‘කොච්චි’ සැර බාල නොකර තිතට වැඩ | සිළුමිණ

‘කොච්චි’ සැර බාල නොකර තිතට වැඩ

 

 

‘කොච්චි‘ කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරන්න උත්සාහ කරන ගායිකාවන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක්. පුංචියට පටන් ගත්ත ‘කොච්චි‘ සැර දැන් ටිකක් රසිකයන්ට දැනෙන්න පටන් අරන්. ‘කොච්චි‘ කණ්ඩායමේ ජනප්‍රිය ගායන ශිල්පිනි උපේඛා නිර්මාණි ‘කොච්චි‘ ජාත්‍යන්තරයට ඔසවා තබන්න මහන්සි වෙන ගමන් ‘කොච්චි‘ යන අලුත් ගමන ගැන කියන්න අප හා පසුගිය දවසක එකතු වුණා.

 

‘කොච්චි‘ නිසා උපේඛා කාර්යබහුලයි වගේ?

මේ දවස්වල ‘කොච්චි‘ කණ්ඩායමේ වැඩත් එක්කමයි ඉන්නේ. ඒ වෙනුවෙන් මගේම නිර්මාණ කටයුතු ටිකකට නවත්තලා ‘කොච්චි‘ සාර්ථක කරගන්නයි මහන්සි වෙන්නේ.

 

ඒ කියන්නේ ‘කොච්චි‘ නිසා ඔබේ ගමන අඩාළ වෙලා?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකොළහක්. මට අද වුණත් මගේ තනි නිර්මාණ කටයුතු කරන්න පුළුවන්. නමුත් මම හිතුවේ මගේ හොඳම දේවල් ටික කණ්ඩායමට එකතු කරන්නයි. හොඳම දේවල් හොඳම වෙලාවේ එකතු කළොත් කණ්ඩායම තවත් සාර්ථක කරගන්න පුළුවන්.

 

‘කොච්චි‘ පටන් ගත්තු ස්ථාවරයෙන් ඉදිරියට ගේන්න පුළුවන් වුණා යැයි හිතනවද?

කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. පොඩියට පටන් ගත්තු අපේ කණ්ඩායම මේ වෙද්දි බොහොම සාර්ථක ගමනක ඇවිත් තියෙනවා. ඒ සාර්ථකත්වය තවත් වැඩි කරගන්නයි අපි කැප වෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව ‘‘කොච්චි‘ ජාත්‍යන්තරයට ගෙන යෑමයි. කණ්ඩායමේ සියලු දෙනාම ඒ වෙනුවෙන් කැප වෙනවා.

 

‘කොච්චි‘ ඇරඹුමේදී මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වුණේ?

කණ්ඩායමේ සියලු දෙනා ගොඩක් බුද්ධිමත්. ඔවුන් එක්ක වැඩ කරද්දි මට පීඩනයක් නෑ. කරන වැඩේ ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. නැටලි රැකියාව කරන්නේ කළමනාකරණ අංශයේ. එරන්දි ගුරුවරියක්. ශෂිකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරමින් ඉන්නවා. මගේ වෘත්තිය සංගීතය. මොන අංශවල නියැළුණත් කණ්ඩායමේ ඉන්නේ සංගීතය පිළිබඳ දක්ෂතා පිරි අය. ඉතින් අපි හැමෝම තිතට වැඩ ටික කරගෙන යනවා.

දක්ෂතාව වගේම එකට වැඩකරන්න පුළුවන් පිරිසක් තෝරාගන්න අවධානය යොමු කළේ නැද්ද?

‘කොච්චි‘ කියන්නේ දක්ෂතාව, කැපකිරීම සහ විශ්වාසය කියන තුනේම එකතුවක්. කණ්ඩායමට ආදරෙන් බැඳිලා ඉන්න පිරිසයි මා එක්ක එකතු වෙලා ඉන්නේ. මම ඔවුන්ව කාලයක් තිස්සේ හඳුනනවා. ඉතින් කණ්ඩායමට එකතු කරගත්තෙම සහයෝගයෙන් වැඩ කරන පිරිසක් තමයි.

 

ඔබේ කණ්ඩායමේ සිටි සාමාජිකාවක් පසුගිය දා කණ්ඩායමෙන් ඉවත් වුණා ?

පෞද්ගලික හේතුවක් නිසයි ඇය ඉවත් වුණේ. අපි කතාබහ කරලා කිසිම හිත අමනාපයක් නැතිවයි ඒ තීරණය ගත්තේ. ඇගේ ගමනට අපි සුබ පතනවා.

කාන්තාවන්ට එකට වැඩ කිරීම තරමක් අමාරුයිලු නේද ?

සමහරු එහෙම කියනවා. නමුත් අපි අතර තවම ප්‍රශ්න ඇති වෙලා නැහැ. කණ්ඩායමේ ඉන්නේ සම වයසේ පිරිසක්. මම හැමෝගෙම අදහස් අහනවා. සියලු දෙනාගේම අදහස් අනුවයි අපි යම් තීරණයකට එළැඹෙන්නේ. නොගැළපීම් අපි අතර හරි අඩුයි.

 

කණ්ඩායමේ නායිකාව ලෙස ඔබ ඉස්මතු වෙන්න උත්සාහ කරනවද ?

මට කණ්ඩායම ඇතුළේ කැපී පෙනෙන්න කිසිම වුවමනාවක් නැහැ. ගීතයක වචන වුණත් අපි හතර දෙනා අතරේ සමව බෙදනවා. සමාන අවස්ථා දීලා ලස්සන වැඩක් කරන්නයි මම උත්සාහ කරන්නේ. අපි අතර ප්‍රශ්න නැත්තෙත් ඒ නිසා.

 

‘කොච්චි‘ සැර දැන් විදේශයටත් ගිහින් බව ආරංචියි ?

විදෙස් රටවල් කිහිපයකින්ම අපේ කණ්ඩායමට ආරාධනා ලැබුණා. මිනිස්සු දැන් ගොඩක් තෙහෙට්ටුවෙන් ඉන්නේ. කාලෙකට පස්සේ හොඳ රසවින්දනයක් රසිකයන්ට දෙන්නයි අපිට ගොඩක් ආරාධනා ලැබුණේ. මේ තියෙන තත්ත්වය සමනය වුණාම ඒ සංචාරවලට එකතු වෙනවා.

 

‘කොච්චි‘ කණ්ඩායමේ අලුත් ගීත ළඟදී එළියට ඒවිද?

අපි කවර් ගීත, mashup වගේම ඔරිජිනල් ගීතත් කරනවා. ‘මිස්ටර් ලව්‘ කියන ඔරිජිනල් ගීතයක් පහුගිය කාලේ රසිකයන් අතරට ගෙනාවා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘පාවී‘ කියලා නව ගීතයක් එන්න තියෙනවා. මාසයකට එක ගීතයක් අපි කරනවා. අපි ලොකු කැප කිරීමක් කරනවාම මේ සියල්ල ආදරෙන් කරගෙන යමින්.

Comments