කෝවිඩ් 19 ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

කෝවිඩ් 19 ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. මෙවර කොවිඩ් ව්‍යාප්තියට වගකිව යුත්තේ කවුද? 
2. මෙරට සෞඛ්‍ය සේවය පිළිබඳ ඔබ තෘප්තිමත්ද? 
3. ජනතාව සිය වගකීම පැහැර හැරියාද? 
4. කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද?  
5. මේ වසංගත රැල්ල මැඬ පැවැත්වීමට කළ යුතු යැයි ඔබ යෝජනා කරන්නේ කුමක්ද? 

ප්‍රථමික සෞඛ්‍ය සේවා වසංගත හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ

1 මේ අවස්ථාවේ ව්‍යසනයකට වගකිව යුතු කවුද කියලා හොයනවාට වඩා වැදගත් වෙන්නේ ව්‍යසනයට මුහුණ දීම සහ මර්දනය කරගැනීමයි. මේ ආසාදනය කොයි අතටද යන්නේ කියලා තීරණය වන සති හතරක් ඉදිරියට එන්නේ. අනිවාර්යෙන් ගෙදරට වෙලා සිටිය යුතුයි. ගෙදරින් යනවා නම් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණක් එළියට ගිය යුතුයි. විශේෂයෙන් බඩුගන්න යනවා නම් සෙනඟ අඩුවෙන්ම ගැවසෙන තැනකට යායුතුයි. හැමවෙලාවෙම මුව ආවරණය නාසය සහ කට වැහෙන සේ දැමිය යුතුයි අත නිතර සබන් දා සේදිය යුතුමයි. මෙය ව්‍යාප්ත වුණේ කොහොමද කියන කාරණාව ගැන කතා කරලා වැඩක් නැහැ; බෝ වෙන එක දැන් වෙනස් කරන්න බැහැනේ දැන් ඕවා හෙව්වා කියලා. මේවන විට හඳුනාගත් ප්‍රභේදය ඉක්මනින් බෝවෙනවා. පැතිරෙනවා; අවදානම සංකූලතාවය වැඩියි. මෙයට මුහුණ දීලා මෙයින් ආරක්ෂා වීමයි වඩා වැදගත් වෙන්නේ.

2- මම සෞඛ්‍ය සේවයේ ක්‍රියාකාරීව දැන් වැඩ නොකළත් මම දන්නවා සෞඛ්‍ය සේවයේ හිටිය කෙනෙක් විදිහට; සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ෙය් පිරිස් දැන් ඉන්නේ බොහොම විඩාවෙන්. පළමු වැනි රැල්ල මර්දනයක කරගත්තා, දෙවැනි අවස්ථාවෙදි ටිකක් අපහසුවෙන් මර්දනය කරගත්තා. නව ප්‍රභේදයේ සංකූලතාවන් වැඩියි. අලුත් ප්‍රභේදයෙන් රෝහල් පිරිගෙන යනවා. දැඩිසත්කාර ඒකක පිරී යනවා. සමස්ත රෝහල් පද්ධතියේ ම සේවය අපි ඇගැයිය යුතුයි. ඒ අය ඒ අයගේ කාර්යය මැනවින් ඉටු කරනවා. ජනතාවගේ විනයයි අවශ්‍ය වෙන්නේ. මේ අවස්ථාවේදි රෝහල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව තෘප්තිමත්ද නැද්ද කියන කාරණාවට වඩා ජනතාව තමන්ගේ විනය සකසා ගතයුතුයි. තමන්ගේ ආරක්ෂාව සපයා ගතයුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොවෙයි ආරක්ෂක අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය පවා වෙහෙස වෙනවා. ජනතාවත් මර්දනය කරගැනීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කළ යුතුයි. ජනතාවටත් තව සති හතරක් තියනවා. ස්වයංවාරණයක් පවත්වාගෙන කටයුතු කිරීමට. අවදානම මුලින්ම අඩුකරගන්න ජනතාව කටයුතු කළ යුතුයි.

