බුර්කා තහනම් දැනටත් | Page 2 | සිළුමිණ

බුර්කා තහනම් දැනටත්

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව මින් පසු ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයෙන් මුහුණ සහ හිස ආවරණය කර ගැනීමට හෝ දෙඇස පමණක් නිරාවරණය වන සේ හිස වසා ගැනීමට අවසර නොලැබෙනු ඇත. එහෙත් මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අනන්‍යතාව වන හිස පමණක් ආවරණය කර ගැනීමට කිසිඳු තහනමක් නැත.

අප රටේ පමණක් නොව සමස්ත ලෝකයම දිනෙන් දින ගිල ගනිමින් තිබෙන අන්තවාදයෙන් රටත් ජනතාවක් ආරක්ෂා කර ගැනීමට ගත් උත්සාහයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය. කිසියම්ම හෝ අන්තවාදයක් ක්‍රියාත්මක වන්නේ නම් එය අහිතකර වන්නේ සිංහල හෝ ද්‍රවිඩ ජනතාවට පමණක් නොව මුස්ලිම් ජනතාවටද එය එකසේ බලපෑම් කරන බව සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවද එකඟ වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය තහනම් කිරීම සම්බන්ධව යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන එනු ලැබුවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසිනි. අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ බුර්කාව ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන දෙයක් වී ඇති බවයි. ඒ අනුව අමාත්‍යවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර දැන් එයට අනුමැතියද හිමිවී තිබේ.

හිස ආවරණය කරගැනීම මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතියේ අනන්‍ය ලක්ෂණයකි. එය ඔවුන්ගේ ප්‍රධානතම අනන්‍ය ලක්ෂණය ලෙසින්ද හැඳින්විය හැකිය. මුස්ලිම් කාන්තාවන්ගේ හිස ආවරණය කර ගැනීමේ සංස්කෘතියේ ඉතිහාසය විමසූ විට පෙනී යන්නේ එය බයිසෙන්තියානු අධිරාජ්‍ය යුගය දක්වා අතීතයට විහිදෙන බවයි. බයිසෙන්තියානු සංස්කෘතියේ පැවති කාන්තාවන් හිස වැසීමේ සම්ප්‍රදාය මුස්ලිම් ආක්‍රමණත් සමග මුස්ලිම් සංස්කෘතියටද උකහා ගන්නට ඇති බව විශ්වාස කෙරේ.

යුදෙව් ආගම මෙන්ම කතෝලික, ක්‍රිස්තියානි ආගම් සහ මුස්ලිම් ආගමේද ප්‍රභව විමසූ විට පෙනී යන්නේ ඒවායේ ප්‍රභවයන් එකිනෙක ඉතාම ආසන්න බවයි. එය සැබවින්ම එකම ගහක අතු බෙදී ගිය අන්දමට සමාන කළ හැකිය. එහෙත් ක්‍රමයෙන් විකාශනය වන විට මේ ආගම්වල මූලය සමාන වුවද අද වන විට දැකිය හැකි වෙනස් කම් රාශීයක් වේ. එහෙත් තවමත් කතෝලික ජනතාවද පල්ලියේදී හිස ආවරණය කර ගන්නා අන්දමද දැකිය හැකිය.

මුස්ලිම් කාන්තාවන් හිස ආවරණය කර ගැනීමේ ඉතිහාසය පුරාම හිස පමණක් ආවරණය කෙරෙන හිජාබය දැකිය හැකි වුවද බුර්කාවට ඔය තරම් ඉල්ලුමක් පැමිණෙන්නේ අන්තවාදී ඉස්ලාම් සංවිධාන ලෝකය පුරා පිනුම් ගැසීම ආරම්භ කිරීමත් සමඟින් බව පැහැදිලිව පෙනෙන කරුණකි. මෙවැනි භූගෝලීය සංස්කෘතික සාධක අනුව හැඩගැසුණු මිනිස් ඇඳුම් පැලඳුම්, චාරිත්‍ර වාරිත්‍ර විකෘති වීම ආරම්භ වන්නේ මිනිසාගේම අන්තනෝමතික කටයුතු හේතුවෙන් බව කිව යුතුය. උදාහරණයක් ලෙස මුස්ලිම් අන්තවාදය දැක්විය හැකිය. මුස්ලිම් පමණක් නොව ඕනෑම ආගමක අන්තවාදය යනු ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. ආගමක් පමණක් නොව කිසිදු ක්‍රියාවක්, විශ්වාසයක්, ඇදහීමක් අන්තවාදී වූ විට එහි බිහිවන්නේ විකෘතියකි.

