හොලි­වුඩ් සින­මාවේ අාසියාතික ලකුණ ක්ලෝයි ෂාඕ | සිළුමිණ

හොලි­වුඩ් සින­මාවේ අාසියාතික ලකුණ ක්ලෝයි ෂාඕ

 

 

මව්බිමට අපහාස කළා යැයි චීන සමාජවාදී රජයේ උදහසට ලක් වූ ක්ලෝයි ෂාඕ අන්තිමට නතර වුණේ ලොව අද්විතීය සිනමාවේදිනිය ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබමිනුයි. මීට වසර 39කට පෙර චීනයේ බීජිං නුවර උපන් මේ අපූරු නිර්මාණවේදිනිය ඔස්කාර් වැනි උසස් සම්මාන උලෙළක ඉහළම ගෞරවයට පාත්‍ර වූ පළමු චීන කාන්තාව පමණක් නොව පළමු ආසියාතික සිනමාවේදිනියයි. එපමණක් නොව වසර 93ක ඔස්කාර් සම්මාන ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂණය උදෙසා සම්මාන දිනූ දෙවැනි කාන්තාව ලෙසත් ඇය වාර්තාපොතට එක් වුණා. ඊට පෙර එම වාර්තාවේ පළමු අයිතිකාරිය වන්නේ 2009දී දි හර්ට් ලොකර් චිත්‍රපටය උදෙසා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් අමෙරිකානු සිනමාවේදිනිය කැතරින් බිග්ලෝ.

 

ක්ලෝයි ෂාඕගේ මේ ජයග්‍රහණයේ සතුට ජාතියක් ලෙස භුක්ති විඳීමට එරට ජනතාවට අවස්ථාවක් නොලැබීම අතිශය කනගාටුදායකයි. ඇය ගැන සෙවීමේ අන්තර්ජාල යාන්ත්‍රණය මුළුමනින්ම චීනයට අවහිර කිරීමට එරට බලධාරීන් කටයුතු කළේ මව්බිමට එරෙහිව ගිය මුරණ්ඩුකමේ වාඩුව පිරිමසා ගැනීමටයි. එරට නිල මාධ්‍යය, ගූගුල් සෙවීමේ යාන්ත්‍රණය හා අන්තර්ජාල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවත් මුළුමනින්ම අඩපණ කිරීමට චීන සමාජවාදී රජය කටයුතු කළේ මීට වසර 7කට පෙර ක්ලෝයි විසින් ෆිල්ම්මේකර් සඟරාවට දෙනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී කරනු ලැබූ ප්‍රකාශයක් නිසයි.

‘චීනයේ මගේ ළමා විය ගෙවී ගියේ එක්තරා විදියකින් හැම තැනම බොරුව රජ කළ පරිසරයකයි. මට හිතුණේ කවදාවත් මේ ආගාධයෙන් ගොඩ එන්න බැරිවේවි කියලයි. මගේ තරුණ වියේදි මට දැනගන්න ලැබුණු ගොඩාක් දේවල් බොරු බව පස්සේ කාලෙක මට දැනුණා. ඒ නිසාම මගේ පවුලේ අයටත් මා වටා සිටි පිරිසටත් හිතුවක්කාරියක් විදිහට මාව පෙනෙන්න ඇති. ඉන් පස්සේ මම හදිසියේම එංගලන්තයට ගියා. ඒ වෙද්දී මට අවුරුදු 15යි. ඉංග්‍රීසි අකුරක්වත් මම දැනගෙන හිටියේ නෑ. යථාර්ථය ගැන මම දැනගත්තේ එංගලන්තයේ බ්‍රයිට්න් පාසලේ ඉගෙනුම ලැබූ කාලයේදියි. ඉන් පස්සේ මම උසස් අධ්‍යාපනය හදාරන්න ලොස් ඇන්ජලීස් නුවරට ගියා.‘

ඇගේ සම්මුඛ සාකච්ඡාවෙන් චීන පාලකයන්ට වැදගත් වූයේ‘හැමතැනම බොරුව රජ කළ පරිසරය‘ යන වදන් පෙළ පමණයි. චීනයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී එහි අධ්‍යාපනය ලබා අමෙරිකාවේ ජීවත්වන ක්ලෝයි ෂාඕගේ ප්‍රකාශයෙන් චීනයට අපහාසයක් සිදුවූ බවට ඔවුන් නිගමනය කරන්නට ඇත්තේ ඇය බටහිර පන්නයට හැඩගැසී සිටීම නිසා වන්නට ඇති.