3 ජනතාවගේ වගකීම හරියට ඉෂ්ට කරගත්තා නම් මෙය වෙන්නේ නැහැ නේද? අවුරුදු උත්සව පොකුරු, අවුරුදු වලට රෙදිපිළි බඩු මිලදි ගන්න ගිය පොකුරු, බූරු ගහපු, උත්සව වලට ගිය පොකුරු, තමයි වඩාත් ආසාදනයට ලක්වෙලා තියෙන්නේ. ඒ අයට සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මේ දේවල් කරන්න තිබුණා. රජයකට පමණක් විනය ඇති කරන්න බැහැ. ජනතාව, රජය හැමෝම එකතු වෙන්න අවශ්‍යයි. වෛද්‍යවරියක් ලෙස මම කියන්නේ දැඩිසත්කාර ඒකක පහසුකම් ඇති ද ඔක්සිජන් ඇතිද කියන දේට වඩා රෝගය බෝ කරගන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න කියලයි. සංචරණ සීමා කරමින්, ගමන් බිමන් සීමා කරමින්, අනවශ්‍ය ගමන් නතර කරමින්, මුව ආවරණ පලඳමින්, වාතාශ්‍රය අඩු වහපු කාමරවල, සෙනග ගැවසෙන තැන්වලට යන එක සීමා කරන්න. යන්න එපා මේ මාසය තුළ එළියට. නිවසේ කාලය ගත කළහොත් රෝගය ගෙදරට ගෙනියන එක නතර කරගන්න පුළුවන්. ගෙදරට රෝගය බෝකරගන්න එක නතර කරගත්තොත් අපිට අයිසීයු ගැන ඔක්සිජන් ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. සරලවම කළ යුතු දේ එයයි.

4 - අපිට ජනතාවගේ සහය සමඟයි සියල්ල කළහැකි වන්නේ. රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වුණත්, පිසිආර් කරන ප්‍රමාණය අඩු වුවත් අපිට රටේ අවදානම තිබුණා. ඒ නිසා අපි නිරන්තර සැලකිලිමත් වෙමින් සිටියා. ඒ නිසා අපිට මේ ප්‍රභේද හඳුනා ගන්න හැකිවුණේ කණ්ඩායමක් හැටියටයි. මෙය මර්දනය කිරීම ඒක පාර්ශ්වීය කළ හැකි දෙයක් නොවෙයි. කණ්ඩායමකගේම වගකීම මෙය මර්දනය කරගැනීම. රජය මැදිහත්වෙලා කටයුතු කරන නිසා පළමු රැල්ල දෙවැනි රැල්ල මර්දනය කරගන්න හැකියාව ලැබුණේ. තුන්වැනි අවස්ථාවේදි මූලික අවස්ථාව ජනතාවත් මේ සඳහා සහාය දිය යුතුයි. සියල්ලන්ගේ වගකීමක් වන්නේ බෝවීම වළක්වා ගැනීමයි.