සැබවින්ම අන්තවාදය යනු ලොව පුරා ප්‍රතික්ෂේප වන දෙයකි. ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. කොතරම් තදට ඉස්ලාම් නීති රීති ක්‍රියාත්මක වන මැදපෙරදිග රටවල පවා කාන්තාවන් බුර්කාවෙන් සැරසිය යුතු බවට වන දැඩි නීති ක්‍රියාත්මක වන්නේ නැත. ඒ වෙනුවට එක්සත් අරාබි එමිරේට්ස්, සවුදි අරාබිය මෙන්ම කටාර් වැනි රටවල් සංචාරක කර්මාන්තය වැනි ධනෝපායන ක්‍රම කරා විතැන් වීම සඳහා තම රටවල වඩාත් වැඩි සංස්කෘතික සීමා ලිහිල් කරමින් පවතින බව පෙනේ. අතීතයේ කාන්තාවන් සඳහා දැඩි නීති ක්‍රියාත්මක කළ සවුදි අරාබිය මේ වන විට එම නීති ලිහිල් කරමින් කාන්තාවන්ට රිය පැදවීමට රියැදුරු බලපත්‍ර ලබා දීමටද කටයුතු කර තිබේ. අරාබි ලෝකය එවැනි අන්දමට තම සංස්කෘතික සීමා ලිහිල් කරමින් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික නිදහස සහිත රටවල ජනතාව බලෙන් තමන්වෙත පටවා ගත් අනුන්ගේ නීති මත කටයුතු කිරීමට උත්සාහ දරන්නේ මන්ද යන්න නිදහස් මනසකින් යුතුව කල්පනා කළ යුතුව තිබේ.

අන්තවාදී මුස්ලිම් සංවිධානවල ක්‍රියාවන් වැඩිවන විට එම සංවිධානවලට පමණක් නොව බුර්කාව ඇතුළු එම අන්තවාදී සංවිධානවලින් පනවන ලද නිති රීතිවලට එරෙහි වූයේ ශ්‍රී ලංකාව පමණක් නොවේ. මේ අතරින් ඇතැම් රටවල් බුර්කාව තහනම් කිරීමට කටයුතු කළ අතර, ඇතැම් රටවල බුර්කාව තහනම් වී ඇත්තේ ඇතැම් ප්‍රදේශවල පමණි. ඒ කෙසේ වුවද බුර්කාව තහනම් කිරීමේ අතීතය 2010ට පෙර අතීතය දක්වා දිව යන්නේ නොමැති තරම්ය. එයට හේතු කිහිපයක් පැවතිය හැකිය. එනම් මෑත කාලීනව මුස්ලිම් අන්තවාදය වර්ධනය වී ඇති බවත්, එයට සාපේක්ෂව මුස්ලිම් අන්තවාදය පිටු දැකීමේ වැඩපිළිවෙළ වර්ධනය වී ඇති බවත්ය. එමෙන්ම අතීතයේ අන්තවාදයක් නොමැතිව මුස්ලිම් ජාතිකයන්ද නිදහසේ ජීවත් වූ බවත්, ඔවුන්ට දැඩි ලෙස තම මුළු සිරුරම අාවරණය කර ගැනීමේ අවශ්‍යතාවක් නොවූ බව හෝ නීති පැනවීම අවශ්‍ය නොවූ බවය. මේ සියල්ලම අපට පැහැදිලි කර දෙන්නේ කාලය මිනිස් සමාජයේ බොහෝ දේ වෙනස් කරමින් පවතින බවය.

බුර්කාව භාවිතය තහනම් කර ඇති රටවල් රැසකි. නීති පැනවීම මඟින් බුර්කාව භාවිතය තහනම් කර ඇති රටවල් සංඛ්‍යාව 28කි. මේ රටවල් බුර්කාව තහනම් කිරීමට හේතු විමසා බැලීමේදී පෙනී යන්නේ ඒ සෑම රටක්ම කිසියම් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් හේතුවෙන් පීඩාවට පත්වූ පසු මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

එලෙස බුර්කාව තහනම් කර ඇති රටවල් අතර කැමරූන්, බටහිර අප්‍රිකාව, ගැබොන් වැනි අප්‍රිකානු රටවල්ද ආසියානු රටවල් රාශියක්ද වේ. ආසියාවේ බුර්කා තහනම් කර ඇති රටවල් අතර චීනය සහ ඉන්දියාවද, ඇෆ්ගනිස්ථානයද විශේෂිතය. ඇෆ්ගනිස්ථානය යනු මුස්ලිම් අන්තවාදී ක්‍රියා හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටකි. ඇෆ්ගනිස්ථානය තුළ බුර්කාව තහනම් කිරීම වැනි මෙවැනි නීති පැනවීම ආරම්භ කර ඇත්තේ එරට තුළ තලේබාන් සංවිධානය බලවත් වීමෙන් පසුව සිදුවූ අන්තවාදී ක්‍රියා හේතුවෙනි. චීනයේ බුර්කා තහනම් වන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ක්ෂින්ජිං ප්‍රදේශය තුළය. එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බලපාන පරිදි මේ නීතිය පනවා ඇති අතර සෙසු ප්‍රදේශවලට බුර්කාව තහනමක් නැත. එයට හේතුව රටේ සෙසු ප්‍රදේශවල සංචාරකයන් මිස මුස්ලිම් ජනතාව අවම නිසා විය හැකිය.

ඊශ්‍රායෙල්, තජිකිස්ථාන් සහ සිරියා යන රටවලද බුර්කාව තහනම් වුවද ඒ රටවල ජනතාව විවිධ අවස්ථාවලදී බුර්කා භාවිත කරති. එහෙත් යුරෝපයේ බුර්කාව තහනම් කළ රටවල එම නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඔස්ට්‍රියාව,බෙල්ජියම, බල්ගෙරියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ලැට්වියාව, මෝලටාව, නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ස්වීස්ටර්ලන්තය, එක්සත් රාජධානිය, යන යුරෝපා රටවල මෙන්ම ඔස්ට්‍රේලියාව සහ කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තය තුළද බුර්කාව තහනම්ය. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට මේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇත.

Comments