්දේසියක්ද ඇතුළත් කර ඇත. 

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මහජන මුදල් ගිල්ල මෙම බිල්ඩිම වහාම නැවත බාර දෙන ලෙසත්, කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මැදුරට ගෙනියන ලෙසත් ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වවලට නියෝග කළේ 2019 වසරේ අවසානයේදි ය. රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර ඒ අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට එ් වසරේ අග ඉදිරිපත් විය. කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙන යෑමට පසුව තීරණය කළ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය ද එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවය.

කෙසේ වෙතත් පසුගිය වසරේ මුල් භාගයේ එවකට විෂය බාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ එම ගොඩනැඟිල්ලෙන් අමාත්‍යාංශය ඉවත් කර නොගනී නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවකි.

“මේ දේවල් කළේ කවුද? ඇයි මේවට අත්සන් කළේ..? මේ සියල්ලම ප්‍රශ්නයක්. එදා හිටපු රජය කිව්වා මේවා හිටපු අගමැතිවරයාගේ අවශ්‍යතාව මත සිදු කළ බව. එදා මේවාට ගිවිසුම් ගසපු අය, ඒ ගිවිසුම් අත්සන් කළ අය දඬුවම් විඳිය යුතුය යන මතයේයි මම සිටින්නේ. ඇයි මෙවන් ජාතික අපරාධයක් සොයන්නේ නැත්තේ? රජය මේ සම්බන්ධයෙන් සිදුවූ දේවල් සෙවිය යුතුයි. මන්ද රජය නියෝජනය කරන්නේ මහ ජනතාව. නමුත් කනගාටුවට කරුණ නම් කිසිම දෙයක් සිදු නොවීම. අපි නීති මාර්ගයෙන් කටයුතු කරන්න එදා තොරතුරු එක් රැස් කළා. 2019 වසරේ නැවතත් කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියා. ඒ ගොස් අවුරුද්දයි මාස ගණනක් නිකම්ම කුලී ගෙව්වා. මේ ඉඩම පිළිබඳ ගොඩනැගිලි පිළිබඳ ගැටලු තිබුණා. සාමාන්‍යයෙන් තට්ටු 6 ක ඉදිකිරීමකට පමණයි නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ලැබෙන්නේ. එත් මෙහි ඊට වඩා තට්ටු ගණනක් තිබුණා. මෙතැන පැහැදිලිවම දූෂණයක වංචාවක් සිදුවුණා. ඒත් කවුරුත් මේ ගැන කතා කළේ නැහැ. හැම ඇමතිවරයෙක්ම ආවේ මෙතැනනින් යනවා කියලා. නමුත් අපි විතරයි එළියට බැස්සේ. ඒත් අපේ යෑමත් වළක්වන්න විශාල පිරිසක් උත්සාහ කළා. මම ඉල්ලන්නේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.......“ ඒ ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක කියූ දෑ ය.

Comments