5 බෝවෙන්න පටන් ගත්තොත් අනිවාර්යෙන් පොකුරු පිටින් බෝවෙනවා. ඒනිසා බෝවීම වළක්වා ගැනීම ඉතා වැදගත්. බෝවීම වැඩියි. මෙහි සංකූලතා වැඩි තරුණ අයට හැදෙනවා වැඩියි. මියයාම් වැඩියි. මේ වසංගතය බෝ වීම් අවම කරගතයුතුයි මෙය පොකුරු පිටින් බෝවෙනවා. කැස්ස හරි හෙම්බිරිස්සාවක් තිබුණොත් පිසිආර් කළ යුතුයි. උණ ඇඟපත වේදනාව හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති නම් ළඟම තියන රෝහලට යා යුතුයි. අපි නවලක්ෂ විසි හත්දහසකට එන්නත්කරණය දුන්නා; දෙවැනි මාත්‍රාව පසුගිය බදාදා සිට දීමට කටයුතු කළා. සෞඛ්‍ය ත්‍රිවිධ හමුදා ක්ෂේත්‍රවලට දීමට කටයුතු කරනවා. තව තුන්ලක්ෂ තිස්දහක් පමණ අපි ළඟ තියෙනවා. තව ලක්ෂ හයක් පමණ අවශ්‍යයි. මේ ලක්ෂ හය සොයාගන්න අපි කටයුතු කරන්නේ. සති දාසයෙන් එන්නත් කිරීම ප්‍රතිචාර හොඳයි. මේ කාල පරාසය ඉතිරි ලක්ෂ හයත් සොයාගන්නා තුරු ස්වයංව ප්‍රවේශම් වෙන්න. ඇස්ටසිලිකා එන්නත තව ලක්ෂ දහයක් ලැබීමට තියනවා. ඒවගේම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මිලියනයක් විතර ලැබෙන්න තියෙනවා. අපි හිතනවා එයින් කොටසක් අපිට ලැබෙයි කියලා; නොලැබුණත් පළමු වැනි මාත්‍රාව ගත්තොත් ප්‍රතිදේහ ඇඟේ තියනවා මාස තුනක්. රෝග සම්ප්‍රේෂණය සියයට 67% අඩු වුණා කියලා එංගලන්තයෙන් වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ සියයට හතරයි දශම දෙකකට පමණයි අපි මේ එන්නත ලබා දීලා තියෙන්නේ. සති දෙකකින් විතර රුසියානු එන්නත ලැබෙයි. ක්‍රමානුකූලව මේ දේ රජය කරනවා. සල්ලි තිබුණත් මිලදී ගන්න තැනක් නැති ප්‍රශ්නයක් තියෙනවා. කාගෙවත් වරදක් නොවෙයි; රජයට දොස් කියන්න දෙයක් නැහැ. ලෝකයේ බහුල රටවල්වලට මේ ගැටලුව තියෙනවා. කෝවැක්ස් ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය හැදුවේ ඒ නිසයි. වැක්සින් හැම රටකටම සමානව බෙදෙන ආකාරයට පහසුකම සපයන්නයි. ගෝලීය වසංගතයක් නිසා සල්ලි තියන රටවල් කිහිපයක් වළකා ගත්තා කියලා වළකා ගන්න බැහැ.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

1 පළමු වැනි කොවිඩ් 19 රැල්ල ආව අවස්ථාවේ ලංකාවට මෙන්ම ලෝකයටත් එය නව කාරණාවක්. ඒ වේලාවේ රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් කර ගනිමින් යම් තරමින් මර්දනය කරගැනීමට හැකි වුණා. ඉන්පසුව රජය කිව්වා පළමු වැනි රැල්ල මර්දනය නායකත්වය විසින් කියලා. ඉන් පසුව ඡන්දය ප්‍රකාශයට පත් වුණා කොවිඩ් මර්දනය කිරීමේ ක්‍රෙඩ්ට් එක ඒ අවස්ථාවේ ඒ අය ගත්තා. එසේ නම් මේ රැල්ල වැඩිවීමත් ඒ අයටම භාර ගන්න වෙනවා. කොවිඩ් 19 ලංකාවෙන් ලෝකයෙන් තුරන් වෙලා තිබුණේ නැහැ. නමුත් පසුගිය කාලයේ ආසාදිතයන් ප්‍රමාණය අඩුයි කියලා වාර්තා කළා. එයින් ජනතාවට කොවිඩ් සම්බන්ධයෙන් තිබුණ බිය පහව ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස අද විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොවිඩ් මර්දන බළකායට නායකත්වය දෙන පිරිස මේ සඳහා වගකීම බාර ගන්න ඕන.

2- මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයමයි පළමු වැනි දෙවැනි රැලි මර්දනය කර ගත්තේ. තුන් වැනි රැල්ල මර්දනය කරන්නෙත් ඒ අයමයි. ගැටලුවකට රාජ්‍ය යාන්ත්‍රණය හැසිරෙන්නට අවශ්‍ය වසංගත රෝග සම්බන්ධයෙන් විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් අනුවයි. මම දැක්කා සෞඛ්‍ය අංශවල දැඩි ඉල්ලීමක් තිබුණා; අඩු තරමින් සති අන්තයේ රට අර්ධ වශයෙන් හෝ වසන්න කියලා. සෞඛ්‍ය අංශවලින් ගෙනාපු යෝජනාව සම්මත කරගන්න බැරිවුණා. එතකොට වසංගතයක් සම්බන්ධයෙන් තීන්දු ගන්න සෞඛ්‍ය අංශ අබිබවා තීන්දු කරන්න පුළුවන් කාටද ? ඒ යෝජනාව පරාජයට පත් වුණා කියලා ප්‍රකාශයට පත් කරන්න පුළුවන් හමුදාපතිවරයාට. නමුත් හමුදාපතිවරයාටවත් එවැනි තීන්දුවක් ගන්න බැහැ තනියම. මෙවැනි අවස්ථාවකදි වසංගත ‍රෝග විශේඥයෝ ඇතුළු සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාව නොදී කටයුතු කිරීමේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ ආරක්ෂක අංශ, පොලිසිය, සිවිල් ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් ඇතුළු එම කාර්යාලවල සේවකයෝ දායකත්වය ලබා දුන්නා. ඇත්තටම සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාව තිබිය යුතුයි. කොවිඩ් නිසා බිඳවැටෙන අනෙක් අංශවල සමාජ සුබසාධනය පවත්වාගෙන යාමේදී ඉතිරි අංශවලට ප්‍රමුඛතාව තිබිය යුතුයි. සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මේ අවස්ථාවේදි ප්‍රමුඛතාව දිය යුතුවන්නේ සෞඛ්‍ය අංශයටයි.

3- ජනතාව වගකීම් විරහිතව කටයුතු කළා නම් පළමු රැල්ලත් මර්දනය කරගන්න බැහැ. දෙවැනි රැල්ලත් මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරු කියලා කියපුවා, ඒ තරමින් පාලනය කරගත්තේ ජනතාව නිසි ලෙස ක්‍රියා කරපු නිසා. නමුත් කොවිඩ් සම්බන්ධයෙන් තිබුණ බිය අතහැර ගත්තේ කොතනද? අපි සංචරණ සීමා මුව ආවරණ පැලඳවීම සම්බන්ධයෙන් කිවුවත් ජනතාව මාධ්‍යවලින් තමන්ට ඉහළ අය කටයුතු කරන්නේ කොහොමද කියලා ජනතාව බලනවා. පාලකයන් හැසිරෙන ආකාරය අපි දුටුවා. පමුණුවේ, නුවරඑළියේ ගියා කියලා ජනතාවට බැණලා වැඩක් නැහැ. හිතාගන්න බැරි තරමිනි පිසිආර් වලින් ආසාදිතයන් අඩු වුණා. ඒ ආසාදිතයන් අඩුවෙන කොට ජනතාව මේ සම්බන්ධයෙන් බිය අඩු වෙනවා. පි.සි.ආර්. නොකිරීමෙන් ආසාදිතයන් අඩුවෙනවා කියන කාරණාව රටට ජයග්‍රහණයක් නොවෙයි. කොවිඩ් කියලා කියන්නේ අපේ රටේ වසංගතයක් පමණක් නම් අපිට සමාව දෙන්න පුළුවන් අපේ වැරදි අඩුපාඩුවලට. මිනිස් ජිවිතයයි මෙයින් තීන්දු වෙන්නේ; තීන්දු ගන්න තැන බරපතළ ප්‍රශ්නයක් වුණා. හැමදේම දන්නවා කියලා තීන්දුගන්න යෑමයි මේ ප්‍රතිඵලවලට හේතුව.

4- කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අශ්වයා ගියාම ස්ථාලය වසා දමලයි අපට පුරුද්ද තියෙන්නේ. අපි දුපතක්. දූපතක මෙවැනි රැල්ලක් මර්දනයට හේතු තියනවා. දෙවැනි රැල්ලක් ආව වෙලාවේ ගම්පහ සතියක් වහලා තිබුණා නම් මෙය පැතිරීම වළක්වන්න තිබුණා. පසුගිය කාලයේ අපි කිසිදු විචාරයකින් තොරව ලංකාවට සංචාරකයන් ගෙනාවා. යුක්රේනය නත්තලත් එක්ක ඒ රට වැහුවා. අපි ඒ රටේ මිනිස්සු ගෙන්න ගත්තා. ඒ දේවල් කිරීමෙන් ජනතාවගේ බය නැතිව ගියා. මේ රැල්ල යුක්රේනයෙන් නොවුණත් ජනතාව කොවිඩ්වලට තිබුණ බිය නැතුව ගියා. රටක් හැටියට යම් ආර්ථික ප්‍රශ්නයක් තියෙයි. නමුත් ඒ ආර්ථිකය ගොඩගන්න නම් මිනිසුන් ජිවත් වෙලා ඉන්න ඕන. රටක් විදිහට යම් ප්‍රමාණයකට සංචරණය සීමා කරලා රට අවශ්‍ය තැන් වහලා තියා ගත්තොත් අපිට රට ඇරලා තියාගන්න පුළුවන්. නවසීලන්තය නිසික්‍රමවේද අනුගමනය කළ නිසා ඒ අයට පුළුවන් වෙලා තියෙනවා, ලෝකයේම වසංගතය පැතිරෙද්දි සාමාන්‍ය ක්‍රමයට යන්න අවස්ථාව තිබුණා ඒ අවස්ථාවලට අවශ්‍ය පියවර ගත්තේ නැහැ.

5 පළමු වැනි දේ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇඳුම් පහසුකම් ලබා දීමයි. සෞඛ්‍ය අංශ ඇතුළත්ව මේ සම්බන්ධයෙන් යෙදී ඉන්න ඉදිරි පෙළ අයට වැක්සින් දෙවැනි මාත්‍රා ලබාදිය යුතුයි. පීසීආර් කිරීම සහ ප්‍රතිඵල ලබාදීම වේගවත් කළ යුතුයි. රෝග ලක්ෂණ සහිත රෝගින් වෙන්කර තියන්න අවශ්‍යයි. රෝග ලක්ෂණ ඇති අය ප්‍රාථමික රෝහල්වලට ඇතුළත් කළ යුතුයි. රෝග ලක්ෂණ නැති අය නිරෝධායනය කිරීම, යම් සංකූලතා ඇති අය රෝහල්වලට ඇතුළත් කිරීම, සංචරණය සීමා කිරීම සහ එදිනෙදා අවශ්‍යතා ලබා දීම රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි. එන්නත ප්‍රමාද වෙලා තියෙන්නේ. ජනගහනය සියයට 70වත් වැක්සින් කළහොත් පමණයි, ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්නේ ප්‍රමාදය නිසා එය කළ නොහැකියි. එන්නතට පිටින් තියන අත්හදා බැලීම් කරන්න නතර කරන්න ඕන. ජනතාවට ගෙවල්වල ඉන්න කියලා අනික් අය සංචාරයේ ගිහින් හරි යන්නේ නැහැ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න