සමාජවාදී රටක උපන් මේ කාන්තාව ලිබරල්වාදයට වඩාත් නැඹුරුවන්නේ එංගලන්තයේ ගත කළ කාලපරිච්ඡේදය තුළදියි. අමෙරිකාවේදී එය තවත් මුවහත් වුණා. මැසචුසෙට්ස් ප්‍රාන්තයේ මවුන්ට් හොලියෝක් විදුහලෙන් දේශපාලන උපාධියක් ලැබූ මේ විප්ලවවාදී නිර්මාණවේදිනිය සිනමාව හැදැරීමට පටන් ගත්තේ ඒ කාලයේදිමයි.

‘නෝමෑඩ්ලෑන්ඩ්ස්‘ ඇගේ සිනමා දිවියේ අග්‍රඵලයයි. ඇය ලොව හොඳම අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ එම නිර්මාණය වෙනුවෙනුයි. එපමණක් නොව හොඳම චිත්‍රපටය ලෙසත් නෝමෑඩ්ලෑන්ඩ්ස් සම්මාන දිනා ගත්තා. හොලිවුඩ් නිළි ෆ්‍රැන්සස් මැක්ඩර්මන්ඩ් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවෙත් මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි.

චීන කාන්තාවක් ලොව හොඳම චිත්‍රපට අධ්‍යක්ෂිකාව ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වීම එක අතකින් සමස්ත ආසියාව ලැබූ ජයග්‍රහණයක්. ක්ලෝයි ෂාඕ හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීම සුදු ජාතිකයකු නොවන පුද්ගලයෙක් මේ සම්මානය දිනාගත් පළමු අවස්ථාව ලෙස බොහෝ බටහිර රටවල් ඉස්මතු කර පෙන්වූ නිසා තවත් අතකට කළු ජාතිකයන්ට පරිභව කරන අමෙරිකාව වැනි බටහිර රටකදී මේ සම්මානය දිනා ගැනීමත් තවත් විදිහක ජයග්‍රහණයක්.

චීන සමාජවාදී රජය ඇගේ ජයග්‍රහණය නොසලකා හැරියේ එවැන්නක් සිදු නොවූ ගානටයි. එහෙත් ඇය කියන්නේ චීන ජාතිකයකුට හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි.

ක්ලෝයි ෂාඕ එක්තරා ආකාරයකින් චීන, බ්‍රිතාන්‍ය හා අමෙරිකාවේ සංකලනයක්. දැඩි සමාජවාදී පරිසරයක උපන් මේ අපූරු කාන්තාව දැන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිය නිවහනට වී ගත කරමින් සිටින්නේ නිදහස් ජීවිතයක්.

කුකුලු පැටවුන් සිවුදෙනෙක් සහ බලු සුරතලෙක් ඇගේ තනියට සිටින බව වැඩි දෙනකු දන්නේ නෑ. කුකුළු පැටවුන් චීන සම්ප්‍රදායික සත්ව ගොවිපළ සිහිගන්වන්නක්. බලු සුරතලුන් බටහිර රටවල නිවෙස්වල සුපුරුදු දසුනක්.

ආසියාතික සම්ප්‍රදායික කාන්තාවන්ගේ ජීවිතයට වැදගත් සාධකයක් වන විවාහය ක්ලෝයිගේ ජීවන රටාවට අදාළ කාරණාවක් නොවේ. එහෙත් ඇය දැන් කාලයක සිට ජීවත් වන්නේ තරුණ සිනමාකරණ ශිල්පියකු වන අමෙරිකානු ජාතික ජෝසුවා ජේම්ස් රිචර්ඩ්ස් සමඟයි. නෝමෑන්ඩ්ලෑන්ඩ්ස් චිත්‍රපටයේ විදුලි ආලෝකය හා කැමරාකරණය භාරව කටයුතු කරනු ලැබුවේ ඔහු විසිනුයි. ඇරත් ඔහු ඇගේ මුළු සිනමා ජීවිතයම එකලු කරමින් සිටින්නේ කාලයක සිටයි.

 

Comments