1. කොවිඩ් ව්‍යාප්තියට වගකිව යුතු වන්නේ රජයයි. කොවිඩ් වසංගතය ලංකාවට ඇතුළු වීමේ සිටම ආණ්ඩුව වැරදි තීරණ ගත්තා. අපේ විපක්ෂ නායකතුමා පැහැදිලිව ප්‍රකාශ කළා; මුලින්ම කොවිඩ් වසංගතය ලොව පුරා වර්ධනය වනවිට, අපේ රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපල වහාම වසා දමන්න කියලා. එසේ නැතිනම් දැඩිසේ කළමනාකරණය කරන්නට කියලා; නමුත් ඒක කළේ නැහැ. පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ 12 වැනිදා පළවෙනි කොවිඩ් රෝගියා ගුවන්තොටුපොළෙන් හමුවුණේ. රෝගය වර්ධනය වන විට ගුවන්තොටුපළ වැසුවා. ලංකාවට ඉතාමත් පහසුයි කොවිඩ් වසංගතය පාලනය කරන්න එයට හේතුව වටේම සාගරය. ඇතුළු වෙන්න පුළුවන් එකම තැනවන්නේ ගුවන්තොටුපල පමණයි. ඒ අනුව පසුගිය වසංගත සියල්ලක්ම අපි මර්දනය කරගත්තේ ගුවන්තොටුපල හොඳින් කළමනාකරණය කිරීම මඟින්. නමුත් එය මෙවර සිදු කළේ නැහැ. දෙවෙනි කාරණය රට තුළට කොවිඩ් වසංගතය ඇතුළු වූවායින් පසුව අප පැහැදිලිව කියා සිටියේ මෙය පැතිරීම වැළැක්වීමට රට හුදෙකලා කරන්න කියලා. නමුත් ඊට පස්සේ වසංගතය පැතිරිලා යනකොට කරගන්න දෙයක් නැතුව රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වුණා. දෙවෙනි රැල්ලක් එනවා කියලා අපි කිව්වා. රජය ඒක ගණන් ගත්තෙ නෑ. දෙවැනි රැල්ලක් සඳහා රට සූදානම් වී තිබුණේ නැහැ. දෙවැනි රැල්ල පළමු වැනි රැල්ලට වඩා උත්සන්න වුණා. අපි කිව්වා තුන්වෙනි රැල්ල ඉතා භයානකයි; බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවට ඇතුළු වෙලා ඉවරයි. එය තිබුණු වයිරස ප්‍රභේදයේම විකෘතියක්. වෙනදා වගේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරලා මේක මර්ධනය කරගන්නට ලැබෙන්නේ නෑ. නිව්මෝනියා තත්ත්වයක් තියෙන්නේ. එකම ප්‍රතිකාරය වන්නේ රෝගියාට ඔක්සිජන් ලබා දීම. මම සෞඛ්‍ය ඇමැති කාලයේ ලංකාවේ වෙන්ටිලේටස් තිබුණේ 598 යි. මම ඒක 777 ක් දක්වා වර්ධනය කළා. ඒ කියන්නේ 179ක් වැඩි කළා. මේ වෙද්දී හැම දිස්ත්‍රික්කයකම කොවිඩ් රෝහලක් සියලු පහසුකම් සහිතව සූදානම් කර තිබිය යුතුයි. ඒ සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. ලංකාවේ වැඩිපුරම ජනගහනය ඉන්න ගම්පහටවත් නෑ. ඒවගේම ගාල්ල, මාතර, කුරුණෑගල නැහැ . ද්විතීක සෞඛ්‍ය සේවා වැනි රෝහල් ගත්තත් එය විසඳුමක් නොවෙයි. රජයට කිසිදු අධ්‍යයනයක් නැහැ මේ ගැන. අධ්‍යයනය කළා නම් පහසුයි. ඉන්දියාව සහ ලංකාව දෙස බැලීමේදි ජනගහනයට සාපේක්ෂව රෝගය උත්සන්න විම පැතිරීම වැඩියි. ඉන්දියාවේ විශාල ජනගහනයක් නිසා රෝගීන් ප්‍රමාණය වැඩියි. නමුත් සාපෙක්ෂව ඉන්දියාවට වඩා පැතිරීම් ලංකාවේ වැඩියි.

2- කනගාටුයි කියන්න; අපි මේ සෞඛ්‍ය සේවය අපේ කාලයේ යම් තැනකට ගෙනාවා. යම් තැනකට ගෙනාවාම ඒ තැනින් එහාට එම සේවාව ගෙන යයි කියලා අපි විශ්වාස කරනවා ඉන්පසු පත් වන රජය. දැන් ඒ දේවල් සියල්ල කඩා වැටිලා. සුවසැරිය ගෙනාවා අපි අපේ කාලයේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා අපේ ආණ්ඩුව කාලයේ ලෝකයේ ඉහළම සෞඛ්‍ය සේවයක් තියන රටක් කියලා ලංකාව.

3 ජනතාවගේ වැරුද්ද කියලා වැඩක් නැහැ. ලෝකයේ මේ වසංගතය පාලනය වුණේ ජනතාව පරෙස්සම් වෙලා නොවෙයි. හොඳම උදාහරණය ඊශ්‍රායලය. ඒ රටේ නායකයා මේ වෙලාවේ දුන්න නායකත්වය වඩා වැදගත්. ඔහු ගත් ක්‍රියාමාර්ග නිසා ලෝකයේ හොඳම මර්දනය කරපු රටක් බවට පත්වෙලා ඊශ්‍රායලය. ඉන්දියාව සහ අපේ රටවල්වල බුද්ධිමත් තීන්දු නොගෙන වෛද්‍ය විද්‍යානුකූලව තීන්දු නොගෙන ක්‍රියා කිරීමෙන් ඉතාමත් නරක ආකාරයට පැතිරෙනවා. මේ දෙපාර්ශ්වයේම රටවල්වල ඉන්නේ ජනතාව. ඒ රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් මේ රෝග මර්දනයකට ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ.

4 කිසිසේත් ප්‍රමාණවත් නැහැ. එන්නත් ලංකාවේ ලක්ෂ දෙසිය දහයයි. එන්නත් ඇණවුම් කළේ. ඇමරිකාව ඇණවුම් කළා ජනගහනයට මිලියන තුන්සිය විසි දෙකක් නම් ඒ අයට අවශ්‍ය හයසිය හතළිස් හතරක් පමණයි. නමුත් ඇණවුම් කළා මිලියන දාහක්. කැනඩාව එක් අයකුට එන්නත් දහය ගාණේ ඇණවුම් කළා. බ්‍රිතාන්‍ය ජනගහනය වගේ තුන් ගුණයකට වැඩියෙන් මිලියනයක් ඇණවුම් කළා. ඉන්දියාව එකයි දසම අටක් ඇණවුම් කළා. කොවිඩ් විවාදවලදි මම කිව්වා; එන්නත් ඒ කාලයේදිම ඇණවුම් කරන්න කියලා. ඒ අය කළේ නැහැ. මම සෞඛ්‍ය වැය ශිර්ෂයේදීම එය කිව්වා. ලෝකයේ අද එන්නත් හිඟයක් තියෙනවා. අපේ ළඟ තියෙන්නේ එන්නත් ලක්ෂ හැට හතර දාහයි. අපිට ඕන ලක්ෂ හාරසිය විස්සක්. වයෝවෘධ කියලා දෙයක් නැහැ . සියලුදෙනාටම මේ රෝගය වැලඳෙනවා. ඒ අවසාන විසඳුම එන්නත නම් ඒදේට මේ අය ලෑස්ති නැහැ. එන්නත් ගෙනත් නැහැ. එන්නත් දොළොස් ලක්ෂයක් මොනවා කරන්න ද?

5- ඉක්මනින්ම දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ලෑස්ති කළ යුතුයි. මම කියන්නේ කේඩියු ඇඳන් තියනවා දාහක් එකම කොවිඩ් රෝගියෙක්වත් ඇතුළත් කර ගන්නෙ නැතුව. ඒ රෝහල්වලටත් කොවිඩ් රෝගීන් ඇතුළත් කරගත යුතුයි. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් තියෙනවා. ඒ රෝහල්වලටත් ඇතුළත් කරගත යුතුයි. වහාම මේ සිමා කඩලා; මේවා සේවයේ යෙදවිය යුතුයි. පුද්ගලික අංශයේ රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් මුදල් දිලා හරි පාවිච්චි කරන්නට අවශ්‍යයි. එසේ නැතිනම් මේ රෝගය බොහෝම ඉක්මනින් ව්‍යාප්ත වීම පටන් ගනීවි. එන්නත්කරණය කරන්න බැහැ; එන්නත් නැහැ. මුලින් ඇණවුම් කරපු රටවල්වලටයි මුලින් ලැබෙන්නේ. දැන් වනවිට රට ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.

Comments